The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

‘චෝකර්ස්’ හංවඩුව ගැලවුනු දකුණු අප්‍රිකානු ජයග්‍රහණය

T

The Leader Desk

June 15, 2025 • 2:48 PM

‘චෝකර්ස්’ හංවඩුව ගැලවුනු දකුණු අප්‍රිකානු ජයග්‍රහණය

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ කිරුළ දිනා ගනිමින් ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් මොහොත සනිටුහන් කළා.
  • දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2025 ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) ජයග්‍රහණය කළේ එම කිරුළ හිමි කරගෙන සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5කින් පරාජය කරමින්.
  • දශක ගණනාවක් තිස්සේ ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වීමෙන් පසුව අවසානයේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මෙසේ රිදී භාණ්ඩයක් දිනා ගැනීමට සමත් වුනේ 1998 වසරෙන් පසුව ප්‍රථම වතාවට.
  • එම වසරේ මාස දෙකක් ඇතුළත ඔවුන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම හා මංගල චැම්පියන්ස් කුසලානය දිනා ගත්තා.
අකුරු ප්‍රමාණය (Font Size):

දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ කිරුළ දිනා ගනිමින් ඔවුන්ගේ ක්‍රිකට් ඉතිහාසයේ ඉතාමත්ම වැදගත් මොහොත සනිටුහන් කළා.

ghtyur6uu
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම 2025 ලෝක ටෙස්ට් ශූරතාවලිය (WTC) ජයග්‍රහණය කළේ එම කිරුළ හිමි කරගෙන සිටි ඔස්ට්‍රේලියාව කඩුලු 5කින් පරාජය කරමින්.

ඒඩන් මාක්රම් ලකුණු 136ක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් කණ්ඩායම ජයග්‍රහණය අභියසට ගෙන ගිය අතර ඊට පෙර දකුණු අප්‍රිකානු නායක ටෙම්බ බවුමා ‘අපේක්ෂාව, විශ්වාසය’ යන ඔහුගේ නමේ පරිසමාප්ත අර්ථයෙන් ම ක්‍රීඩා කරමින් ලකුණු 66ක් රැස්කර මාක්රම් සමග තරගයේ ජයග්‍රහණය නිර්වචනය කෙරෙන ලකුණු 147ක සබඳතාවක් ගොඩනැගුවේ දණහිස පිටුපස හටගත් දැඩි වේදනාව ඉවසා දරා ගනිමින්.

cgjhr6yu6io
දශක ගණනාවක් තිස්සේ ජයග්‍රහණය පෙනි පෙනී පරාජය වීමෙන් පසුව අවසානයේ දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායම මෙසේ රිදී භාණ්ඩයක් දිනා ගැනීමට සමත් වුනේ 1998 වසරෙන් පසුව ප්‍රථම වතාවට. එම වසරේ මාස දෙකක් ඇතුළත ඔවුන් පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ රන් පදක්කම හා මංගල චැම්පියන්ස් කුසලානය දිනා ගත්තා.

ඔවුන්ගේ මෙවර ජයග්‍රහණයේ තවත් සුවිශේෂී වැදගත්කමක් තිබෙනවා. ඒ, ‘චෝකර්ස්’ (Chokers) යනුවෙන් දකුණු අප්‍රිකාව ට ලැබී තිබෙන ක්‍රීඩාවේ වඩාත්ම අනවශ්‍ය විකට නාමය මඟ හැරීමේ උත්සාහයේදී මේ ජයග්‍රහණය ඔවුන් තැබූ දැවැන්ත ඉදිරි පියවරක් වීමයි.

fghye5656
දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට ‘චෝකර්ස්’ (හුස්ම හිරකර ගන්නෝ) යන හංවඩුව වැදී  තිබෙන්නේ ලෝක ක්‍රිකට් තරගාවලියන්හි පිළිමළුන් පිටුදැකීමේ (knockout) අදියරට පැමිණි අවස්ථා ගණනාවකදීම අවසන් රේඛාව පසුකර යාමට ඔවුන් අසමත් වූ නිසා. 1999 වසරේ සිට මේ කණ්ඩායමට මහා බරක්ව තිබෙන මේ ලේබලය නිසා ඔස්ට්‍රේලියාව සමග පැවැති අවසාන තරගයේ සිවුවැනි දිනය ආරම්භ වන විට දකුණු අප්‍රිකාව ට ජයග්‍රහණය සඳහා කඩුලු අටක් අතැතිව ලකුණු 69ක් පමණක් අවශ්‍යව තිබුනත් බොහෝ දෙනා සිතුවේ ඔස්ට්‍රේලියාව ජයග්‍රාහකයන් වනු ඇති බවයි.

කෙසේ වෙතත්, දිනයේ තෙවැනි ඕවරයේ නායක බවුමා දැවී යාමත් සමග යම් නොසන්සුන් බවක් හටගත්ත ද, දකුණු අප්‍රිකාව නොසැලී සිටිමින් වසර 27කට පසුව ඔවුන්ගේ පළමු කුසලාන ජයග්‍රහණය තහවුරු කර ගත්තා.

“අපි බැට් කරනකොට, ඔස්ට්‍රේලියානු ක්‍රීඩකයන් ‘චෝක්’ යන ඒ බියකරු වචනය පාවිච්චි කරනවා අපිට ඇහුනා” බවුමා ජයග්‍රහණයෙන් පසුව කියා සිටියා.

ප්‍රතිවාදී කණ්ඩායමේ පිතිකරුවන්ගේ අවධානය බිඳ දැමීම සඳහා ඔවුන්ට නොසරුප් බස් කියමින් (ස්ලෙජිං) නිතරම සීමාව ඉක්මවා යාමේ සම්ප්‍රදාය නිසා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම අවස්ථා ගණනාවකදීම මතභේදයන්ට ලක්ව තිබෙනවා. එහෙත් පැට් කමින්ස්ගේ නායකත්වයෙන් යුත් වර්තමාන කණ්ඩායම ඊට වඩා වෙනස් බව ප්‍රකාශ වී තිබුන ද, ඔහුගේ කණ්ඩායම පවා දකුණු අප්‍රිකාව ට එරෙහි ලෝක ටෙස්ට් ශූරතා අවසාන තරගයේදී සීමාව ඉක්මවා ගියා. WTC අවසාන තරගයේ සිවුවැනි දිනයේ දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා කෙමෙන් කෙමෙන් ළංවනු දුටු ඔස්ට්‍රේලියානුවන් ටෙම්බ බවුමා සහ ඔහුගේ පිතිකරුවන් සසළ කිරීමේ අරමුණින් ‘චෝක්’ නමැති බියජනක වචනය භාවිතා කළ බව පැවසෙනවා.

බවුමා සහ මාක්රම්ගේ කඩුලු සබඳතාවට බාධා කිරීම පිණිස කැන්ගරුවන් ඔවුන් සතු සියලු කපටිකම් පාවිච්චි කිරීමට උත්සාහ කළා.

cfye5645y
“අපි මේ තරගාවලියට පැමිණියේ අපි ගැන ලොකු විශ්වාසයක් හා අපි ගැන ලොකු අවිශ්වාසයක් තිබූ පිරිසක් සමගයි. අපි අවසාන තරගයට පිවිසියාම අපි පැමිණි ගමන දෙස සැකයෙන් බැලූ බොහෝ පිරිසක් සිටියා. මේ ජයග්‍රහණය ඒ සියල්ල පොඩි කර දමනවා. මෙය, බෙදී සිටින අපට රටක් වශයෙන් එක්සත් වීමට ලැබුනු මහඟු අවස්ථාවක්” යනුවෙන් බවුමා ප්‍රකාශ කළා.



දීර්ඝ කාලයක් තිස්සේ දකුණු අප්‍රිකාවට ජීවත් වීමට සිදුවූ ‘චෝකර්ස්’ ලේබලය පිළිබඳව එම කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක ‌කේශව් මහරාජ් ද අදහස් පළ කළේ එම වචනය දැන් ඉතිහාසයට පමණක් අයත් දෙයක් වනු ඇතැයි ප්‍රාර්ථනා කරමින්.

“ඒ වචනය ආපහු අහන්න නැති වුනොත් ඉතා හොඳයි. තරගය ජයගෙන ඒ වචනය ඉවත් කර ගැනීමට හැකිවීම මේ කණ්ඩායමට ලොකු දෙයක්. අතීතයේ අපෙන් ඇසුනු සියලු ප්‍රශ්නවලට දැන් පිළිතුරු දී තිබෙනවා” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසුවා.

1999 - අනවශ්‍ය උරුමයක ආරම්භය

මානසික පීඩනය හා වැඩි බලාපොරොත්තුවේ ප්‍රතිඵලයක් වශයෙන් ජයග්‍රහණය ලැබීමේ තත්ත්වයක සිට පරාජය වීම හෝ ජය ගත යුතු තරගයකින් පරාජය වීම ක්‍රීඩාව පැත්තෙන් නිර්වචනය වන ‘චෝකිං’ (Choking) නාමය දකුණු අප්‍රිකාව ට පටබැඳීමේ ආරම්භය 1999 ලෝක කුසලානයේ අවසන් පූර්ව තරගයේ ඔස්ට්‍රේලියාව ට එරෙහිව ජයග්‍රහණය ආසන්නයටම පැමිණ තරගය සමව අවසන් වීම දක්වා ඈතට ආපසු දිවෙනවා.

එජ්බැස්ටන් හි පැවැති එම තරගයේ ලකුණු 214ක් හඹා යමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 9ක් දැවී ලකුණු 205ක් රැස් කරගෙන අවසාන ඕවරයට පිවිසියේ ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 9ක් අවශ්‍යව තිබියදීයි. ඩේමියන් ෆ්ලේමිංගේ පළමු පන්දු දෙකට ලාන්ස් ක්ලූස්නර් හතරේ පහර එල්ල කළේ පන්දු හතරක් ඉතිරිව තිබෙන විට ලකුණු ප්‍රමාණය සම තත්ත්වයට ගෙන එමින්. තරගාවලියේ අවසාන තරගයට පිවිසීම පිණිස දකුණු අප්‍රිකාව ට තවත් අවශ්‍යව තිබුනේ එක් ලකුණක් පමණයි.

තෙවැනි පන්දුවෙන් ලකුණක් ලබා ගැනීමට අසමත් වීමෙන් පසුව ක්ලූස්නර් සිවුවැනි පන්දුවේදී ලකුණක් කරා දිව ගියා. කෙසේ වෙතත්, අනෙක් අන්තයේ සිටි ඇලන් ඩොනල්ඩ් ට ක්ලූස්නර්ගේ කැඳවීම ඇසුනේ නැහැ. ඒ අනුව ක්ලූස්නර් කඩුලු රකින ඇඩම් ගිල්ක්‍රිස්ට් විසින් දවාලනු ලැබුවා.

ryeyttt
තරගය දෙපිල සමව අවසන් වීමෙන් පසුව, තරගාවලියේ කළින් වටයේ ‘සුපර් සික්ස්’ ලකුණු අනුව දකුණු අප්‍රිකාව ට වඩා  එක් ස්ථානයක් ඉහළින් සිටීමේ වාසිය මත අවසන් තරගයට ගිය ඔස්ට්‍රේලියාව ලෝක කුසලානය ජය ගෙන ඊළඟ තරගාවලියන් දෙක ද ජයග්‍රහණය කිරීමට සමත් වුනා.

පසුගිය වසරේ ඉන්දියාව ට එරෙහිව T20 ලෝක කුසලාන අවසාන තරගයට පිවිසි දකුණු අප්‍රිකාව ලකුණු 177ක් හඹා යාමේදී අවශ්‍යව තිබුනේ පන්දු 24කින් ලකුණු 26ක්. එහෙත් අවසාන ඕවරයේ අවශ්‍යව තිබූ ලකුණු 16 වෙනුවට ඔවුන්ට ලබා ගත හැකිවූයේ ලකුණු 8ක් පමණයි.

සීමිත ඕවර පිළිමළුන් පිටුදැකීමේ තරග 12කින් දකුණු අප්‍රිකාව තරග 10ක් පරාජය වී තිබෙන අතර අවසන් පූර්ව තරගවලින් තරගාවලියෙන් ඉවතට විසිවුනු වාර ගණන හතක්.

මව්බිමේ පැවති 2003 ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙන් ම දකුණු අප්‍රිකාව ට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවුනේ ලකුණු පුවරුව ප්‍රමාණවත් ලෙස සන්නිවේදනය නොකිරීම හේතුවෙන්.

තරගාවලියේ ඉදිරියට යාම පිණිස ඔවුන් ශ්‍රී ලංකාව පරාජය කළ යුතුව තිබුනු අතර වැසි පතිත වීම ආරම්භ වෙද්දී, පිතිකරු මාක් බවුචර් ට ලැබුනු පණිවුඩය වූයේ තරගය ජය ගැනීම සඳහා දකුණු අප්‍රිකාව ට 45 වැනි ඔ්වරය අවසන් වන විට මුළු ලකුණු 229ක් අවශ්‍ය බවයි. ඔහු එම ඕවරයේ අන්තිම පන්දුවට පෙර පන්දුවට හයේ පහරක් එල්ල කර මුළු ලකුණු 229 ට පිවිස ජයග්‍රහණය සමරමින් අවසාන පන්දුවෙන් ආරක්ෂා වීමෙන් පසුව තරග විනිසුරුවන් වර්ෂාව නිසා ක්‍රීඩකයන් පිටියෙන් ඉවතට ගෙන ගියා.

කෙසේ වෙතත්, මුළු ලකුණු 229ක් ඇත්ත වශයෙන් අවශ්‍යව තිබුනේ තරගය ජය පැරදුමින් තොරව අවසන් කර ගැනීමටයි. වර්ෂාව හේතුවෙන් තරගය නැවත ආරම්භ කිරීමට නොහැකි වූ නිසා දකුණු අප්‍රිකාව තරගාවලියෙන් විසිවුනා.

චැම්පියන්ස් කුසලාන තරග බිමේ ද ඔවුන්ට තිබෙන්නේ එතරම් හොඳ වාර්තාවක් නෙවෙයි. 1998 වසරේ බංග්ලාදේශයේදී මංගල ජයග්‍රාහකයන් ලෙස කිරුළු පැළඳීමෙන් පසුව මේ දක්වා දකුණු අප්‍රිකාව එහි අවසාන තරගයට පිවිස නැත්තේ ඔවුන්ගේ අවසන් පූර්ව තරග පහ ම පරාජය වෙමින් සහ පිළිමළුන් පිටුදැකීමේ තරග හයෙන් එකක් පමණක් ජය ගනිමින්.

දකුණු අප්‍රිකාවේ මේ පිළිමළුන් පිටුදැකීමේ තරගවල හිරවීම ඔවුන්ගේ පිරිමි ක්‍රිකට් ක්‍රීඩාවට පමණක් සීමා වන්නේ නැහැ.

පසුගිය විස්සයි20 කාන්තා ලෝක කුසලාන තරගාවලියන් දෙකේදී ම ඔවුන් අනුශූරියන් වී සිටින්නේ පිළිවෙලින් නවසිලන්තය ට (2024) සහ ඔස්ට්‍රේලියාව ට (2023) පරාජය වෙමින්. මීට අමතරව ඔවුන් විස්සයි20 හා ඕවර 50 ලෝක කුසලාන අවසන් පූර්ව තරග හතෙන් පහකින් ම අත්විඳ තිබෙන්නේ පරාජයන්.

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

‘චෝකර්ස්’ හංවඩුව ගැලවුනු දකුණු අප්‍රිකානු ජයග්‍රහණය | The Leader