බොහෝ ප්‍රධාන ක්‍රීඩා ඉසව්වලට සාමාන්‍ය ආරක්ෂක ක්‍රියාමාර්ගයක් ලෙස යොදවා ගන්නා ඉව අල්ලන බල්ලන් ට ද, ඩහදිය වැඩියෙන් ඇතිකරන ඌෂ්ණයක් තිබෙන මේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ ඉටු කිරීමට කාර්යභාරයක් තිබෙනවා.
ඒ කාර්යය ට ගල්තාර බිමේ ඇවිදීම ද ඇතුළත්ව තිබෙන බැවින් එය බල්ලන්ගේ පාදවලට අසීරු දෙයක් වීමට ඉඩ තිබෙනවා.

මීට විසඳුමක් වශයෙන් ෆිලඩෙල්ෆියා නගරයේ Lincoln Financial Field ක්‍රීඩාංගණයේ ඉව අල්ලන බල්ලන්ගේ පාද ආරක්ෂා කිරීම පිණිස දිලිසෙන වර්ණවලින් යුත් බූට් සපත්තු සවිකර තිබෙනවා.

බූට් සපත්තු පැළඳීමට අමතරව මේ බල්ලන්ට ජලය උරාගැනීමට සලස්වා තිබෙන අතර උෂ්ණත්වය වැඩි වේලාවන් හිදී උන්ගේ මුර සංචාර වරකට මිනිත්තු 20කට සීමා කර තිබෙනවා. එපමණක් නොව, මේ බල්ලන් කුඩා පිහිනුම් තටාකවල විනෝදයක් ද ලබන්නේ අයිස්වලින් පිරුණු ශීත ස්නානයක් භුක්ති විඳිමින්.
“පැහැදිලිවම, අපට රස්නෙ දැනෙන විට බල්ලන්ට ඊට වඩා දහ ගුණයක් වැඩියෙන් රස්නෙ දැනෙනවා. අපේ බල්ලන් නොම්මර එකේ අය. උන් නැතුව අපට අපේ රස්සාව කරන්න බැහැ” යනුවෙන් ක්‍රීඩාංගණ ආරක්ෂක නිලධාරියෙක් පවසනවා.
ලොව වටා කණ්ඩායම් 32ක සහභාගිත්වයෙන් අමෙරිකාවේ නගර කිහිපයක පැවැත්වෙන පාපන්දු සමාජ ලෝක කුසලාන තරගාවලියේ ප්‍රධාන ගැටළුවක් බවට අධික උෂ්ණත්වය පත්ව තිබෙනවා. කණ්ඩායම්වලට ඔවුන්ගේ පුහුණුවීම් අඩු කිරීමට සිදුව තිබෙන අතර ආදේශ ක්‍රීඩකයන් තරග බිමේ පැති රේඛාව අසල බංකුවේ සිට තරගය නරඹනවා වෙනුවට ඔවුන්ට සිදුව තිබෙන්නේ කණ්ඩායම් වෙනුවෙන් ලබා දී තිබෙන ‘ලොකර් රූම්’වල සිට තරගය නැරඹීමටයි. ක්‍රීඩකයන්ට වතුර බීමට අවස්ථාව ලබා දීම පිණිස තරගය ට විටින් විට විරාමයන් ලබා දීම කළයුතුම දෙයක් වී තිබෙනවා.

බූට් සපත්තුවලින් සැරසී සිටින බල්ලන් බොහෝ දෙනාගේ අවධානයට ලක්වෙමින් තිබුන ද, වැඩ කරන බල්ලන් ට පාවහන් ලබා දීම එතරම් අසාමාන්‍ය දෙයක් නෙවෙයි. උන්ට මේ පහසුකම ලබා දෙන්නේ උෂ්ණත්වය අධික දේශගුණය නිසා ම පමණක් නෙවෙයි.
ශීත සෘතුවේ දේශගුණයත් සමග එන අයිස්, වැලි සහ ලවණවලින් බල්ලන්ගේ අඩිය ආරක්ෂා කිරීම පිණිස පෝට්ලන්ඩ්, මේන් සහ අමෙරිකාව හරහා තිබෙන අනෙකුත් නගරවල K-9 පොලිස් ඒකක මේ බූට්ස් භාවිතා කර තිබෙනවා.

ඉව අල්ලන බල්ලන් ගුවන් තොටුපලවල සහ ක්‍රීඩා ඉසව්වල සිටිනු නිතරම දක්නට ලැබෙන්නේ ඔවුන්ට පුපුරණ ද්‍රව්‍ය, හොර බඩු සහ තුවක්කු පතරොම් ආඝ්‍රාණය කළ හැකි නිසා. ආගිය අතක් නොදන්නා පුද්ගලයන් සොයා ගැනීමට හා සැකසහිත අපරාධකරුවන් පසුපස ලුහුබැඳීමට ද උපකාරයක් ලෙසින් පොලිසිය ඉව අල්ලන බල්ලන් පාවිච්චි කරනවා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී



