දෙරට අතර ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග නැවත පැවැත්වීම සඳහා ඉන්දියාව කැමති කරවා ගැනීමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය විටින් විට උත්සාහ කර තිබුන ද, ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය එම යෝජනාව දිගින් දිගටම බැහැර කර තිබෙනවා. ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් තරග වැඩියෙන්ම විකිණෙන ක්‍රිකට් වෙළඳ භාණ්ඩය ලෙස රැඳී තිබුන ද, මේ රටවල් දෙක එකිනෙකා මුණගැසෙන්නේ බොහෝ කණ්ඩායම් සහභාගි වන තරගාවලියන් හි පමණයි. දැන් ආසියානු කුසලාන තරගාවලිය යටතේ තවත් ඉන්දු පාකිස්තාන ක්‍රිකට් ගැටුමකට දින ළංවෙමින් තිබියදීයි මෝසින් නක්වි මේ ප්‍රකාශය සිදුකර තිබෙන්නේ.

ද්විපාර්ශ්වික ක්‍රිකට් ක්‍රීඩාව හැරුනුවිට, බොහෝ රටවල් සහභාගි වන තරගාවලියන් හි සත්කාරක අයිතීන් සම්බන්ධයෙන් ද ඉන්දියාව හා පාකිස්තානය අතර ගැටළු හටගෙන තිබෙනවා. ලබන මාසයේ ඇරඹෙන ආසියානු කුසලාන තරගාවලියේ සත්කාරක අයිතිය ඉන්දියාව සතුව තිබුන ද, එය පැවැත්වෙන්නේ මධ්‍යස්ථ ඉසව්වක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. මේ සියල්ල සිදුවූයේ ඉන්දියාව මේ වසර මුල පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලිය සඳහා පාකිස්තානයේ සංචාරය කිරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව.
මින් ඉදිරියට ඉන්දියාව හා පාකිස්තානය අතර ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය සමග පවත්වන සියලු සාකච්ඡා හා ගනුදෙනු සිදුවන්නේ එක සමාන මට්ටමේ සිටිමින් බව පාකිස්තාන ක්‍රිකට් සභාපතිවරයා ඉතා පැහැදිලිව කියනවා.

“සාකච්ඡා පවත්වන සෑම අවස්ථාවකම ඒවා සිදුවනු ඇත්තේ ඉන්දියාව සමග පාකිස්තානය සම අසුනේ සිටිමින් බව මා ඉතා පැහැදිලිව ප්‍රකාශ කරනවා. මින්පසු තරග ඉල්ලා හිඟාකන්නේ නැහැ. ඒ වෙලාව දැන් පහුවෙලයි තියෙන්නේ. මින් ඉදිරියට හැම දෙයක්ම සිදුවන්නේ සාධාරණත්වය පදනම් කරගෙනයි” යනුවෙන් නක්වි ලාහෝරයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.
ඊට පෙර ඉන්දියා රජය ද, නුදුරු අනාගතයේදී පාකිස්තානය සමග කිසිම ද්විපාර්ශ්වික ක්‍රිකට් ක්‍රීඩාවක් පැවැත්වෙන්නේ නැති බව පැහැදිලිව ප්‍රකාශ කර තිබුනා. නමුත් මේ කණ්ඩායම් දෙකට එකිනෙකාට එරෙහිව බහු-රටවල තරගාවලියන් හි දිගටම ක්‍රීඩා කිරීමේ අවස්ථාව තිබෙනවා.
ඉන්දියාව හා පාකිස්තානය සැප්තැම්බර් 14 වැනිදා ආසියානු කුසලානයේ ලීග් අදියර තරගයට මුහුණ දීමට නියමිතයි. මීට අමතරව තරගාවලියේ පසු අවස්ථාවලදී ද මේ දෙපිල මුණගැසීමට ඉඩ තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




