The Leader News
BREAKING
Top Ad
ක්‍රීඩා

ආසියානු රග්බි 2025 : කොරියානුවන් ශ්‍රී ලංකාවේ ජය උදුරා ගනිති

T

The Leader Desk

June 13, 2025 • 3:24 PM

ආසියානු රග්බි 2025 : කොරියානුවන් ශ්‍රී ලංකාවේ ජය උදුරා ගනිති

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • දෙපිලටම වාසිය දෝලනය වූ අතිෂය තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක් ලෙස ජයගැනීමට දකුණු කොරියානුවෝ සමත් වූහ.
  • ආරම්භයේ සිට දෙපිලම කරට කර සටනක නිරත වූ මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-14 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු විය.
  • තරගයේ 5 වැනි විනාඩියේදීම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ජෑන්ග් ජියෝන් මින් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජෑන්ග් හියුන්ගෝ ලකුණු 07-00 ක් ලෙස දකුණු කොරියාව පෙරමුණට ගෙන ආවේය.
  • කෙසේ වුවත් තවත් විනාඩි 10 ක් ඇතුළත එනම් 15 වැනි විනාඩියේදී මුර්ෂීඩ් දොරෙයි ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ සමත් වීමත් සමග 07-07 ක් ලෙස ලකුණු තත්වය සම විය.
අකුරු ප්‍රමාණය (Font Size):

දෙපිලටම වාසිය දෝලනය වූ අතිෂය තියුණු සටනකින් අනතුරුව ලකුණු 38-34 ක් ලෙස ජයගැනීමට දකුණු කොරියානුවෝ සමත් වූහ.

ආරම්භයේ සිට දෙපිලම කරට කර සටනක නිරත වූ මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 17-14 ක් ලෙස ශ්‍රී ලංකාව පෙරමුණේ පසු විය.

තරගයේ 5 වැනි විනාඩියේදීම උත්සාහක දිනුමක් වාර්තා කිරීමට ජෑන්ග් ජියෝන් මින් සමත් වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජෑන්ග් හියුන්ගෝ ලකුණු 07-00 ක් ලෙස දකුණු කොරියාව පෙරමුණට ගෙන ආවේය.

කෙසේ වුවත් තවත් විනාඩි 10 ක් ඇතුළත එනම් 15 වැනි විනාඩියේදී මුර්ෂීඩ් දොරෙයි ලබාගත් උත්සාහක දිනුමේ ප්‍රවර්ථනය සාර්ථක කර ගැනීමට තරින්ද රත්වත්තේ සමත් වීමත් සමග 07-07 ක් ලෙස ලකුණු තත්වය සම විය.

ඉන් නොනැවතුන තරින්ද, 19 වැනි විනාඩියේදී හිමිවූ දඬුවම් පහරක්ද සාර්ථක කරගනිමින් සිය කණ්ඩායම ලකුණු 10-07 ක් ලෙස ඉදිරියට ගෙන ආවේය.

එහෙත් තරගයේ 21 වැනි විනාඩියේදී හිමි වූ තවත් දඬුවම් පහරක් සාර්ථක කරගැනීමට තරින්ද අපොහොසත් වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලකුණු පරතරය ඉහළ දමාගැනීමට තිබූ අනගි අවස්ථාවක් මඟ හැරී ගියේය.

නෝහ් ඕක්ගි 36 වැනි විනාඩියේදී ලබාගත් උත්සාහක දිනුමත් සමග ලකුණු 12-10 ක් ලෙස යළිත් වරක් තරගයේ පෙරමුණට පැමිණීමට දකුණු කොරියාවට හැකි වූ අතර එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජෑන්ග් හියුන්ගෝ ලකුණු 14-10 ක් ලෙස ලකුණු පරතරය තවත් වැඩි කළේය.

සටන අත් නොහරිමින් 40 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් ලබාගත් පසිඳු බණ්ඩාර සහ එහි ප්‍රවර්ථනය සාර්ථක කරගත් තරින්ද රත්වත්තේ, දෙවැනි වරටත් තරගයේ පෙරමුණ ගනිමින් පළමු අර්ධය නිමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අවස්ථාව උදාකර දුන්හ.

දෙවැනි අර්ධය ආරම්භ වී විනාඩි 5 ක් තුළ ළහිරු තිලකරත්න (41 වැනි විනාඩියේදී) සහ හේෂාන් ජැන්සන් (45 වැනි විනාඩියේදී) දෙමස්සිනාලා ලබාගත් උත්සාහක දිනුම් ද්විත්වයම ගෝල දිනුම් බවට පත් කළ තරින්ද, 29-14 ක් ලෙස දෙපිල අතර පැවැති ලකුණු පරතරය 15 ක් දක්වා ඉහළ දැමීමට සමත් විය.

කෙසේ වුවත් ඉන් අනතුරුව ශ්‍රී ලංකා කණ්ඩායම යම් පසුබෑමකට ලක්වූ අතර 47 වැනි, 52 වැනි සහ 61 වැනි විනාඩි වලදී පිළිවෙලින් උත්සාහක දිනුම් ලබාගත් කිම් නාමුක්, කන්ග් සුන්යුක් සහ ජියෝන්ග් යොවොන්සික් සහ ඉන් පළමු වැන්නේ ප්‍රවර්ථනය සාර්ථක කරගත් ජෑන්ග් හියුන්ගෝ එක්ව ලකුණු 31-29 ක් ලෙස දකුණු කොරියාවට තරගයේ වැඩි වාසි අත්කර දුන්හ.

ගෝල කණුව අසලදී ශ්‍රී ලංකා ක්‍රීඩක හේෂාන් ජැන්සන්ගේ නිතී විරෝධී ක්‍රීඩා විලාශය හේතුවෙන් ඔහුට කහ කාඩ්පතක් ලබාදුන් ප්‍රධාන විනිසුරු, ඒ සමගම දකුණු කොරියාවට දඬුවම් උත්සාහක දිනුමක්ද ප්‍රදානය කිරීමත් සමග ලකුණු 38-29 ක් ලෙස තරගය උඩු යටිකුරු විය.

නැවතත් තරගයේ පාලනය තම කණ්ඩායම වෙත නතුකර දීමේ උත්සාහයක නිරත වූ දිනාල් ඒකනායක 76 වැනි විනාඩියේදී උත්සාහක දිනුමක් වාර්තා කරමින් ලකුණු සංඛ්‍යාව 38-34 ක් බවට පත් කළද, තරගය ජය ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.

අවසන් විනාඩි 4 පුරා ඉතා ආරක්ෂාකාරී ලෙස තරග වැදුණු කොරියානු ක්‍රීඩකයෝ, තරගය නිමාවට පත්වන තෙක්ම ශ්‍රී ලංකාවට යළිත් ලකුණු රැස්කිරීමේ අවස්ථාවක් ලබා නොදුන්හ.

( kelimandala.lk | ශානුක අරවින්ද)

 vncfgsd

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...