The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

එස්.එස්.සී. - දෙවැනි ටෙස්ට් ගැටුම: ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස

T

The Leader Desk

June 27, 2025 • 3:19 PM

එස්.එස්.සී. - දෙවැනි ටෙස්ට් ගැටුම: ශ්‍රී ලංකාව ජයග්‍රහණය අභියස

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ අභියසට පැමිණ සිටියා.
  • බංග්ලාදේශය මේ තරගයේ ඉනිමක පරාජයෙන් ගැළවීමට නම් තව ලකුණු 96ක් ලබා ගත යුතුව තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඉතිරිව තිබෙන්නේ කඩුලු 4ක් පමණයි.
  • බංග්ලාදේශය පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 247 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව ලකුණු 458ක් වාර්තා කළ අතර අද තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 115කට බිඳ වැටී තිබුණා.
  • පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් (93) සහ කුසල් මෙන්ඩිස්ගේ දර්ශනීය පිතිහරඹ මත ශ්‍රී ලංකාව පළමු ඉනිමේ බංග්ලාදේශය ට වඩා ලකුණු 211කින් පෙරමුණට පිවිසියේ කමිඳු මෙන්ඩිස් හා ලහිරු උදාරගේ (40) ද වටිනා දායකත්වයන් සමග.
අකුරු ප්‍රමාණය (Font Size):

ශ්‍රී ලංකාව ජයග්‍රහණයේ අභියසට පැමිණ සිටියා.

බංග්ලාදේශය මේ තරගයේ ඉනිමක පරාජයෙන් ගැළවීමට නම් තව ලකුණු 96ක් ලබා ගත යුතුව තිබෙන අතර ඒ වෙනුවෙන් ඔවුන් සතුව ඉතිරිව තිබෙන්නේ කඩුලු 4ක් පමණයි.

බංග්ලාදේශය පළමු ඉනිමේ ලබා ගත් ලකුණු 247 ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකාව ලකුණු 458ක් වාර්තා කළ අතර අද තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායමේ කඩුලු 6ක් ලකුණු 115කට බිඳ වැටී තිබුණා.

පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල් (93) සහ කුසල් මෙන්ඩිස්ගේ දර්ශනීය පිතිහරඹ මත ශ්‍රී ලංකාව පළමු ඉනිමේ බංග්ලාදේශය ට වඩා ලකුණු 211කින් පෙරමුණට පිවිසියේ කමිඳු මෙන්ඩිස් හා ලහිරු උදාරගේ (40) ද වටිනා දායකත්වයන් සමග.

පෙර දින වාර්තා කළ කඩුලු 2 ට ලකුණු 290 සිට අද තෙවැනි දින තරගය ආරම්භ කළ ශ්‍රී ලංකාව ඕවර 80කින් පසුව දෙවැනි නව පන්දුව ක්‍රීඩාවට යොදා ගන්නා විට ලකුණු 294ක් රැස්කර ගෙන සිටි අතර නව පන්දුවේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවෙන් පැතුම් නිස්සංක දැවී ගියා. මුළු ලකුණු 305දී ඔහු දැවී ගියේ ටයිජුල් ඉස්ලාම්ගේ පන්දුවට ‘ෂෝට් කවර්’ හි පන්දු රකිමින් සිටි අනාමුල් හක් අතට උඩ පන්දුවක් ලබා දෙමින්.

පන්දු 254කට මුහුණ දුන් නිස්සංක හතරේ පහර 19ක් සමග ලකුණු 158ක් වාර්තා කළේ පෙර දින ඔහු රැස්කර ගෙන සිටි ලකුණු ප්‍රමාණයට තවත් ලකුණු 12ක් පමණක් එක් කරමින්. ඔහු නව පන්දුවට මුහුණ දුන්නේ 14 වතාවක් පමණයි.

ඊට ඕවර දෙකකට පසුව නායක ධනංජය ද සිල්වා (7) දැවී ගියේ මුළු ලකුණු 313දී. ටයිජුල්ගේ පන්දුවට කඩුල්ල මුවා කළ බවට තරග විනිසුරුවා දුන් තීන්දුවට එරෙහිව ධනංජය සැණින් අභියෝග කළ ද තෙවැනි විනිසුරු ද පිටියේ විනිසුරුගේ තීරණය අනුමත කළා.

ඊයේ කඩුල්ල ආරක්ෂා කිරීමට පැමිණි ප්‍රභාත් ජයසූරිය අද තව ලකුණු පහක් ලබා ගෙන පස්වැනි කඩුල්ල ලෙස 89 වැනි ඕවරයේ දැවී ගියා. ලකුණු 10ක් රැස්කර ගත් ඔහු මුළු ලකුණු 335දී දැවී ගියේ නහිඩ් රානාගේ පන්දුවට දුන් උඩ පන්දුව තෙවැනි ‘ස්ලිප්’ හිදී මෙහෙදි හසන් මිරාස් රැක ගැනීමෙන්.

කමිඳු මෙන්ඩිස් ලකුණු 33කට දැවී ගියා. පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් ද එල්ල කර සිටි ඔහු නයීම් හසන්ගේ පන්දුව කඩුල්ලේ වැදීමෙන් මුළු ලකුණු 384දී දැවී ගියේ කුසල් මෙන්ඩිස් සමග පන්දු 59කින් ලකුණු 49ක් හය වැනි කඩුල්ල වෙනුවෙන් එක් කිරීමෙන් පසුව.

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ශ්‍රී ලංකාව කඩුලු 6 ට ලකුණු 401ක් රැස් කරගෙන සිටියේ බංග්ලාදේශයට වඩා ලකුණු 154ක පෙරමුණක් ලබා ගනිමින්.

දිවා ආහාරයෙන් පසුව යැවුනු දෙවැනි ඔ්වරයේදී ශ්‍රී ලංකා 7 වැනි කඩුල්ල බිඳ වැටෙමින් සොනාල් දිනූෂ (11) දැවී ගියා. නයීම් හසන්ගේ පන්දුව කඩුල්ලේ ගැටීමෙන් ඔහු දැවී යන විට ශ්‍රී ලංකා මුළු ලකුණු සංඛ්‍යාව 406ක් ලෙස සටහන්ව තිබුණා.

තරිඳු රත්නායක (10) හයේ පහරක් එල්ල කිරීමෙන් පසුව තවත් එවැනිම පහරක් එල්ල කිරීමේදී හතරේ සීමාව අසල අනාමුල් හක් උඩ පන්දුව රැක ගැනීමෙන් මුළු ලකුණු 429දී දැවී ගියා. පන්දු යවන්නා වූයේ ටයිජුල් ඉස්ලාම්.

117 වැනි ඔ්වරයේදී කුසල් මෙන්ඩිස් දුවද්දී දැවී ගිය අතර පන්දු 87කට මුහුණ දුන් ඔහු හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 84ක් වාර්තා කළා.

අසිත ප්‍රනාන්දු (0) ද එම ඔ්වරයේ ම දැවී යාමත් සමග ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 458කට අවසන් වුණා. ඒ අනුව ශ්‍රී ලංකාව මේ තරගයේ පළමු ඉනිමේදී බංග්ලාදේශය ට වඩා ලකුණු 211ක් ඉදිරියට පැමිණ සිටියා.

බංග්ලාදේශය වෙනුවෙන් සාර්ථකම පන්දු යවන්නා වෙමින් ටයිජුල් ඉස්ලාම් ලකුණු 131කට කඩුලු 5ක් ලබා ගත් අතර නයීම් හසන් ලකුණු 87කට කඩුලු 3ක් ලබා ගත්තා.

දෙවැනි ඉනිමේදී බංග්ලාදේශ මුළු ලකුණු සංඛ්‍යාව 31ක්ව තිබියදී ඔවුන්ගේ පළමු කඩුල්ල බිඳ වැටුනේ හත්වැනි ඔ්වරයේදී. අසිත ප්‍රනාන්දුගේ පන්දුවට අනමුල් හක් එල්ල කළ පහරෙන් ඉහළ නැගි පන්දුව අතිරේක ක්‍රීඩක පවන් රත්නායක ‘ෂෝට් ලෙග්’ ස්ථානයේ සිට පහසුවෙන් අල්ලා ගත් අතර අනමුල් හක් ලකුණු 19කට දැවී ගියා. ඒ සමගම තරගය සවස තේ පානය සඳහා නතර කළ අතර බංග්ලාදේශය එක් කඩුල්ලක් දැවී ලකුණු 31ක් ලබා ගෙන සිටියා.

තේ පානයෙන් පසුව ප්‍රභාත් ජයසූරියගේ වමතින් දඟ කැවී පැමිණි තෙවැනි පන්දුවට ෂඩ්මන් ඉස්ලාම් ගොදුරු වුණා. ලහිරු උදාර උඩ පන්දුව රැක ගන්නා විට ෂඩ්මන් ලබා ගෙන සිටියේ ලකුණු 12ක් පමණයි. ඒ අනුව දෙවැනි කඩුල්ල ද මුළු ලකුණු 31දී ම බිඳ වැටුනා.

මුළු ලකුණු 63දී තෙවැනි කඩුල්ල බංග්ලාදේශය ට අහිමි වෙමින් මොමිනුල් හක් (15) දැවී ගියා. ධනංජය ද සිල්වාගේ පන්දුවට දුන් උඩ පන්දුව කමිඳු මෙන්ඩිස් පළමු ‘ස්ලිප්’ හිදී රැක ගැනීමෙන් හක් දැවී ගිය අතර ඒ වන විට යැවෙමින්  තිබුනේ දෙවැනි ඉනිමේ 19 වැනි ඕවරය යි.

නජ්මුල් හොසේන් ෂැන්ටෝ නැවත වරක් පිතිකරණයේ අසාර්ථක වෙමින් ලකුණු 19කට දැවී ගියා. හතරේ සහ හයේ පහරක් බැගින් එල්ල කළ ඔහුට පන්දු 48කට මුහුණ දීමෙන් පසුව ආපසු ක්‍රීඩාගාරයට යාමට සිදුවුනේ ධනංජයගේ පන්දුවට කඩුල්ල මුවා කිරීම හේතුවෙන්. එම තීරණයට ෂැන්ටෝ අභියෝග කළ ද තෙවැනි විනිසුරු ද එය කඩුල්ල මුවා කිරීමක් ලෙස තීන්දු කළා. බංග්ලාදේශය - මුළු ලකුණු 70යි..කඩුලු 4යි..ඕවර 22.4යි.

මුෂ්ෆිකුර් රහිම් සහ ලිටන් ඩාස් පන්දු 68ක් තිස්සේ පස්වැනි කඩුල්ල ආරක්ෂා කරමින් සිටිය ද ප්‍රභාත් ජයසූරියගේ දර්ශනීය දඟ පන්දුවකින් එම පිතිකරුවන් දෙදෙනාගේ ලකුණු 30ක සබඳතාව අවසන් වුනා. මුෂ්ෆිකුර් අන්දමන්ද කරමින් 34 වැනි ඔ්වරයේ අවසන් පන්දුව පිත්ත පරදවා ගොස් පිට ඉන්න මුදුනේ ගැටුනු අතර මුෂ්ෆිකුර්ගේ ඉනිම ලකුණු 26කට අවසන් වුනා. පන්දු 53කට මුහුණ දුන් මුෂ්ෆිකුර් දැවී යන විට හතරේ පහර දෙකක් එල්ල කර තිබුණා.

මුළු ලකුණු 100දී පස්වැනි කඩුල්ල බිඳ වැටීමෙන් පසුව මෙහෙඩි හසන් මිරාස් පැමිණ ඩාස් සමග කඩුල්ලේ එක්වූ අතර 38 වැනි ඕවරයේ තරිඳු රත්නායක යැවූ සිවු වැනි පන්දුවට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මිරාස් (11) දැවී යාමත් සමග බංග්ලදේශයේ හය වැනි කඩුල්ල මුළු ලකුණු 115දී බිඳ වැටුනා. ශ්‍රී ලංකාව එම දැවී යාමේ තීරණය ලබා ගත්තේ තෙවැනි විනිසුරු මාර්ගයෙන්.

අද තරගය නතර කරන විට ලිටන් ඩාස් නොදැවී ලකුණු 13ක් රැස්කර ගෙන සිටියා.

ප්‍රභාත් ජයසූරිය ලකුණු 47කට කඩුලු 2ක් ද, ධනංජය ද සිල්වා ලකුණු 13කට කඩුලු 2ක් ද ලබා ගත්තා.

(ඡායාරූප අනුග්‍රහය - ශ්‍රී ලංකා ක්‍රිකට්)

warnan Gunasekara(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com

 

 

Ban vs SL 1

3rd day ban vs sl 2

3rd day ban vs sl 3

3rd day ban vs sl 4

3rd day ban vs sl 7

3rd day ban vs sl 5

3rd day ban vs sl 6

3rd day ban vs sl 8

3rd day ban vs sl 9

3rd day ban vs sl 12

3rd day ban vs sl 10

3rd day ban vs sl 11

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...