වයස අවුරුදු 10 සිට ම හෑසිබා බෝමකා (Hassiba Boulmerka)ගේ ජීවිතයේ ගමන් මඟ වී තිබුනේ දිවීම.


ඇල්ජීරියාවේ නැගෙනහිර දිසාවේ Constantine නගරයේ හැදී වැඩුනු ඇය ඇගේ දිවීමේ වේගය හා දරා ගැනීමේ ශක්තිය පිළිබඳ හඳුනාගැනීමක් ලබා ගත්තේ මීටර් 800 හා මීටර් 1500 ඉසව්වල අප්‍රිකානු රන් පදක්කම් හතරක් දිනා ගනිමින්.

මහාද්වීප ශූරතාවලියේ ලැබූ ඒ ද්විත්ව ජයග්‍රහණයෙන් දෙවසරකට පසුව බෝමකා ලෝක මැද දුර ධාවන තරග බිම විශ්මයට පත්කළේ මීටර් 1500 තරගයේ අවසාන වටයේදී තම වේගය වැඩි කරමින් ඉදිරියට පැමිණ රන් පදක්කම දිනා ගනිමින්.

Hassiba Boulmerka 001

බෝමකා ට එය කීර්තිමත් මොහොතක් වුනේ ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ කිරුළක් හිමිකර ගත් පළමු අප්‍රිකානු කාන්තාව බවට ඇය පත්වීම නිසා. ඒ විජයග්‍රහණයෙන් පසුව ඇය සතුට හා විස්මයෙන් යුතුව කෑගැසුවා.

“මම හයියෙන් කෑගැහුවේ ඇල්ජීරියාවේ ආඩම්බරය, ඇල්ජීරියාවේ ඉතිහාසය හා තවත් ගොඩක් දේවල් වෙනුවෙන්” යැයි ඇය කියා සිටියා.

Hassiba Boulmerka 1992 1


ඇල්ජීරියානු ක්‍රීඩාව හා අරාබි කාන්තාවගේ දියුණුව සංකේතවත් කරන වැදගත් සාධකයක් බවට ඇගේ වික්‍රමය පත්වුනා.

ඒ 1991 ලෝක ශූරතාවලියෙන් පසුව බෝමකා සහ ඇගේ කණ්ඩායමේ සගයින් යළි සියරට පැමිණීමේදී ඔවුන් වෙනුවෙන් වික්‍රමාන්විත පිළිගැනීමක් සංවිධානය කර තිබුනත් ඇගේ ධාවනය සියළු දෙනාගේ ම පැසසුමට ලක්වූයේ නැහැ.

ඇගේ ක්‍රීඩා උත්සාහයන්ට අප්‍රසන්නතාව දැක්වීම අවසන් වුනේත් නැහැ.

පුහුණුවීම හා තරග කිරීම නිසා තමන්ගේ අත් පා නිරාවරණය කිරීමට ඇයට සිදුවූ අතර සමහරු එය දුටුවේ ඉස්ලාම් ධර්මයේ විනීතභාවයේ ව්‍යවස්ථාමාලාව නොපිළිපදින ක්‍රියාවක් ලෙසින්.

නමුත් විවේචන විඳ දරා ගෙන හෑසිමා බෝමකා නොනැවතී ඉදිරියට ම ගියා.

සමාජයේ වෛරයට මුහුණ දීමට ඇයට සිදුවුනා. ඇල්ජීරියාවේ මාර්ගවල පුහුණුවෙද්දී ඇයට කෙළගැසුවා. ගල් ගැහුවා. මේ සියළු හිරිහැරවලින් බේරෙමින් පුහුණු වීමට ඇයට සිදුවුනා.

මාස කිහිපයක් ගතවෙද්දී, ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සහභාගි වීමේ ඇගේ ප්‍රාර්ථනාවන් හා සිහින බොඳවී යාමට පටන් ගත්තේ 150,000කට වැඩි පිරිසකට ජීවිත අහිමි කරමින් ඇල්ජීරියාව තුළ මහජන කලබල හටගත් නිසා.

මේ අර්බුදය මැද පුහුණුවීම අසීරු වූවා පමණක් නොව එය භයානක ද වූයේ ඉස්ලාම් සටන්කාමීන් පීඩාකාරී නීති පැනවීමට උත්සාහ කළ බැවින්.

මේ හේතුවෙන්, 1992 ඔලිම්පික් උළෙලට පෙර පුහුණුවීම පිණිස ජර්මනියේ බර්ලින් නුවර අලුතින් පදිංචියට යාමට ඇයට සිදුවුනා.

xgfdr


“මට ඒ සිද්ධිය හොඳට මතකයි. එදා අපේ පල්ලියේ සිකුරාදා යාච්ඤාව තිබුනා. මම කොට කලිසම ඇඳගෙන දුවපු නිසාත්, මගේ අත් හා කකුල් පෙන්වූ නිසාත් මම මුස්ලිම් කෙනෙක් නෙවෙයි කියලා පූජකවරයා මට කීවා. මම මුස්ලිම් විරෝධී කෙනෙක් කියා ඔහු මට කීවා” යනුවෙන් බෝමකා අතීතය මෙනෙහි කරමින් පවසනවා.


මේ නිසා ආරක්ෂිතව පුහුණු විය හැකි අවකාශයක් ඇගේ උපන්රටේ ඇයට තිබුනේ නැහැ. රැඩිකල් මුස්ලිම් සටන්කාමීන් තමාව මරා දමනු ඇතැයි යන බියක් ඇයට දැනුනා. තමාට සහ තම පවුලේ අයට මර්ජන තර්ජන එල්ල වී තිබීම නිසා ඇගේ අවට පරිසරයේ ද තිබුනේ භයංකර තත්ත්වයක්.

මරණ තර්ජන හේතුවෙන් බෝමකා ඔලිම්පික් උළෙලේ ඇගේ තරග ඉසව්ව සඳහා බාසිලෝනා නුවරට පැමිණියේ තරගයට පෙර දිනයේ. පසුදින ආරක්ෂක මුරකාවල් මැද ඇයව ක්‍රීඩාංගණය වෙත රැගෙන ගියේ පෙර නොදුටූවිරූ ආරක්ෂක ක්‍රියාමාර්ග අවධානයට ලක් කරමින්.


“හැමතැනම පොලිසිය හිටියා. ක්‍රීඩාංගණය ඇතුලේ, ඇඳුම් මාරුකරන කාමරයේ...මම නානකාමරයට යද්දිත් ඔවුන් මාත් එක්ක ආවා.”


මෙවැනි අභියෝග මධ්‍යයේත් මේ ජවසම්පන්න හා සුන්දර දිවීමේ ශෛලියක් තිබෙන ක්‍රීඩිකාව බාධකවලට යටත් නොවෙමින් තරග වැදුනු අතර එදා Estadio Olimpico ක්‍රීඩාංගණයේදී ඇගෙන් ප්‍රදර්ශනය වුනේ සිත්ගන්නා ක්‍රීඩා රංගනයක්.

මේ ඇල්ජීරියානු දිරිය ක්‍රීඩිකාව මීටර් 1500 තරගයේ පෙරමුණ ගත්තේ තරගය අවසන් වීමට තවත් වට භාගයක් පමණක් ඉතිරිව තිබියදී. මෙය ඇගේ ක්‍රීඩා දිවියේ වාර්තා කළ අතිවිශිෂ්ටතම ජයග්‍රහණය යි. ඇගේ මිනිත්තු 3යි තත්පර 55.30ක කාලය ඇයට ඔලිම්පික් රන් පදක්කම ලබා දුන්නේ අරාබි කාන්තාවක් ඔලිම්පික් පදක්කම් පිරිනැමෙන කුඩා වේදිකාව මුදුනේ සිටි දෙවැනි අවස්ථාව සනිටුහන් කරමින් (1984 ලොස් ඇන්ජලීස් හිදී මොරොක්කෝවේ Nawal El-Moutawakel ට පසුව). මෙය ඇල්ජීරියාව දිනා ගත් පළමු ඔලිම්පික් රන් පදක්කම වීම විශේෂත්වයක්.

 

මාස ගණනාවක් තිස්සේ දේශපාලනික අභියෝග තරණය කිරීමෙන් පසුව එය අලංකාර අවසානයක් බවට පත්වු අතර එම ජයග්‍රහණය තහංචිවලට විවෘතව විරෝධය පෑමේ නිර්භීතකම හා තමන් ආදරය කරන දෙය හඹා යාමේ කදිම උදාහරණයක් බවට ද පත්වුනා.


“ජය රේඛාව පසුකරද්දී මම මගේ අතේ මිට ගුවනට එසවූවා. එය ජයග්‍රහණයේ හා එඩිතර විරෝධයේ මගේ සංකේතය යි. එමගින් මම කියා සිටියේ මෙයයි: “මම එය කළා! මම දිනුවා! දැන්, උඹ මාව මැරුවොත්, එය ගොඩාක් ප්‍රමාද වැඩි වේවි. මොකද, මම ඉතිහාසය නිර්මාණය කරලා ඉවරයි!”


ඔලිම්පික් පදක්කම් වේදිකාවේ සිටගෙන සිටි හෑසිබා බෝමකා ට ගෙල වටා පැළඳ වූ පදක්කමේ බර දැනෙද්දී, උද්වේගකර හැඟීමකින් ඇය වෙලා ගනු ලැබුවා.

Hassiba Boulmerka14

 

“නිර්භීතව සිටින්න මට මගේ හැඟීම් පාලනය කරගන්න සිද්ධ වුනා...නමුත් කඳුළු ගලා හැලෙන්න පටන් ගත්තා. ඒවා මගේ කැපකිරීමේ කදුළු. මේ තරගය වෙනුවෙන් මම අත්හැර දමා පැමිණි මම ආදරය කරන සියළුම පුද්ගලයන් වෙනුවෙන් මා හෙලූ කඳුළු.”

“එය තමන්ගේ සතුරන්ට එරෙහිව නැගී සිටින ලෙසට ලොව වටා කාන්තාවන් ආමන්ත්‍රණය කරන ජයග්‍රහණයක්. මට නියම ආඩම්බරයක් ලබා දුන්නේ එය යි.”


තම පවුලේ අය සමග නැවත එක්වීමට මේ ඔලිම්පික් පදක්කම්ලාභිනිය යළි මව්රට ට පැමිණි අවස්ථාවේදී ඇයට විසිතුරු පිළිගැනීමක් තිබුනේ නැහැ.

ඒ වන විටත් ඇල්ජීරියාව එහි අඳුරු යුගයෙන් මිදී සිටියේ නැහැ. මේ තත්ත්වය යටතේ තම ජීවිතයට තිබූ තර්ජන හේතුවෙන් ඇය කියුබාවේ පදිංචියට ගිය අතර යළි සියරට පැමිණියේ 1995 ලෝක ශූරතාවලියේදී නැවත රන් පදක්කමක් දිනා ගෙන.

ඇය දිනා ගත් පදක්කම් ඇගේ නිර්භීතක‌මේ සාක්ෂියක්. ක්‍රීඩාවේ නිරතව සිටින කාන්තාවන් ප්‍රබෝධමත් කිරීමේ ප්‍රදීපයක් ලෙසින් කටයුතු කිරීම හෑසිබා බෝමකා තවමත් නොනවත්වා කරගන යනවා.

 
warnan Gunasekara

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
 

 

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්