පෘතුගාලය මේ කුසලානය ජර්මනියේ මියුනික් නුවරදී තියුණු පෙනල්ටි ජයග්‍රහණයකින් පසුව දිනා ගත්තේ ඉතිහාසයේ දෙවැනි වතාවට.
රොනාල්ඩෝ ගෝල් අටක් ලබා ගෙන ඔහුගේ ක්‍රීඩාව අවසන් කළේ මේ තරගාවලියේ වැඩිම ගෝල්ලාභියා වෙමින්. අවසාන තරගයේදී 40 හැවිරිදි රොනාල්ඩෝගේ ගෝලය ඉතා වැදගත් වූයේ එමගින් ඔහු ගෝල් 2-1කින් පසුපසින් සිටි තම කණ්ඩායම 61 වැනි මිනිත්තුවේදී සම තත්ත්වයට ගෙන ආ බැවින්. ඊට කළින් ජර්මනිය ට එරෙහිව පැවති අවසන් පූර්ව තරගයේදී පෘතුගාල කණ්ඩායමේ ජයග්‍රාහී ගෝලය වාර්තා කර තිබුනේ ද රොනාල්ඩෝ.
ජාතික පාපන්දු කණ්ඩායම වෙනුවෙන් ජූනි 8 වැනිදා පැවති අවසාන තරගයේදී ලබා ගත් ගෝලයත් සමග ඔහු තමාගේ නම ඉතිහාස පොතේ සටහන් කළේ ජගත් පාපන්දුවේ ප්‍රධාන අවසාන තරගයක ගෝලයක් වාර්තා කළ වයස්ගතම ක්‍රීඩකයා (අවුරුදු 40, දවස් 123) වෙමින්. මේ පෘතුගීසි පුරාවෘත්ත ක්‍රීඩකයා මකා දැමවේ කොංගෝ කණ්ඩායමේ Pierre Kalala Mukendi (අවුරුදු 37) ඝානා පිලට එරෙහිව 1968 AFCON අවසාන තරගයේ ගෝලයක් ලබා ගනිමින් තබා තිබූ වාර්තාව.
40 වැනි වියට පා තැබීමෙන් පසුව ප්‍රධාන ජාත්‍යන්තර පාපන්දු තරගාවලියක අවසාන තරගයේ ගෝලයක් ලබා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට රොනාල්ඩෝ පත්වුනා.
රොනාල්ඩෝ නේෂන්ස් ලීගයේ ගෝලයක් ලබා ගත් වයසින් වැඩිම ක්‍රීඩකයා බවට ද පත්වූයේ කරිම් බෙන්සිමාගේ (අවුරුදු 33, දවස් 295) වාර්තාව බිඳ දමමින්. මේ ප්‍රංශ තරුව මිලාන් නුවර පැවති 2021 අවසාන තරගයේ ප්‍රංශ ජයග්‍රහණයේදී ගෝලයක් වාර්තා කර තිබුණා.

මෙවර නේෂන්ස් තරගාවලියේ අවසන් පූර්ව තරගයේ ලබා ගත් ගෝලයත් සමග රොනාල්ඩෝ 40 වැනි වියට පිවිසීමෙන් පසුව නේෂන්ස් ලීගයේ ගෝලයක් ලබා ගත් ඉතිහාසයේ පළමු ක්‍රීඩකයා බවට පත්වනවා. මීට කළින්, මේ තරගාවලියේ ගෝලයක් ලබා ගත් වයස්ගතම ක්‍රීඩකයා බවට පත්ව සිටියේ 2022 වසරේදී බල්ගේරියාව ට එරෙහිව ගෝලයක් වාර්තා කළ ගිබ්රාල්ටා කණ්ඩායමේ Roy Chipolina (අවුරුදු 39, දවස් 246).
මෙවර තරගාවලියේ රොනාල්ඩෝගේ ගෝල් 8 නේෂන්ස් ලීග් ඉතිහාසයේ ඉහළම කොටසේ (‘ඒ’ ලීගය) එක් තරගාවලියක ලබා ගත් වැඩිම ගෝල් සංඛ්‍යාවයි. ස්වීඩනයේ Viktor Gyokres ගෝල් 9ක් 2024-25 තරගාවලියේ ලබා ගත්ත ද ඒවා වාර්තා වූයේ තෙවැනි කොටසේ (‘සී’ ලීගය) තරගවල.
නේෂන්ස් ලීග් කුසලානය දෙවතාවක් දිනා ගත් පළමු නායකයා බවට ද රොනාල්ඩෝ පත්වූයේ මේ තරගාවලියේ එක් වරකට වඩා ශූරයින් වූ පළමු කණ්ඩායම ලෙසින් පෘතුගාලය ඉතිහාසගත වෙද්දී. රොනාල්ඩෝ විසින් මෙහෙයවනු ලැබූ පෘතුගාල කණ්ඩායම 2019 වසරේදී ප්‍රථම වතාවට පැවති මේ තරගාවලිය ද ජයග්‍රහණය කළා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



