චීනයේ චෙංඩු හි අගෝස්තු 8 වැනිදා පැවති රට හරහා දිවීමේ තරගාවලියේ පිරිමි මැදි-දුර ඉසව්ව අතරතුර මේ 29 හැවිරිදි ක්‍රීඩකයා සිහි විසංඥව බිම වැටී සිටියදී සොයාගත් බව ජාත්‍යන්තර ලෝක ක්‍රීඩා සංගමය, දේශීය සංවිධායක කමිටුව හා ජාත්‍යන්තර ඔරිඑන්ටීරිං සම්මේලනය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ඉතාලි ජාතික ක්‍රීඩකයා වහාම රෝහලට රැගෙන ගොස් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්න ද ඔහු ඊට සිවු දිනකට පසුව මිය ගියා.
ඩෙබැර්තොලිස්සො 2025 ලෝක ක්‍රීඩා උළෙලට සහභාගි වූ ඉතාලි ඔරිඑන්ටීරිං සම්මේලන (FISO) කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙක්.
පෝලන්තයේ පැවැත්වෙන මවුන්ටන් පාපැදි ඔරිඑන්ටීරිං තරග ජයග්‍රාහකයන්ගේ තිළිණ ප්‍රදානය ධජ අඩ කුඹ කර පැවැත්වෙනු ඇති බව FISO පවසනවා.
ඉතාලියේ ජාතික ඔරිඑන්ටීරිං කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකු ලෙස වසර ගණනාවක්ම සිටි ඩෙබැර්තොලිස්සො ලෝක ශූරතාවලියන් හා ලෝක කුසලාන තරගාවලියන් කිහිපයකම තරග කළා. 2022 ලෝක කුසලාන සහාය දිවීමේ අවසාන තරගයේ පස්වැනි ස්ථානයට පත්වූ ඉතාලි කණ්ඩායමේ ක්‍රීඩකයෙකුව සිටීම ඔහුගේ ක්‍රීඩා දිවියේ වාර්තා වූ එක් සාර්ථකත්වයක්.

ඉතාලියේ ප්‍රීමේරො මිටියාවතේ උපත ලැබූ ඩෙබැර්තොලිස්සො තරුණ කාලයේදී සිතියම් හා මාලිමා භාවිතයෙන් රට හරහා දිවීම, රට හරහා ස්කී තරග හා පාපන්දු ක්‍රීඩාවලට සහභාගි වූව ද, සිතියම් භාවිතයෙන් ගමන් මඟ හසුරුවා ගැනීමට ඔහු තුළ තිබූ ආශාව නිසා ඔහු සුපිරි මට්ටමේ ඔරිඑන්ටීරිං තරගවලට යොමු වුනා.
තරග කිරීමෙන් බාහිරව ඩෙබැර්තොලිස්සො පුහුණුව ලත් සිවිල් ඉංජිනේරුවරයෙකුව සිටි අතර ඔහු තමා ජීවත් වූ ස්ටොක්හෝම් නගරයේ විශ්ව විද්‍යාලයේ ආචාර්ය උපාධියක් සඳහා ඉගෙනීමෙහි නිරතව සිටියා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




