ශ්‍රී ලංකා - ඇෆ්ගනිස්තාන මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයේදී බිඳ වැටුනු එස්.එස්.සී. පිටියේ ඉහළ ම සිවුවැනි ටෙස්ට් කඩුලු සබඳතාවේ වාර්තාව

සම්බන්ධයෙන් ජගත් ක්‍රිකට් පොතේ සටහන්ව තිබෙන්නේ ලොව මෙතෙක් ක්‍රීඩා කෙරුනු ඉතාමත්ම ජනප්‍රිය ටෙස්ට් තරගයක කතාවක්.

1992 වසරේ අගෝස්තු 17 සිට 22 දක්වා කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ  පැවති ඒ තරගය ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ තරග තුනකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ පළමු තරගය වී තිබුනා.

අර්ජුන රණතුංග විසින් පළමුව පන්දුවට පහර දීම සඳහා කැඳවනු ලැබූ ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කළින් ම කඩුල්ලක් අහිමි වුනේ ටොම් මූඩි දැවී යාමෙන්. පළමු කඩුල්ල බිඳ වැටෙන විට මුළු ලකුණු ප්‍රමාණය වී තිබුනේ 8ක් පමණයි. මාක් ටේල හා ඩේවිඩ් බූන් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක් එක් කිරීමෙන් පසුව ඔස්ට්‍රේලියානු ඉනිම බිඳ වැටුනා.

ලකුණු 66කට කඩුලු 4ක් ලබා ගත් වේග පන්දු යවන චන්දික හතුරුසිංහ ප්‍රමූඛ ශ්‍රී ලංකා පන්දු බළඇණිය විසින් පිතිකරු මැද පෙළ සුනුවිසුණු කර දැමීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව කඩුලු 1 ට ලකුණු 84 සිට කඩුලු 7 ට ලකුණු 124 දක්වා කඩා වැටුනා.

 



කඩුලු රකින පිතිකරු ඉයන් හීලි ඉනිම ගොඩගත්තේ ෂේන් වෝන් සමග 9 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් හා මයික් විට්නි සමග එක්ව 10 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 49ක සබඳතා පිහිටුවමින්. ඉයන් හීලි නොදැවී රැස්කළ ලකුණු 66 ආධාරයෙන් ඔස්ට්‍රේලියාව මුළු ලකුණු 256ක් වාර්තා කළා.

පළමු දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව කිසිවෙකු නොදැවී ලකුණු 9ක් රැස්කර සිටියා.

දෙවැනි දිනයේදී ශ්‍රී ලංකාව තරගයේ පාලනය අතට ගත්තේ රොෂාන් මහානාම ලකුණු 78ක් ලබා ගෙන අසංක ගුරුසිංහ සමග දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 92ක් එක් කරමින්. 

මුළු ලකුණු සංඛ්‍යාව කඩුලු 3කට ලකුණු 137ක්ව තිබියදී කඩුල්ලේ එක්වූ ගුරුසිංහ සහ අර්ජුන රණතුංග දිනය අවසන් වන විට ශ්‍රී ලංකාවේ මුළු ලකුණු ප්‍රමාණය කඩුලු 3 ට 265 දක්වා ගෙන ගොස් තිබුනේ ගුරුසිංහ ලකුණු 87ක් හා රණතුංග ලකුණු 69ක් වාර්තා කරමින්. 

දෙවැනි දිනයේ බිඳ වැටුනු කඩුලු තුනෙන් දෙකක් ම ලබා ගත්තේ මාක් වෝ. මේ අමතර පන්දු යවන්නා පවා කැඳවීමෙන් පෙන්නුම් කළේ ඔස්ට්‍රේලියානුවන් පන්දු යැවීමේදී වැටී සිටි අසරණ තත්ත්වය.

තරගයේ තෙවැනි දිනයේදීත් ශ්‍රී ලංකාවේ ආධිපත්‍ය පැතිරවීම ආරම්භ කළ ගුරුසිංහ සහ රණතුංග එය අවසන් කළේ සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 230ක විශිෂ්ට සබඳතාවක් පිහිටුවමින්. දර්ශනීය පිතිකරණයක නියැලුනු රණතුංග දැවී ගියේ ලකුණු 127ක් ලබා ගැනීමෙන් පසුව.

මීට දින කිහිපයකට පෙර ඇෆ්ගනිස්තානය ට එරෙහිව ලකුණු 232ක් රැස් කරමින් ඇන්ජලෝ මැතිව්ස් හා දිනේෂ් චන්දිමාල් අභිබවා ගියේ  එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ ටෙස්ට් තරගයක සිවුවැනි කඩුල්ල වෙනුවෙන් වාර්තා වී තිබූ ඒ වැඩිම ලකුණු සබඳතාව. 

 



රණතුංගගේ පිතිකරණය විචක්ෂණභාවයෙන් පිරී තිබියදී ගුරුසිංහ පිත්ත හැසිරවූයේ ඉතාමත් ඉවසිලිවන්තව. තමන්ගේ ලකුණු 137 වෙනුවෙන් පැය නවයකට ආසන්න කාලයක් කඩුල්ලේ රැඳී සිටි ඔහු රොමේෂ් කළුවිතාරණ සමග එක්ව 6 වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 96ක් රැස් කළා. කඩුලු රකින ක්‍රීඩකයා ද වන කළුවිතාරණ ක්‍රීඩා කරමින් සිටියේ ඔහුගේ මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට. ‘කළු’ ලෙසින් පසුකාලයේ ජනප්‍රිය වූ ඔහු එදා ශතකයක් ද ලබා ගත්තේ වේගවත් පිතිහරඹයක යෙදෙමින් පන්දු 158කින් නොදැවී ලකුණු 132ක් වාර්තා කරමින්.

ශ්‍රී ලංකාව කඩුලු 8 ට ලකුණු 547ක් රැස්කර ගෙන ඉනිම අවසන් කළ අතර තරගයේ තෙවැනි දිනය අවසන් වන විට ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේ කිසිවෙකු නොදැවී ලකුණු 26ක් ලබා ගෙන සිටියේ ලකුණු 265කින් තරගයේ පිටුපස සිටිමින්.

ඔස්ට්‍රේලියානු දෙවැනි ඉනිමෙන් ප්‍රදර්ශනය වුනේ සියලු ම දෙනා සාමුහිකව ලකුණු එක් කිරීමක්. පිතිකරුවන් හය දෙනෙකු ම ලකුණු 40 සීමාව පසු කළත් කිසිවෙකුත් ලකුණු 68න් එහාට ගියේ නැහැ. මීට අමතරව, ඔවුන්ගේ මුළු ලකුණු ප්‍රමාණය වැඩි කරමින් නීතිවිරෝධී පන්දු 34ක් ඇතුළුව ලකුණු 58ක විශාල අතිරේක ලකුණු සංඛ්‍යාවක් ද ඔස්ට්‍රේලියානු ඉනිමට එකතු වී තිබුනා. ශතක සබඳතා කිසිවක් නොතිබුනත් ලකුණු 40 ට වැඩි කඩුලු සබඳතා පහක් වාර්තා වී තිබීම විශේෂත්වයක්.

කඩුලු 7ක් දැවී ලකුණු 393ක් රැස්කර ගෙන සිවුවැනි දිනය අවසන් කළ සංචාරක කැන්ගරුවෝ තරගයේ අවසන් දිනයේදී කළින් ම ඔවුන්ගේ දෙවැනි ඉනිම අවසන් කළේ මුළු ලකුණු 471ක් සටහන් කරමින්. අතිරේක ලකුණුවලට අමතරව ඩේවිඩ් බූන් ලකුණු 68ක්, ග්‍රෙග් මැතිව්ස් ලකුණු 64ක්, ඩීන් ජෝන්ස් ලකුණු 57ක් හා මාක් වෝ ලකුණු 56ක් රැස් කරමින් ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණුලාභීන් බවට පත්ව සිටියා. 

මීට අමතරව, එක් අවස්ථාවකදී ලකුණු 269කට කඩුලු 5ක් අහිමි කරගෙන සිටි ඔස්ට්‍රේලියාව මෙවැනි මුළු ලකුණු සංඛ්‍යාවකට ඔසවා තැබූ ඔවුන්ගේ පසු පෙළ පිතිකරුවන්ගේ ධෛර්යවත් පිතිකරණ ද අමතක කරන්න බැහැ.

ඔස්ට්‍රේලියාව දෙවැනි ඉනිමේදී අධිෂ්ඨානශීලී ක්‍රීඩාවක් ප්‍රදර්ශනය කළත් තරගය ජය ගැනීම සඳහා ශ්‍රී ලංකාව හමුවේ තිබූ ඉලක්කය වූයේ ඕවර 58කින් ලකුණු 181ක් පමණ යි. ආරම්භක පිතිකරුවන් වන මහානාම සහ හතුරුසිංහ ලකුණු 76ක සබඳතාවක් ගොඩනැගීමෙන් පසුව ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා පහසුවෙන් යන මාවතට පිවිස සිටියා. අරවින්ද ද සිල්වා දැවී ගියේ ජයග්‍රාහී ඉලක්කය හඹා යාම සාර්ථකව කෙරෙමින් තිබියදී.

ජයග්‍රහණය කරා ඉක්මනින් යාමේ අරමුණින් යුතුව හතරේ පහර 7ක් එල්ල කර ආක්‍රමණශීලී පිතිහරඹයක නියැලෙමින් සිටි අරවින්ද පන්දු 32කින් ලකුණු 37ක් රැස්කර ගෙන සිටියදී දැවී ගියේ ශ්‍රී ලංකා ජයග්‍රහණය සඳහා ඕවර 25කට ආසන්න පන්දු ප්‍රමාණයකින් ලකුණු 54ක් පමණක් අවශ්‍යව තිබූ මොහොතේ. ‘මිඩ්-ඕන් ’ ස්ථානයේ පන්දු රකිමින් සිටි ඇලන් බෝඩ ට උඩින් පන්දුව යන සේ මැක්ඩමොට් ට පහරක් එල්ල කිරීමට අරවින්ද ගත් උත්සාහයේදී උඩ පන්දුවේ ගමන සමග මීටර් 25ක් දුර දිව ගිය බෝඩ ඔහුගේ උරහිසට උඩින් අලංකාර අයුරින් පන්දුව අල්ලා ගැනීමෙන් අරවින්ද දැවී ගියා. එතැන් පටන් ඔස්ට්‍රේලියාව දිස්වුනේ වෙනස් කණ්ඩායමක් ලෙසින්. ශ්‍රී ලංකාවත් එසේ ම වුනා.

රණතුංග බින්දුවට දැවී ගියා. ග්‍රෙග් මැතිව්ස් ඔහුගේ පිට දඟ පන්දුවලින් මාවන් අතපත්තු හා කළුවිතාරණගේ කඩුලු කෙළින් ම පන්දුව කඩුල්ල වෙත යවමින් ලබා ගත්තේ ඔවුන් අඩු ලකුණුවලට දවාලමින්. මේ අනුව ශ්‍රී ලංකාව කඩුලු 6 ට මුළු ලකුණු 137 දක්වා පහළ බැස තිබුනා. ග්‍රෙග් මැතිව්ස් දෙවැනි ඉනිමේ ලකුණු 76කට කඩුලු 4ක් (සමස්ත තරගයේ 7/167) ලබා ගැනීම හේතුවෙන් එක්වරම අනපේක්ෂිත ආකාරයෙන් තරගය උඩුයටිකුරු වී තිබුනේ ජයග්‍රාහී ඉලක්කය හඹා යාම පන්දුවෙන් පන්දුවට අසීරු කරවමින්.

 

ausi1
අංක 3 පිතිකරුවා ලෙස පැමිණ සිටි අසංක ගුරුසිංහ අසරණව බලා සිටියදී කඩුල්ලේ අනෙක් අන්තයෙන් කඩුලු එක පිට එක බිඳ වැටුනා. ඒ වන විට ලකුණු 11ක් පමණක් ලබා දී සිටි ෂේන් වෝන් ශ්‍රී ලංකාවේ අවසන් කඩුලු 3 කිසිම ලකුණක් ලබා නොදී පන්දු 13ක් ඇතුළත බිඳ දැමුවේ 10,000ක ශ්‍රී ලාංකික සෙනඟක් භීතියෙන් බලා සිටියදී.

අවසානයේ ශ්‍රී ලංකාව ජයග්‍රාහී ඉලක්කයට ලකුණු 17ක් අඩුවෙන් සිටියදී මුළු ලකුණු 164කට දැවී යන විට තරගයේ තවත් ඕවර 6යි පන්දු 5ක් ඉතිරිව තිබුනා. ගුරුසිංහ නොදැවී ලකුණු 31ක් ලබා ගෙන හුදෙකලාව සිටියදී ශ්‍රී ලංකාව ඔවුන්ගේ අවසාන කඩුලු 8 අහිමි කර ගත්තේ වැදගැම්මකට නැති ලකුණු 37කට. සිය තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් ග්‍රෙග් මැතිව්ස් ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරුනා.

ඔස්ට්‍රේලියාව ලකුණු 16කින් මේ තරගය ජයග්‍රහණය කළේ පළමු ඉනිමේදී ලකුණු 291ක් පිටුපසින් සිට. තරගයෙන් පසුව ඔස්ට්‍රේලියානු නායක ඇලන් බෝඩ ප්‍රකාශ කළේ මේ තරගයේදී ඔහුගේ කණ්ඩායම අත්කර ගත් ප්‍රතිඵලය ‘මහා දුම්රිය මංකොල්ලයට’ - The Great Train Robbery - පසුව සිදුවූ විශිෂ්ටතම සොරකම විය යුතු බව. පැහැදිලිවම, ඔස්ට්‍රේලියාව හිමිකර ගත්තේ මේ ටෙස්ට් තරගය පුරාම කොහෙත්ම ඇත්ත විය නොහැකි ලෙසින් පෙනුනු ජයග්‍රහණයක්.

ශ්‍රී ලංකාව එදා මේ තරගය ජය ගත්තා නම් එය ඔවුන්ගේ තෙවැනි ටෙස්ට් ජයග්‍රහණය මෙන්ම ඔවුන්ගේ වඩාත්ම ජනප්‍රිය තරගය වීමට ඉඩ තිබුනා. කෙසේ වෙතත්, දෙවැනි ඉනිමේදී ඔවුන්ගේ කමකට නැති පන්දු යැවීම හා ඉතා නරක පිතිකරණය ශ්‍රී ලංකාව පරාජයට ඇද දැමුවා.

ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටි ලකුණු 291 පරාජිත කණ්ඩායමක වැඩිම පෙරමුණ ලෙසින් එදා ටෙස්ට් ඉතිහාසයේ සටහන් වුනා. මේ පරාජය වඩාත් වේදනාත්මක වූයේ ඒ ඔස්ට්‍රේලියානු සංචාරයේ ඉතිරි ටෙස්ට් තරග දෙක ජය පැරදුමින් තොරව කෙළවර වෙමින් ඔස්ට්‍රේලියාව 1-0කින් තරගමාලාව ජය ගත් බැවින්. 

ඉන්පසුව ඔස්ට්‍රේලියානුවන්ට එරෙහිව තරගයක පළමු ජය සහ තරගමාලා ජයග්‍රහණයක් සඳහා වසර 1999-00 තෙක් බලා සිටින්නට ශ්‍රී ලංකාව ට සිදුවුනා.

ඔස්ට්‍රේලියාව ට මෙය ටෙස්ට් තරගයක දුටූ විශිෂ්ටතම පෙරලියක් වුනා. මීට පෙර ඔවුන් පළමු ඉනිමේදී ලකුණු 200කට වැඩියෙන් පිටුපසින් සිට ටෙස්ට් තරගයක් ජය ගෙන තිබුනේ එක් වතාවක් පමණයි. ඒ, 1949-50 ඩර්බන් නුවරදී ලකුණු 311කට පිළිතුරු වශයෙන් ලකුණු 75කට දැවී යාමෙන් පසුවත් කඩුලු පහකින් දකුණු අප්‍රිකාව පරාජය කළ අවස්ථාවේ.

නොබෝදා ඇෆ්ගනිස්තානය සමග පැවති මංගල ටෙස්ට් තරගය මෙන්ම එදා මේ තරගය ඇතුළු තරගමාලාව ද ඓතිහාසික එකක් බවට පත්ව තිබුනේ එය 1987 වසරේ සිදුවූ බෝම්බ පිපිරීමක් හේතුවෙන් නවසිලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමෙන් පසුව ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරූ ප්‍රථම ක්‍රිකට් තරගමාලාව වූ බැවින්. 

 

shaeෂේන් වෝන්- © Getty Images/ 1992
මේ තරගයේදී ඉස්මතු වූ තවත් විශේෂ සිදුවීම් වුනේ ලෝක ක්‍රිකට් තරග බිමට ෂේන් වෝන් නමැති සුපිරි දඟ පන්දු යවන්නාගේ ප්‍රවිශ්ටය සහ රොමේෂ් කළුවිතාරණ එස්.එස්.සී. පිටියේදී සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි වෙමින් ඔහුගේ පළමු ටෙස්ට් ශතකය ලබා ගැනීම.

සටහන :
මංගල ටෙස්ට් ගැටුමේ දිවා ආහාරයේදී ඇෆ්ගනිස්තානය කඩුලු 2 ට ලකුණු 90 යි(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්