තායිලන්තයේ බැංකොක් හි පතුම්තනි ක්‍රීඩාංගණයේ පැවැත්වූ තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී තවත් රන් පදක්කම් 3ක් සමගින් පදක්කම් 5ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවෝ ඊයේ (24 වැනිදා) සමත් වූහ.
ඒ සමගින් ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කම් 6ක් රිදී පදක්කම් 4ක් සහ එක් ලෝකඩ පදක්කමක් සමගින් මුළු පදක්කම් 11ක් හිමි විය.

දිනයේ උදෑසන පැවැති මීටර 5000 දිවීම පිරිමි ඉසව්වේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වක්ෂන් වික්නරාජ් එහි රන් පදක්කම හිමිකරගත් අතර එහිදී ඔහු වාර්තා කළ තරග නිමි කාලය මිනිත්තු 15 තත්පර 4.56කි. එම ඉසව්වේ රිදී පදක්කම සහ ලෝකඩ පදක්කම තායිලන්ත ක්‍රීඩකයින් වන අනුච පාඩා සහ පොන්සකෝන් සුක්සවට් හිමිකර ගත්හ. එහිදී ඔවුන් පිළිවෙලින් මිනිත්තු 15 තත්පර 18.28ක් සහ මිනිත්තු 15 තත්පර 23.46ක් ලෙස සිය තරග නිමි කාලයන් වාර්තා කිරීමට සමත් වූහ.
මීටර 800 දිවීම පිරිමි සහ කාන්තා ඉසව්වල අවසන් තරගවලදී රන් පදක්කම් හිමි කරගැනීමට රුසිරු චතුරංග සහ නිමාලි ලියනාරච්චි සමත් වූහ. එහිදී රුසිරු මිනිත්තු 1 තත්පර 50.01ක තරග නිමි කාලයක් වාර්තා කරද්දී නිමාලි මිනිත්තු 2 තත්පර 19.46ක තරග නිමි කාලයක් වාර්තා කිරීමට සමත් විය.
එම ඉසව්වේ පිරිමි රිදී සහ ලෝකඩ පදක්කම් කොරියානු සහ තායිලන්ත ක්‍රීඩකයින් වෙත හිමි වූහ. කාන්තා ඉසව්වේ රිදී සහ ලෝකඩ පදක්කම් මැලේසියා සහ තායිලන්ත ක්‍රීඩිකාවන්ට හිමි වුණි.

අයෝමාල් අකලංක මීටර 400 කඩුලු මතින් දිවීම ඉසව්වේ අවසන් තරගයේදී තත්පර 50.75ක කාලයක් වාර්තා කරමින් රිදී පදක්කමට හිමිකම් කීවේ ය. එහි රන් පදක්කම තත්පර 50.67කින් තරගය නිම කළ චීන තායිපේ ක්‍රීඩක යූ-ටිං වූ හිමිකර ගනිද්දී, ලෝකඩ පදක්කම තත්පර 51.67කින් තරගය නිම කළ කොරියානු ක්‍රීඩක සේ හ්‍යුන් හන් සතු විය.
පිරිමි තුන් පිම්ම ඉසව්වෙ ලෝකඩ පදක්කම මීටර 15.94ක දක්ශතාවක් වාර්තා කළ ශ්‍රී ලංකා ක්‍රීඩක සෆ්රීන් අහමඩ් නජිමුදීන් විසින් දිනා ගත්තේය. එහි රන් පදක්කම මීටර 16.02ක දුරක් වාර්තා කළ තායිලන්ත ක්‍රීඩක නට්ටාපොං ස්‍රිනොන්තා සතු වූ අතර රිදී පදක්කම මීටර 15.98ක දුරක් වාර්තා කළ කොරියානු ක්‍රීඩක මින් සොක් ජේ ඇන්ග් සතු විය.
මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් රුසිරු චතුරංග සහ මධුෂානි හේරත් රන් පදක්කම් 2 බැගින් ජයග්‍රහණය කළහ.
ඔවුන්ට අමතරව වක්ෂන් වික්නරාජ් සහ ඩබ්ලිව්.කේ.එල්.ඒ. නිමාලි රන් හා රිදී පදක්කම බැගින් දිනා ගැනීමට සමත් වූහ.

එසේම අයෝමාල් අකලංක සහ වත්සලා හපුආරච්චි එක් රිදී පදක්කම බැගින් ද, සෆ්රීන් අහමඩ් එක් ලෝකඩ පදක්කමක් ද දිනා ගත්හ.
තරගාවලියට සහභාගි වූ අනෙක් ක්‍රීඩිකාව වූ අමාශා සිල්වා මීටර 100 කාන්තා ඉසව්වේ අවසන් තරගයට සහභාගි වෙමින් එහි සිව්වැනි ස්ථානයට පත් වූවාය. ඒ තත්පර 12.05 කටය. මලයාසියානු ක්‍රීඩිකා නූර් අයිෂා රොෆිනා එහි රන් පදක්කම දිනා ගත්තේ තත්පර 11.92 කටය.
ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අට දෙනකු සහභාගිවී සිටින මෙම තරගාවලිය අද (25) නිමාවට පත්වේ.
| aruna



