සම්පූර්ණයෙන් සුදු පැහැති ඇඳුමෙන් සැරසී සිටි ක්‍රීඩක ක්‍රීඩිකාවන් ක්‍රීඩාවේ තිබෙන වඩාත්ම අලංකාර වටපිටාවක තරග කරන අයුරු නරඹන්නන් බලා සිටියේ පුස්තකාලයක තිබෙන නිශ්ශබ්දතාවක් පවත්වා ගෙන යමින්.
එම ක්‍රීඩක ක්‍රීඩිකාවන් ම දැන් තවත් කිරුළක් වෙනුවෙන් අමෙරිකානු විවෘත ටෙනිස් තරගාවලියේ තරග වදිමින් සිටිනවා. එහෙත් එහි තිබෙන්නේ හාත්පසින්ම වෙනස් වූ වාතාවරණයක්.
විම්බල්ඩන් හා අනෙක් බොහෝ ටෙනිස් තරගාවලියන්ට තරග බිමේදී පූර්ණ නිහඬතාව අවශ්‍යව තිබුන ද, අමෙරිකානු විවෘත තරගාවලිය පැවැත්වෙන නිව්යෝක් නගරයේ ෆ්ලෂිං මෙඩෝස් හි යථාර්ථය මඳක් ඝෝෂාකාරීයි.
නිශ්ශබ්ද හඬ වෙනුවට තරගයේ ලකුණු ලබා ගැනීම් අතරතුර ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත් වන්නේ මහ හඬ නංවන සංගීතයක්. නරඹන්නන්ගේ නිහඬබවක් ඇත්තේම නැහැ. මීට අමතරව ගුවනේ තිබෙන්නේ ව්‍යාකූල වූ හැඟීමක් බව ද පැවසෙනවා.
විම්බල්ඩන් සමග සසඳන විට අමෙරිකානු විවෘත තරග පිටිය අහසට පොළොව මෙන් වෙනස් බවත් සම්මතානුකූල ටෙනිස් තරගාවලියකට වඩා එහි තිබෙන්නේ පාපන්දු තරගයක හැඟීමක් බවත් වාර්තා වනවා.
නිව්යෝක් නගරයේ නියම පිළිබිඹුවක් වන අමෙරිකානු විවෘත තරගාවලිය මත්පැන් බොමින් විනෝද වන ක්‍රීඩා ලෝලීන්ගේ ඝෝෂාවෙන් පිරී තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මේ ශබ්දය පාලනය කර ගැනීමට හැකිනම්, ඔවුන්ට ක්‍රීඩාංගණය වෙත ඒමේදී මුහුණ දෙන රථවාහන තදබදය පමණක් නොව තරග පිටිය වටා වහනය වන ගඳ සුවඳ සමග ද ගනුදෙනු කිරීමට සිදුවනවා.
බැදෙන ආහාරවල සිට මරිජුවානා මත්ද්‍රව්‍ය දක්වා වන සුවඳ මේ තරග බිමේ සිටින අයට දැනෙනවා. තරග ඉසව්ව හරහා පාවෙන මරිජුවානා ආඝ්‍රාණය පිළිබඳව ලොව අංක 12 ටෙනිස් ක්‍රීඩක Casper Ruud දැනටමත් කතා කර තිබෙනවා. මෙය නිව්යෝක් ප්‍රාන්තය පුරා වයස අවුරුදු 21 හෝ ඊට වැඩි පුද්ගලයන්ට විනෝද ක්‍රියාවක් ලෙස මරිජුවානා පාවිච්චි කිරීමට අවසර දෙමින් 2021 වසරේ අත්සන් කරන ලද පනතෙන් පසුව වැඩිවෙමින් තිබෙන සාකච්ඡාවල මාතෘකාවක්.
“මාර්ගයේ ඇවිදින විට මරිජුවානා ආඝ්‍රාණය කිරීමට කැමති කෙනෙක් නෙවෙයි මම. හැම පාරකම වීදි කොණකම එය ආඝ්‍රාණය කෙරෙනවා” යනුවෙන් මේ ක්‍රීඩකයා පසුගිය සතියේ මිශ්‍ර යුගල තරගයට සහභාගි වීමෙන් පසුව කියා සිටියා.
ලොව විශාලතම ටෙනිස් පිටිය ලෙස සැලකෙන ආතර් ඇෂ් ක්‍රීඩාංගණය අමෙරිකානු විවෘත තරගාවලියේදී ස්වභාවිකව ඇති කරන්නේ ඉතාමත් ගිනිගත් වාතාවරණයක්. මේ තරග බිමේදී ක්‍රීඩකයන්ට ඔවුන්ගේ අවධානය තරගයට එක්තැන් කිරීම සමහර අවස්ථාවලදී අපහසු වනවා.

ආතර් ඇෂ් ක්‍රීඩාංගණය ඉතා විශාල බැවින් මණ්ඩපයේ ඉහළ කොටසේ සිටින බොහෝ ක්‍රීඩා ලෝලීන් තරගය අතරතුර ඇවිදිමින් කතාබහේ නිරත වනවා. මෙය අනෙක් ටෙනිස් තරගාවලියන් හි තහනම් ක්‍රියාවක්. බීර වීදුරුවක් තොලගාමින් ‘හොට්ඩෝග්’ රස බලන ක්‍රීඩා ලෝලීන් බොහෝ දෙනෙකුට මෙය විනෝද වීමට තිබෙන තවත් එක් ක්‍රීඩා ඉසව්වක් පමණයි.
-සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




