කාරණා දෙකක් කැපී පෙනුනා. ඒ, අතිවිශාල දියමන්ති මුද්ද හා ගතානුගතික සෞදි අරාබියේ මේ දෙදෙනාගේ අවිවාහක සහවාසය.
මේ කීර්තිමත් යුවල සහ ඔවුන්ගේ දරුවන් පස් දෙනෙකුගෙන් යුත් මිශ්‍ර වූ ළමයින් රොත්ත වසර දෙකකට වැඩි කාලයක් තිස්සේ ඉස්ලාම් ආගමේ උපන්බිමේ ජීවත් වෙමින් සිටින්නේ අමතර අඹු-සැමි සම්බන්ධයට එරෙහිව තිබෙන නීතිවලින් නොකැලඹෙමින්.

ඔවුන් භුක්ති විඳින මේ විශේෂ තත්ත්වයෙන් මතුකර දක්වන්නේ සෞදි බලධාරීන් දැන් විදේශිකයන් සම්බන්ධයෙන් ඇස් පියාගෙන සිටියදී, එවැනි වරප්‍රසාද සෞදි ජාතිකයන්ට තවමත් තහනම්ව තිබීමේ සාධකය. සෞදි අරාබියේ පිරිමි හා කාන්තාවන් එකට ජීවත් වීමට පෙර විවාහ වීම අනිවාර්ය වනවා.
මුස්ලිම් ජාතිකයන් ද ඇතුළුව විදේශීය ජෝඩුවලට දැන් විවාහ නොවී සෞදියේ ජීවත් වීමට හෝ හෝටලවල ලැගුම් ගැනීමට පුළුවන්. මෙය මෑතකදී පමණක් ඉඩදෙන ලද එකඟත්වයක්.
මෙය සෞදි අරාබිය තුළ කෙරෙන ප්‍රධාන සමාජයීය පරිවර්තනයක කොටසක් ලෙස හැඳින්වෙනවා. ගතානුගතික නීති රීති එලෙසම පවතිද්දී ඒවායේ බලය දැන් පෙර වසරවලට වඩා අඩුවී තිබෙනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස, මේ දැඩි නීති දැන් ක්‍රියාත්මක වන්නේ වැඩි නම්‍යතාවක් හා ප්‍රායෝගික ස්වරූපයකින්.
දශක ගණනාවක ස්ත්‍රී පුරුෂ වෙන්කිරීමකින් පසුව සෞදි අරාබියේ ප්‍රධාන නගරවල තරුණ සෞදි ජාතිකයන්ට දැන් ප්‍රසිද්ධ ස්ථානවල නිදහසේ එකට සැරිසැරිය හැක්කේ ඒ රටේ නීති ලිහිල් වෙමින් තිබෙන බවට තවත් ඉඟියක් ලබා දෙමින්.
කෙසේ වෙතත්, විවාහ නොවී එකට ජීවත් වීම දුලබ දෙයක් ලෙස තවමත් රැඳී තිබෙනවා. එවැන්නක් ප්‍රධාන වශයෙන් වෙන්වී තිබෙන්නේ මිල අධික නිවාස සංකීර්ණවල නිශ්ශබ්දව එකට වාසය කරන ධනවතුන්ටයි.
‘පාපයේ දරුවෝ’

40 හැවිරිදි රොනාල්ඩෝ සහ 31 හැවිරිදි රොඩ්රීගස් නිරූපිකාවගේ පෙනී සිටීම සෞදි ජීවිතයට ගැළපෙන්නේ නැහැ. තමන්ගේ සුඛෝපභෝගී ජීවන රටාව පිළිබඳව ඔවුන් දිගටම සමාජ මාධ්‍යයේ පෝස්ට් කරන්නේ අඟ පසඟ නිරාවරණය වන ඇඳුම් පැළඳ සරාගී ඉරියව්වලින් පෙනී සිටිමින්.
සාමාන්‍ය වශයෙන් බලන විට තරුණ සෞදි ජනගහණය විසින් මේ යුවල වැළඳ ගෙන තිබෙනවා. මේ ජනගහණයෙන් තුනෙන් දෙකක් වන වයස අවුරුදු 35 ට අඩු පිරිස රොනාල්ඩෝ හා රොඩ්රීගස් විවාහ ගිවිස ගත් අවස්ථාවේ ඔවුන්ට සුභ පැතුම් හා ආදර සටහන් එවමින් ප්‍රතිචාර දැක්වුවා.
කෙසේ වෙතත්, මේ හොඳ ප්‍රතිචාර සහ ඩොලර් මිලියන ගණනක් වටිනා මංගල මුද්ද පිළිබඳව කෙරෙන ප්‍රකාශ අතරෙහි අප්‍රසාදයේ හැඟීම් ද වැළලී තිබෙනවා.
“ශුද්ධ වූ පල්ලි දෙකක් තිබෙන භූමියක් මෙවැනි දුරාචාරයක් අවුරුදු දෙකක් තිස්සේ පිළිගත්තේ කෙසේද?” යනුවෙන් රාඩ් මොහමඩ් X වේදිකාවේ පෝස්ට් කළේ මක්කම හා මෙඩීනා යන ඉස්ලාම් ධර්මයේ වඩාත්ම ශුද්ධ වූ ස්ථාන දෙක පිළිබඳව සඳහන් කරමින්.
“ඔවුන්ගේ දරුවන් පාපයේ දරුවන්” යැයි සටහන් කර තිබෙන්නේ සමාජ මාධ්‍ය භාවිතා කරන තවත් කෙනෙකු වන අස්මා නමැත්තෙක්.
ඇඳුම් ව්‍යවස්ථා සංග්‍රහය උල්ලංඝනය කළ කාන්තාවන්ට දෙසා බාන ආගමික පොලිසියක් හා සිනමා ශාලා හා සජීවී සංගීතය තහනම් කර තිබූ මීට වසර කිහිපයකට පෙර සෞදි අරාබි යුගයේ රොනාල්ඩෝ සහ රොඩ්රීගැස් එහි ජීවත් වීමක් ගැන සිතා ගැනීම පවා අපහසුයි.
ඇත්ත වශයෙන්ම සෞදි අරාබියේ පාලකයා වන ඔටුන්න හිමි කුමරු මොහමඩ් බින් සල්මාන් යටතේ බොහෝ දේවල් වෙනස් වෙමින් තිබෙන්නේ ඔහු රට ලෝකයට විවෘත කරමින් සෞදිය පෙට්‍රල් කෙරෙහි තබා සිටින ආර්ථිකමය විශ්වාසය අවසන් කිරීමට උත්සාහ කරමින් සිටින අවස්ථාවක.
බොහෝ කාන්තාවන් දැන් නාගරික මධ්‍යස්ථානවල මුහුණු සහ හිස් ආවරණ පැළදීම අත්හැර දමා තිබෙනවා. මුස්ලිම් නොවන සංචාරකයන්ගේ පැමිණීමට ඉඩ දී තිබෙන අතර 2018 වසරේ සිට කාන්තාවන්ට නිත්‍යානුකූල ලෙස රිය පදවන්න පුළුවන්.
සෞදි පෙට්‍රල් ඩොලර්වලින් ජාත්‍යන්තර සුපිරි ක්‍රීඩා තරු හා ක්‍රිඩා ඉසව් ආකර්ෂණය කර ගැනීම අඛණ්ඩව සිදුවෙමින් පවතින අතර අධික ලෙස මුදල් වැයකළ නිකේතන හා විනෝදකාමී දිස්ත්‍රික්ක ඉදිවී තිබෙනවා.
“අතීතයේදී අපි ඉතාමත් දැඩි ලෙස අමුත්තන්ගේ විවාහය සම්බන්ධයෙන් පරීක්ෂා කළා” යනුවෙන් රියාද් නුවර හෝටලයක කළමනාකරුවෙක් ප්‍රකාශ කරනවා.
“නමුත් දැන් කවුරු මොකා එක්ක හිටියත් අපිට ගාණක් නැහැ!”
සෞදි අරාබියේ මේ උපායමාර්ගයේ කේන්ද්‍රය වී සිටින්නේ 2023 වසරේදී ඉතා විශාල මුදලකට අල්-නසර් පාපන්දු ක්‍රීඩා සමාජයට එක්වූ ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ.
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




