The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

බංග්ලාදේශයට තියුණු ජයක්

T

The Leader Desk

July 6, 2025 • 5:08 AM

බංග්ලාදේශයට තියුණු ජයක්

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශය ලකුණු 16 ක සියුම් ජයක් අත්කර ගත්තේය.
  • මෙම ජයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්තේය.
  • තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 8 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.
  • ලකුණු 249 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.5 කදී ලකුණු 232 කට දැවී ගියේය.
අකුරු ප්‍රමාණය (Font Size):


කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඊයේ (5 වැනිදා) පැවැති දෙවැනි එක්දින තරගයේදී බංග්ලාදේශය ලකුණු 16 ක සියුම් ජයක් අත්කර ගත්තේය. මෙම ජයත් සමගින් බංග්ලාදේශ කණ්ඩායම තරග 3 කින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙසින් සමකර ගත්තේය.

තරගාවලියේ තුන්වැනි සහ අවසන් එක්දින තරගය ලබන 8 වැනිදා පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

ලකුණු 249 ක ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 48.5 කදී ලකුණු 232 කට දැවී ගියේය.

ශ්‍රී ලංකා කණ්ඩායම ජයටැඹ කරා කැඳවාගෙන යාම සඳහා දුෂ්මන්ත චමීරව (12) එක පැත්තක සිරකරගත් ජනිත් ලියනගේ, 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක් එක්කීරිමට සමත් වූ නමුත් ලියනගේගේ දැවී යාමෙන් පසුව ශ්‍රී ලංකා පිලේ අවසන් බලාපොරොත්තුවද ගිළිහී ගියේය.

බංග්ලාදේශය වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ තන්වීර් ඉස්ලාම්, නිලකුණු ඕවර දෙකක් ද සමගින්, ලකුණු 39 කට කඩුලු 5 ක් දවාගත්තේ සිය දෙවැනි තරගයේදීම තරගයේ වීරයා සම්මානයද හිමිකර ගනිමිනි.

තන්වීර්ගේ මංගල එක්දින තරගය වූයේ පසුගිය 2 වැනිදා කොළඹදී පැවැති පළමු එක්දින තරගයයි.

ලකුණු 248 ක් යනු වර්තමාන එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේදී එතරම් ආරක්‍ෂිත ලකුණු සංඛ්‍යාවක් නොවේ. ඉලක්කය කරා යාමට වන් ශ්‍රී ලංකා පිතිකරුවෝ බංග්ලාදේශය මිරිකා දමන්නට සූදානම් වූහ. එහෙත් විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය විශිෂ්ට ආකාරයෙන් ප්‍රයෝජනයට ගත් බංග්ලාදේශ නායකයා, ලකුණු 75 ක් ව තිබියදී කුසල් මෙන්ඩිස් දවාගත්තේය.

 

cn6878
එතැන් සිට දිගින් දිගටම දඟ පන්දු යවන්නන් යොදා ගනිමින් ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ ගෙල සිරකළ බංග්ලාදේශ නායකයා නැවත වරක් වේග පන්දු යවන්නන් කැඳවන විට ලකුණු 137 කට ශ්‍රී ලංකා පිලේ කඩුලු 6 ක් බිඳ වැටී තිබිණ.

මෙම කාලය අතරතුර තන්වීර් ඉස්ලාම් (8-1-30-4), මෙහෙදි හසන් (7-0-26-0) සහ ශමීම් හොසේන් (9-1-22-1) එක්ව ඕවර 24 ක් බෙදාහදා ගනිමින් ලකුණු 78 කට කඩුලු 5 ක් බිම දැමූහ. මේ තිදෙනා අතුරින් කුසල් මෙන්ඩිස්ගේ දරුණු පහරදීමට මුහුණ දුන් වමත් දඟ පන්දු යවන්නා වන තන්වීර් ඉස්ලාම් සිය පළමු ඕවර දෙකේදීම ලකුණු 22 ක් තිළිණ කළ නමුත් එතැන් සිට යැවුණු ඕවර 6 කින් ලකුණු 08 කට කඩුලු 4 ක් දවාගත්තේය.  

33 වැනි ඕවරයේදී බංග්ලාදේශ නායකයා නැවතත් වේග පන්දු යවන්නන් කැඳවන ලද නමුත් ශ්‍රී ලංකා පිල සතුව කඩුලු නොතිබූ බැවින් එතැන් සිට ගොඩඒමක් නොවීය.

සිය හොඳම එක්දින පන්දු යැවීම සටහන් කළ අසිත ප්‍රනාන්දු (35/4) සහ වනිඳු හසරංග (60/3) එක්ව බංග්ලාදේශ පිලේ 9 වැනි කඩුල්ලත් ලකුණු 218 දී දවාගත්හ. එහෙත් අවසන් කඩුල්ල වෙනුවෙන් තනිවම ලකුණු 30 ක් එක්කළ 22 හැවිරිදි ටැන්සිම් හසන් සකීබ් බංග්ලාදේශය ලකුණු 248 ක් දක්වා ඉදිරියට ගෙන ගියේය.

ctjk78o89o
අවසානයේදී බංග්ලාදේශය ජයග්‍රහණය කරවූයේ මෙම අවසන් කඩුල්ලේ සම්බන්ධතාවයි.

පන්දු 21 කින් ලකුණු 33 ක් ලබාගත් ටැන්සිම් හසන් සකීබ්, පන්දු යවන්නකු ලෙසින් ක්‍රීඩා කරන අතර පිටියට පැමිණියේ අංක 8 පිතිකරුවා ලෙසිනි. එහෙත් 9 වැනි කඩුල්ල දැවී යාමෙන් පසුව අවසන් පිතිකරුවා වූ මුස්ටෆිසුර් රෙහෙමාන් කඩුල්ලේ පැත්තකට තල්ලු කළ හසන් සකීබ් වනිඳු හසරංග හමුවේ දැවැන්ත හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවී ලකුණු 33 ක් ලබාගත්තේය.

අසිත ප්‍රනාන්දු ඉනිම ආරම්භයේ සිටම අගනා පන්දු යැවීමක නිරත විය. සිය පළඹු ඕවර 3 දී ලකුණු 20 කට කඩුල්ලක් දවාගත් අසිත වරින් වර පන්දු යැවීමට පැමිණෙමින් බංග්ලාදේශ පිතිකරුවන්ගේ රිද්මය කඩා බිඳ දැම්මේය. කෙසේ වෙතත් ශ්‍රී ලංකා නායකයාට පන්දු යවන්නන් හත් දෙනකුගේ සේවය ලබාගැනීමට සිදුවිය.

vb5u

 

තණතීරුවේ පවතින ස්වභාවය නිසාම දුනිත් වෙල්ලාලගේ කණ්ඩායමට කැඳවූ ශ්‍රී ලංකා නායකයා, එක් අන්තයකින් මහීෂ් තීක්‍ෂණ යොදවා පන්දු යැවීම ආරම්භ කළේය. එහෙත් අසිත ප්‍රනාන්දු හැරෙන්නට සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ පන්දු යැවීම සුපුරුදු පන්දු යැවීමේ රටාවට වඩා බොහෝ පහළින් තිබිණ. ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන් හමුවේ හොඳින් ලකුණු ලබාගත් බංග්ලාදේශ පිතිකරුවන් තරමක් හෝ මෙල්ල වූයේ වේග පන්දු යවන්නන්ට පමණි.

වනිඳු හසරංගගේ ඕවර 10 න් බංග්ලාදෙශ පිතිකරුවෝ ලකුණු 60 ක් උදුරාගත්හ.

කුළුණක් වන් ඉනිමක් ගොඩනැංවූ ආරම්භක පිතිකරු පර්වීස් හොසේන් පන්දු 69 කින් ලකුණු 67 ක් ලබාගත්තේය. හතරේ පහර 6 කින් සහ දැවැන්ත හයේ පහර තුනකින් සමන්විත වූ පර්වීස්ගේ පිතිහරඹය වටා එක්රොක් වූ සෙසු බංග්ලාදේශ පිතිකරුවන්ගෙන් තව්හීද් රිදෝයි (51) හැරෙන්නට සෙසු පිතිකරුවන් සියලු දෙනාම පාහේ ලකුණු ලබාගැනීම ආරම්භ කළ නමුත් එය දීර්ඝව කරගෙන යාමට අපොහොසත් වූහ.

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පළමුවරට එක්දින තරගයක් ක්‍රීඩාකර ඇත්තේ 2002 වසරේදීය. එතැන් සිට අද තරගයට පෙර පැවති තරග 11ම ජය ගෙන සිටියේ ශ්‍රී ලංකාවයි.

(kelimandala | දමින්ද විජේසූරිය)

image a6fa517c00image 40b118f709

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

බංග්ලාදේශයට තියුණු ජයක් | The Leader