එවකට 18 වැනි වියේ පසුවු උසස් පාසල් ශිෂ්‍යාවක වූ නව්රාටිලෝවා ශීතල යුද්ධය පැවති වකවානුවේදී රටකින් තවත් රටකට පලා ආ ඉහළම පෙලේ වැදගත් පුද්ගලයන්ගෙන් කෙනෙකු වූ අතර පසුව ඇය ටෙනිස් ක්‍රීඩාවේ වඩාත්ම ප්‍රතිමාමය ක්‍රීඩිකාවක් බවට පත්වුනා.

එහෙත් වර්තමානයේදී නම් අමෙරිකාව “මාව රටට ගන්නෙ නැතිවෙන්න ඉඩ තිබෙනවා” යනුවෙන් ඇය බිය පළ කරනවා.
“මම ඩොනල්ඩ් ට්‍රම්ප් ට (අමෙරිකානු ජනාධිපති) පක්ෂපාතී නැහැ” යනුවෙන් නව්රාටිලෝවා BBCයට කියා තිබෙන්නේ අමෙරිකාව දැන් ඒකාධිපති රටක් බවට පත්ව තිබෙන බවට කනස්සල්ල පළ කරමින්.
ජනාධිපති ට්‍රම්ප් ජනවාරියේ බලයට පත්වූ දා සිට ඔහුගේ පරිපාලනය ආගමන වැටලීම් සිදුකර තිබෙන්නේ රටේ සමහර පෙදෙස්වල විරෝධතා මතු කරමින්. ඔහු රටවල් 12ක පුරවැසියන්ට අමෙරිකාවේ සංචාරය කිරීමේ තහනමක් ද පනවා තිබෙන අතර සංචාරකයන් අමෙරිකානු දේශසීමාවේ රඳවා ගෙන සිටින බවට ද වාර්තා වී තිබෙනවා.
| 1975: මාර්ටිනා නවරතිලෝවා එක්සත් ජනපද විවෘත ටෙනිස් තරගාවලිය ක්‍රීඩා කරමින් සිටියදී
“එදා 1975 වසරේ වගේ තත්ත්වයක මම අදත් සිටියා නම් සහ මට වෙන කොහේ හරි ගිහිං පදිංචි වෙන්න අවශ්‍යව තිබුනා නම්, එය අමෙරිකාව වෙන්නේ නැහැ. මොකද, මේ මොහොතේ එහි ප්‍රජාතන්ත්‍රවාදයක් නැහැ” නව්රාටිලෝවා කියනවා.
අමෙරිකාවේ දේශපාලනය ගැන ඇය කතා කරන විට නව්රාටිලෝවාගේ ඉච්ඡා භංගත්වය පැහැදිලියි. ක්‍රමක්‍රමයෙන් නරක අතට හැරෙමින් තිබෙන තත්ත්වය පිළිබඳව තමා කියන දේවල් කෙරෙහි ජනතාවගේ අවධානය යොමුව නැතැයි ඇය විශ්වාස කරනවා.
අමෙරිකාව පැහැදිලිවම සංක්‍රමිකයන්ට එරෙහි වී සිටින බව ඇය පවසනවා.
“මව්බිමේ ආරක්ෂක අංශය (Homeland Security) විසින් ඔවුන්ව විසිකර දමනවා. ඔවුන්ව විසිකරන්නේ ඔවුන් සම්පූර්ණයෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ න්‍යාය පත්‍රය සමග එකඟ නොවන නිසා...ඔවුන් මුද්ද සිප ගන්නේ නැති නිසා” යනුවෙන් මේ හිටපු ලෝක පූජිත ටෙනිස් තාරකාව ප්‍රකාශ කරනවා.
චෙකොස්ලොවේකියාවෙන් අමෙරිකාව ට පලා ඒම සඳහා 1975දී ගත් ඒ තීරණය තමාට පහසු එකක් නොවූ බව ඇය කියා සිටිනවා. තමා අතහැර පැමිණියේ සොඳුරු ගැමි දිවියක ආදරණීය පුද්ගලයන්ව යැයි ඇය පවසනවා. “මට මගේ දෙමාපියන් ආයෙ කවදා දකින්න ලැබේවිද හෝ කිසිම දිනක එයාලව දකින්න නොලැබේවිද කියා මම කවදාවත් දැන සිටියේ නැහැ.”
නමුත් එසේ පැමිණීමෙන් ඇගේ ජීවිතයේ ගමන් මග වෙනස් වුනා. තමා චෙකොස්ලොවේකියාවෙන් පිටවූයේ තමාට ලොව අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව බවට පත්වීමට අවශ්‍ය වූ නිසා බවත් එය තමා උපන් රටේ තිබෙන තත්ත්වයන් යටතේ කළ නොහැකි බවත් නව්රාටිලෝවා ඒ අවස්ථාවේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී කියා තිබුනා.
සැබවින්ම ඇය කාන්තා කේවල තරග බිමේ සති 332ක් ද, කාන්තා යුගල තරගවල වාර්තාගත සති 237ක් ද ලෝකයේ අංක 1 ටෙනිස් ක්‍රීඩිකාව ලෙස වැජඹුනා. ලොව බිහිවූ එක් ශ්‍රේෂ්ඨතම ටෙනිස් ක්‍රීඩිකාවක ලෙසින් ඇය දැන් ලෝකයාගේ ගෞරවාදරයට ලක්ව සිටිනවා.
| Martina Navratilova & Julia Lemigova
අමෙරිකා හා චෙකොස්ලොවේකියා ද්විත්ව පුරවැසියකු වන මාටිනා නව්රාටිලෝවා ඇගේ බිරිඳ වන Julia Lemigova නිරූපිකාව සමග තවමත් ජීවත් වන්නේ අමෙරිකාවේ. තමා සමරිසි පුද්ගලයෙකු බවට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ ලොව එක් පළමු ක්‍රීඩිකාවක වන නව්රාටිලෝවා LGBTQ+ අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන ක්‍රීඩා චරිතයක්.
වර්තමාන දේශපාලන වාතාවරණයේදී නව්රාටිලෝවාගේ පුරවැසිභාවය අහිමි වීමට ඉඩ තිබෙන බවට ඇය වද වෙනවාද?
“මේ මොහොතේදී සියල්ල අවිනිශ්චිතයි. මෙතන තියෙන ලොකුම කාරණාව එයයි. මොකක්ද සිද්ධ වෙන්න යන්නෙ කියා නොදැන හැමෝම ඇවිදින්නේ බිත්තර කටු උඩින්.”
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ගේ ක්‍රීඩාව

කෙසේ වෙතත්, නව්රාටිලෝවා කළින් ප්‍රකාශ කර ඇති පරිදි ඇය ජනාධිපති ට්‍රම්ප් සමග එකඟ වන අතිශය මතභේදාත්මක ක්ෂේත්‍රයක් තිබෙනවා. ඒ, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් ක්‍රීඩාවට සහභාගි වීම සම්බන්ධයෙන්.
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන් කාන්තා ටෙනිස් තරගවලට ඇතුළත් කිරීම වැරදි බවට නව්රාටිලෝවා ඇගේ විශ්වාසයේ තරයේ එල්බ සිටිනවා.
තමන් කාන්තාවන් බව හෝ ද්වි ලිංගික නොවන බවට අත්සන් කර ලිපියක් ලබා දෙන්නේ නම්, ඔවුන්ගේ ටෙස්ටොස්ටරෝන් මට්ටම වසර දෙකක් තිස්සේ එක්තරා සීමාවකට පහළින් තිබෙනවා නම් සහ ඔවුන් ඒ ටෙස්ටොස්ටරෝන් මට්ටම පවත්වා ගෙන යන්නේ නම් සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා තරගවලට සහභාගි විය හැකි බවට ප්‍රකාශ කෙරෙන ලෝක ටෙනිස් සංගමයේ (WTA) වර්තමාන නීති සමග තමා එකඟ නොවන බව නව්රාටිලෝවා කියනවා.
සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට කාන්තා ක්‍රීඩාවන්හි ජීව විද්‍යාත්මක වාසියක් තිබෙන බව ඇගේ මතය වී තිබෙනවා.
“වරප්‍රසාද අහිමි කිරීම්, හිරිහැර කිරීම් නොතිබිය යුතුයි. නමුත් පිරිමි ශරීර ක්‍රීඩා කළ යුත්තේ පිරිමි ක්‍රීඩාවලයි. ඔවුන්ට තවමත් ක්‍රීඩා කළ හැකියි. සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට ක්‍රීඩාව තහනම් කර නැහැ. අවශ්‍ය වන්නේ ඔවුන් නියම අංශයේ එනම් පිරිමි අංශයේ ක්‍රීඩා කිරීමයි. හරිම සරලයි.”
පසුගිය වසරේ දෙසැම්බරයේදී බ්‍රිතාන්‍යයේ තණ පිටිය ටෙනිස් සංගමය (Lawn Tennis Association) ඔවුන්ගේ නීති වෙනස් කරමින්, සංක්‍රාන්ති ලිංගික කාන්තාවන්ට තවදුරටත් සමහර කාන්තා දේශීය ටෙනිස් තරගාවලියන්ට ක්‍රීඩා කළ නොහැකි බව දන්වා සිටියා.
තවද, අප්‍රේල් මාසයේදී එංගලන්තයේ ශ්‍රේෂ්ඨාධිකරණය කාන්තාවකගේ නීතිමය නිර්වචනය ජීව විද්‍යාත්මක ලිංගිකත්වය මත රඳා පවතින බවට තීන්දු කළා. මේ එංගලන්ත උසාවි තීන්දුව සමස්ත ටෙනිස් බලධාරීන් විසින් අනුගමණය කිරීම සියයට සියයකින් යුක්තිසහගත බව ඇය ප්‍රකාශ කරනවා.
පිළිකාව සමග සටන

මාටිනා නව්රාටිලෝවා නමැති දිරිය ක්‍රීඩිකාව පසුගිය වසර 15 තිස්සේ පිළිකාව සමග සටන් කරනවා.
2010 වසරේ ප්‍රථම වතාවට ඇයට පියයුරු පිළිකාව වැළඳී තිබෙන බවට සොයා ගන්නා විට ඇගේ වයස අවුරුදු 52ක්ව තිබුනා. වසර 13කට පසුව එම පිළිකාව නැවත පැමිණියේ ඊට කිසිම සම්බන්ධතාවක් නැති දෙවැනි රෝගයක් වූ උගුරේ පිළිකාවක් ද සමග.
ප්‍රතිකාර ඉතාමත් වේදනාකාරී වූවත් දැන් සියල්ල සතුටුදායක බව ඇය පවසනවා.
“රතු වයින්වලින් තාමත් රසයක් දැනෙන්නේ නැති බව හැරුනාම, වෙන කිසිම අතුරු බලපෑමක් මට නැහැ. ඒ නිසා මම දැන් වෙන පැත්තකට යොමුවී ටිකිලා සහ වොඩ්කා බොනවා” යනුවෙන් නව්රාටිලෝවා සිනාසෙමින් කියනවා.
පිළිකාව නිසා නව්රාටිලෝවාගේ ජීවිතය වෙනස් වෙලාද?
“සෑම දවසක්ම අගය කරන්න කියා පිළිකාව මට ඉගැන්නුවා. මම කොහොමත් එහෙම කරමිනුයි හිටියේ” ඇය සඳහන් කරනවා. “නමුත් වැඩියෙන්ම මට කියා දුන්නේ පොඩි දේවල් ගැන කරදර නොවී ඉන්න කියලයි. මේක සුව කරන්න පුළුවන් දෙයක්!”
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



