41 හැවිරිදි ඔහුගේ ආගමනයේ අරමුණ වී තිබෙන්නේ ලබන වසරේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලබා ගැනීමේ සමෝවා පැසිෆික් දූපතේ අපේක්ෂාවන් දිරි ගැන්වීමයි.
2022 වසරේ අප්‍රේල් මාසයේදී සිය ජාත්‍යන්තර ක්‍රිකට් දිවිය අවසන් කිරීමට පෙර ටේලර් නවසිලන්තය වෙනුවෙන් තරග 450කින් ලකුණු 18,000කට වැඩියෙන් ලබා ගත්තා. ක්‍රීඩාවට නැවත පිවිසීමට හැකිවීම පිළිබඳව තමා ප්‍රබෝධමත්ව සිටින බව ඔහු පවසනවා.
රොස් ටේලර් ට ඔහුගේ මවගේ උරුමයෙන් සමෝවා විදෙස් ගමන් බලපත්‍රයක් හිමිව තිබෙන අතර ඔහු අවසන් වරට නවසිලන්තය වෙනුවෙන් තරගයක් ක්‍රීඩා කර තෙවසරක විරාම කාලයක් අවසානයේ දෙවැනි ජාතික කණ්ඩායමක් නියෝජනය කිරීමට සුදුසුකම් ලබනවා.
“මම ක්‍රිකට් ක්‍රීඩාවේදී සමෝවා කණ්ඩායම නියෝජනය කරන බව නිල වශයෙන් ප්‍රකාශ කරන්නේ ආඩම්බරයෙන්” යනුවෙන් ටේලර් සමාජ මාධ්‍ය පෝස්ටුවක් මගින් කියා සිටියේ ලබන මාසයේ ඕමානයේ පැවැත්වෙන අසියා-නැගෙනහිර ආසියා-පැසිෆික් සුදුසුකම් ලැබීමේ තරග වෙනුවෙන් ඔහුව සමෝවා කණ්ඩායමට නම් කිරීමෙන් පසුව.

“මෙය මම වඩාත් ආශාවක් දක්වන ක්‍රීඩාවට නැවත අවතීර්ණ වීමට වඩා වැඩි දෙයක්. මෙය මගේ උරුමය, සංස්කෘතිය, ගම්මාන සහ පවුල නියෝජන කිරීමේ අති විශාල ගෞරවයක්” ටේලර් සඳහන් කරනවා.
ටේලර් ඔහුගේ ක්‍රීඩාවේ උපරිම තත්ත්වයේ සිටියදී ෆ්‍රැන්චයිස් ක්‍රිකට්වල වැඩි ඉල්ලුමක් තිබුනු පිතිකරුවෙක්. සමෝවා වෙනුවෙන් ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ලැබීමට පෙර තමා සිතාගෙන සිටියේ තමාගේ ක්‍රිකට් ක්‍රීඩා දිවිය අවසන්ව ඇති බව යැයි ටේලර් කියා සිටියා.
“මම හැමවිටම හිතාගෙන හිටියේ මගේ අනාගතය තියෙන්නේ ක්‍රිකට් පුහුණු කිරීම හා අනෙකුත් මාර්ගවල කියලයි. මම ආයෙ ක්‍රීඩා කරාවි කියලා කවදාවත් හිතුවේ නැහැ. නමුත් දැන් ඒ අවස්ථාව ලැබී නැවත තරග බිමට ගොස් සමෝවා නියෝජනය කිරීම විශිෂ්ට ක්‍රියාවක්!”
ලබන වසරේ ශ්‍රී ලංකාව හා ඉන්දියාවේ පැවැත්වෙන විස්සයි20 ලෝක කුසලන තරගාවලියේ (T20 World Cup) තිබෙන ස්ථාන තුනක් වෙනුවෙන් ඕමානයේ පැවැත්වෙන සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියට සහභාගි වන කණ්ඩායම් නවය අතරෙහි සමෝවා ද සිටිනවා.
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



