සමත්නගර් ප්‍රදේශයේ හෝටලයක දෙවැනි මහලේ සිට බිම වැටීමෙනුයි නිකෙට් ඊයේ උදේ මරුමුවට පත්ව තිබෙන්නේ. මේ අනතුර සිදුව තිබෙන්නේ පෙරවරු අට ට පමණ. නිකෙට් ඩලාල් හිටපු නියෝජ්‍ය පුරපති ලටා ඩලාල්ගේ පුත්‍රයා යි.
ජූනි 30 වැනිදා රාත්‍රියේ ඔවුන්ගේ නිවසේ ගින්නක් හටගෙන තිබෙන අතර එම නිවස අනාරක්ෂිත බවට සැලකිල්ලට ගැනීමෙන් පසුව නිකෙට්ගේ මිතුරන් පාන්දර තුනට පමණ ඔහුට නතර වීම පිණිස හෝටලයක් පිළියෙළ කර දී තිබුනා.

කෙසේ වෙතත්, පසුදින උදයේ එනම් ජූලි 1 වැනිදා, නිකෙට් හෝටලයේ රිය ගාලේ වැටී සිටියදී සොයාගෙන තිබෙනවා. මේ ඛේදජනක සිදුවීමෙන් මුළු නගරය ම කම්පාවට පත්ව තිබෙනවා.
වෘත්තියෙන් කථන චිකිත්සකයෙකු වන නිකෙට් ඩලාල් 2020 වසරේදී ඉතිහාසය නිර්මාණය කර තිබුනේ යකඩ මිනිහා තුන්ප්‍රයාම තරගය අවසන් කළ පළමු දෘශ්‍යාබාධිත ක්‍රීඩකයා බවට පත්වෙමින්.
නිකෙට් වේගවත්ම කාලයකින් අවසන් කළ ‘යකඩ මිනිහා 70.3 තුන් ප්‍රයාම’ (Ironman 70.3 Triathlon) තරගයට කිලෝමීටර් 1.9ක පිහිනීමක්, කිලෝමීටර් 90ක පාපැදි ධාවනයක් සහ කිලෝමීටර් 21.1ක දුර දිවීමක් ඇතුළත්ව තිබුණා.
නිකෙට් ඩලාල් ට ඔහුගේ ඇස්පෙනීම 2015 වසරේදී අහිමි වුනේ ග්ලෝකෝමාව රෝගය නිසා. ඒ අවස්ථාවේ ඔහු ඔහුගේ උපන් නගරය වන ඔරංගබාඩ් හි කථන චිකිත්සකයෙකු ලෙස රැකියාව කරමින් සිටියා. ක්‍රීඩකයෙකු ලෙස පෙලහර පෑමට ඉමහත් ආශාවක් දැක්වූ නිකෙට් ඩලාල් ජාතික මට්ටමේ පිහිනුම් තරගවල පදක්කම් තුනක් දිනාගෙන තිබුණා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී



