අමීර් ඛාන් (Aamir Khan) සහ රීනා ඩුට්ටා (Reena Dutta) විවාහ වූයේ ඉතාම තරුණ වියේදී. ඒ වන විට අමීර් 21 වැනි වියට පා තැබුවා පමණයි. අසල්වැසියන් ලෙස ප්‍රථම වතාවට මුණගැසුනු තැන් පටන් ඔවුන් එකිනෙකාට ප්‍රේම කළා. පැහැදිලිවම මේ දෙදෙනාගේ මාපියන් මේ සම්බන්ධයට එරෙහි වූ අතර ඔහු කවදාවත් හමුනොවන බවට රීනාගේ මව ඇයව පොරොන්දු කරවා ගත්තා.

මේ නිසා දෙන්නා හොරෙන් විවාහ වුනා. මෙය සිදුවූයේ අමීර්ගේ ප්‍රථම චිත්‍රපටය වූ Qayamat Se Qayamat Tak නිකුත් වීමටත් පෙර.
මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී අමීර් ඔහුගේ විවාහයේ විස්තරත්, තමාගේ විවාහ දිනය පාකිස්තාන ක්‍රිකට් ක්‍රීඩක ජාවඩ් මියැන්ඩාඩ් නාස්ති කර දැමූ අයුරුත් අනාවරණය කළා.
අමීර් හා රීනා ඔවුන්ගේ නිවෙස්වලින් පලාගොස් විවාහ වී සිටියා. ඔවුන් නැවත නිවෙස්වලට පැමිණියේ කිසිවක් සිදු නොවූ ආකාරයෙන්. “අපි මෙච්චර පරක්කු වෙලා ගෙදර ආවේ ඇයි කියලා අපේ පවුල්වල අය අපෙන් අහයි කියා අපි හිතුවා” යනුවෙන් අමීර් කියා සිටියා.
නමුත් ඔවුන්ගේ වාසනාවට, එදින ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙමින් තිබූ අතර සියලු දෙනාම ඒ තරගයේ ඇලී සිටියා. එබැවින් මේ දෙදෙනා නිවෙස්වල නැති බව කිසිම කෙනෙකුට දැනුනේ නැහැ.
නමුත් එම තරගය අමීර් ඛාන්ව අසහනයට පත්කළා. “එදා ඉන්දියා පාකිස්තාන තරග දවසක්. අන්තිම පන්දුවට මියැන්ඩාඩ් හයේ පහරක් ගැහුවේ ඒ තරගයේයි. අපි (ඉන්දියාව) ඒ තරගය ජයග්‍රහණය කරමිනුයි හිටියේ. ඒ නිසා කවුරුවත් අපි ගැන සොයා බැලුවේ නැහැ. මමත් ඇවිත් ගෙදර අයත් එක්ක එකතු වෙලා තරගය නරඹමින් සතුටු වුනා. නමුත් ජාවඩ්ගේ අන්තිම බෝලේ හයේ පහර ඒ සතුට සම්පූර්ණයෙන්ම නැතිකළා” අමීර් පැවසුවා.
“දවසක් මට එයාව ප්ලේන් එකේදී හමුවුනා. මම එයාට කිවුවා, ‘ඔයා මගේ විවාහය විනාශ කළා’ කියලා. එවිට මියැන්ඩාඩ්, ‘ඒ කොහොමද?’ කියලා ඇහුවා. එතකොට මම කීවා, ‘ඔබේ හයේ පහර මාව අසහනයට පත්කළා’ කියලා.”

පසුව, රීනා ඩුට්ටාගේ මාපියන් ඔවුන්ගේ රහස් මංගල්‍යය ගැන දැනගත් විට කලබලයට පත්වුනා. ඇගේ පියාට හෘදයාබාධයක් පවා හටගත්තා.
නමුත් එයින් පවුල් දෙක අවසානයේ සමීප වෙමින් රීනාගේ පවුලේ අය ඇගේ විවාහය පිළිගත්තා. පසු කලෙක, රීනාගේ සහෝදරයා අමීර්ගේ සහෝදරිය සමග විවාහ වුනා. කෙසේ වෙතත්, අමීර් සහ රීනා 2002 වසරේදී දික්කසාද වුනා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



