“ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමනි, කරුණාකර ඔබේ දෑස් විවර කරන්න, මගේ ජනතාවට උදව් කරන්න” යනුවෙන් යුක්රේනයේ ලොකුම ක්‍රීඩා තරුව වන ඌසික් CNN Sports සමග පැවති සම්මුඛ සාකච්ඡාවකදී ප්‍රකාශ කළා.
මේ යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ කියා සිටි පරිදිම එය ඉටු කිරීම අවශ්‍ය යැයි තමා විශ්වාස කරන බව ලෝක බොක්සිං කවුන්සලය (WBC), ලෝක බොක්සිං සංගමය (WBA) සහ ලෝක බොක්සිං සංවිධානයේ (WBO) හෙවිවේට් ශූරයා කියා සිටියා. පැය 24ක් ඇතුළත යුද්ධය අවසන් කරන බවට ට්‍රම්ප් ඔහුගේ අමෙරිකානු ජනාධිපති ඡන්ද මෙහෙයුමේදී පොරොන්දු වුනා.
“ට්‍රම්ප් ඔහු කී වචනවලට වගකිව යුතුයි” ඌසික් පැවසුවා. “මාසෙකින් හෝ දවසකින් මේ යුද්ධය නතර කරන බව ඔහු කීවා. ඔහු ඔහුගේ වචනවලට වගකියන්නේ නැත්නම් ඇයි එහෙම කියන්නේ?”
එක පිට එක නොනවත්වා එල්ල කෙරෙන ඩ්‍රෝන හා මිසයිල දැඩි ප්‍රහාර සමග යුක්රේනුවන් රාත්‍රියේ හා දවාලේ දිනපතා ගත කරන ජීවිත පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමට කීව් (Kyiv) අගනුවර තම නිවසට පැමිණෙන ලෙසට ඌසික් අමෙරිකානු ජනාධිපතිවරයාට ආරාධනා කළා.
“මම මගේ නිවස ඔහුට පිළිගන්වනවා. ඔහු යුක්රේනයට ආපුදෙන්. මම ඔහුට මගේ ගෙදරත්, මගේ ආරක්ෂක නිලධාරිනුත් දෙන්නම්. මම ඔහුගේ සම්පූර්ණ ආරක්ෂාව තහවුරු කරන්නම්” ඌසික් කියා සිටියා. “ඔහු මගේ ගෙදර සුමානයක් ජීවත් වෙමින් ඊට උඩින් රොකට් පියාසර කරන හැටිත් මිනිසුන් යුක්රේනයේ ජීවත් වෙන හැටිත් දැකපුදෙන්.”
“දවසකට විතරක් නෙවෙයි සතියක් එයා ඇවිත් ජීවත් වෙච්චදෙන්. නමුත් කාටත් හොරෙන් එයා ආපුදෙන්. මොකද, එතකොට කවුරුවත් එයා පැමිණි බවක් දන්නේ නැති නිසා” යනුවෙන් ලෝක හෙවිවෙට් බොක්සිං ශූරයා පැවසුවේ ට්‍රම්ප් යුක්රේනය ට පැමිණි බවක් මොස්කව් නුවර දැනගතහොත් ඔවුන් ඔවුන්ගේ ප්‍රහාර නතර කරනු ඇතැයි පෙන්වා දෙමින්.
“ඔහු හොර රහසේ ආවයින් පස්සේ කීව් අගනගරයේ Obolon හෝ Troyeshchyna දිස්ත්‍රික්කවල කොහේ හරි ජීවත් වෙමින් ගෙවල් දොරවල් හා නිවැසියන් ජීවත් වන ගොඩනැගිලිවලට රුසියාව බෝම්බ හෙලන අයුරු එයාගේ ඇස්වලින් ම දැක බලා ගත යුතුයි. එතකොට එයාට තේරෙයි මොනවද සිද්ධ වෙන්නේ කියලා.”

Crimea අර්ධද්වීපයේ Simferopol නගරයේ උපන් ඌසික් ජීවත් වූයේ කීව් නුවරට යාබදව වූව ද 2022 වසරේදී රුසියාව දැවැන්ත ආක්‍රමණයක් යුක්රේනයේ සිදුකළ අවස්ථාවේ ඔහු සිටියේ ලන්ඩනයේ. රුසියානු යුද ටැංකි කීව් අගනගරයට සමීප වෙද්දී නැවත තම මව්බිමට පැමිණි ඌසික් අගනුවර ආරක්ෂා කරමින් සිටි ප්‍රාදේශික ආරක්ෂක හමුදාවන්ට එක්වුනා.
සමූහ මිනී වළවල් සහ මහත් විනාශයක් ඉතිරි කරමින් Hostomel, Irpin හා Bucha යන අවට උපනගර හරහා රුසියානු හමුදා ගිය ගමනේදී ඔවුන් Vorzel නමැති ගම්මානයේ පිහිටි ඌසික්ගේ පවුලේ නිවාසය ද සම්පූර්ණයෙන් කොල්ල කෑ අයුරු ප්‍රසිද්ධියට පත්වුනා.
රට වෙනුවෙන් සටන් කරන ලෙසට තුවාල ලැබූ යුක්රේන සොල්දාදුවන් කළ ඉල්ලීම්වලින් උත්තේජනයක් ලැබූ ඌසික් ඔහුගේ වෘත්තීය බොක්සිං ක්‍රීඩා දිවිය දිගටම පවත්වා ගෙන ගිය ද, කිහිප අවස්ථාවකදීම යුද පෙරමුණට ගියේ ඔහුගේ හමුදා සගයන් සමග සමීප සබඳතා පවත්වා ගනිමින්.
එහෙත් දෙවැනි වරටත් අවිවාදිත හෙවිවේට් බොක්සිං ශූරයා බවට පත්විය හැකි තරගයක් වන බ්‍රිතාන්‍යයේ ඩැනියල් ඩූබ්වා (Daniel Dubois) ට එරෙහිව ජූලි 19 වැනිදා සටනට සූදානම් වන අතරතුර පවා ඌසික්ගේ මනසේ ප්‍රමුඛස්ථානය හිමිව තිබෙන්නේ යුක්රේනය ට.
“පවුලේ අය කීව් නුවර සිටින විට සමහර දේවල් සමබර කිරීම ටිකක් අපහසුයි” යනුවෙන් ඌසික් පවසන්නේ ඔහුගේ බිරිඳ හා දියණියන් දෙදෙනා සිටින්නේ රට ඇතුලේ බව සඳහන් කරමින්. “නමුත් මගේ යුක්රේන ජනතාව සහ මගේ යුක්රේන සොල්දාදුවන් ඔවුන්ව ආරක්ෂා කරන බව මම දන්නවා.”
මේක අමාරු කටයුත්තක්. නමුත් පසු කාලෙක මගේ රටට වැඩියෙන් උපකාර කිරීමට හැකිවන පරිදි මට මගේ රැකියාවට මාරුවෙන්න පුළුවනි” ඌසික් ප්‍රකාශ කරනවා.
“මම ඒ තරගය හා ඊට සූදානම් වීම වෙනුවෙන් මගේ සම්පූර්ණ අවධානය යොමුකර තිබෙනවා,” ඔලෙක්සැන්ඩ ඌසික් අවසාන වශයෙන් ප්‍රකාශ කරනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



