රග්බි ක්‍රීඩාවේ ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම අන්තර් සමාජ පිළිමලුන් පිටුදැකීමේ තරගාවලිය මෙන්ම ආසියාවේ පැරණිතම තරගාවලියක් වන ක්ලිෆඩ් කුසලාන - Clifford Cup - අන්තර් සමාජ ‘නොක්අවුට්’ රග්බි ශූරතාවලිය බදාදා (පෙබරවාරි 28) ආරම්භ වනවා.


ක්ලිෆඩ් කුසලාන තරගාවලිය‌ ආරම්භ වූයේ 1911 වසරේදී. එය 1950 වසරේ සිට මේ දක්වා නොකඩවා ක්‍රීඩා කර තිබෙන්නේ තරග වාර 79ක් සම්පූර්ණ කරමින්. මේ තරගාවලිය මුලින් ම ආරම්භ වී තිබෙන්නේ කොළඹ වෙළඳසේවා විධායක නිලධාරීන් හා කඳුරට වැවිලිකරුවන් අතර තරගයක් ලෙසින්.

කොවිඩ් වසංගතය හේතුවෙන් මේ තරගාවලිය 2020-21 හා 2022 වසරවල පැවැත්වුනේ නැහැ.

 

DSC 6292

ක්ලිෆඩ් කුසලාන රග්බි ඉතිහාසයේ වඩාත් ම සාර්ථක කණ්ඩායම වන්නේ මහනුවර ක්‍රීඩා සමාජය. ඔවුන් වාර්තාගත අයුරින් 21 වතාවක් මේ ශූරතාව දිනා ගෙන සිටිනවා. සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම ජයග්‍රහණ 15ක් හිමිකර ගෙන දෙවැනි ස්ථානයේ පසුවන අතර හැව්ලොක් ක්‍රීඩා සමාජය ශූරතා 14ක් අත්කර ගෙන තෙවැනි ස්ථානයේ සිටිනවා.

වසර 26කට පසුව අන්තර් සමාජ ලීග් රග්බි කිරුළ මේ වසරේදී හිමිකර ගත් සී.ආර්. කණ්ඩායම මේ රග්බි වාරයේ ද්විත්ව ශූරතාවක් හඹා යමින් ක්ලිෆඩ් කුසලානයත් ජය ගැනීමට උපරිම වෙහෙසක් දරනු ඇති අතර ඔවුන් මේ තරගාවලිය ජයග්‍රහණය කිරීමේ වඩාත්ම ජනප්‍රිය කණ්ඩායම බවට පත්ව සිටින්නේ මහනුවර ක්‍රීඩා සමාජය මෙවර ද මේ තරගාවලියට සහභාගි නොවන බැවින්.

 

image 753feb079a

සී.ආර්. කණ්ඩායම මෙවර ලීග් ශූරතාව දිනා ගත්තේ එම තරගාවලියේ වසර 10 මහනුවර ක්‍රීඩා සමාජයේ ආධිපත්‍ය බිඳ දමමින් වීම විශේෂත්වයක්. මහනුවර නිත්තවෙල හා කොළඹ ලොන්ග්ඩන් පෙදෙසේ පැවති 2024 ලීග් තරග දෙකේදී ම සී.ආර්. ක්‍රීඩකයන් මහනුවර කණ්ඩායම පරාජය කළේ 1996 වසරෙන් පසුව ප්‍රථම වතාවට.

ක්ලිෆඩ් කුසලාන වර්තමාන ශූරයින් වන්නේ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම යි. ඔවුන් ඒ ශුරතාව හිමිකර ගත්තේ පසුගිය වසරේ කොළඹ තුරඟ තරග පිටියේදී නාවික හමුදාව ක්‍රීඩා සමාජය ලකුණු 24-18කින් පරදවමින්. එය සී.ආර්. පිල වසර 17කට පසුව ලබා ගත් ජයග්‍රහණයක්. ඔවුන් අවසන් වතාවට මේ තරගාවලිය ජයගෙන තිබුනේ 2006 වසරේ ලොන්ග්ඩන් පෙදෙසේදී හැව්ලොක්ස් කණ්ඩායම පරාජය කරමින්.

 

කලක් ක්ලිෆඩ් කුසලානයේ බලවත් ම කණ්ඩායම බවට පත්ව සිටි මහනුවර ක්‍රීඩා සමාජය පසුගිය වසර කිහිපයේදීම මේ තරගාවලියට සහභාගි වුනේ නැහැ.  මෙවර ද ඔවුන් සහභාගි නොවන අතර ඊට ප්‍රධාන හේතුව වී තිබෙන්නේ තරග පැවැත්වෙන ක්‍රීඩාංගණය පිළිබඳව තිබෙන මතභේදයක්. මේ හේතුවෙන් තරගාවලියේ තරග සටහන වෙනස් කෙරුනු අතර එහි ප්‍රතිඵලයක් ලෙසින් ලීග් ශූරයින් වන සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. කණ්ඩායම නිතරග ජයකින් කෙළින් ම අවසන් පූර්ව වටයට පැමිණ සිටිනවා. ක්ලිෆඩ් කුසලාන රග්බි තරගයක් මහනුවරදී අවසන් වතාවට පවත්වා තිබෙන්නේ මීට වසර 7කට පෙර 2017දී.

‘නිපෝන් පේන්ට්’ අනුග්‍රහයෙන් හා දිවයිනේ ඉහළ ම කණ්ඩායම් අටේ සහභාගිත්වයෙන් පැවැත්වෙන 2024 ක්ලිෆඩ් කුසලාන පිළිමලුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ තරග සටහන එම තරගාවලිය මෙහෙයවන ශ්‍රී ලංකා රග්බි ආයතනය විසින් නිවේදනය කර තිබෙනවා.

 

pg21 2


*පෙබරවාරි 28 බදාදා - පොලිසිය හා ගුවන් හමුදාව අතර ලොන්ග්ඩන් පෙදෙසේදී

*පෙබරවාරි 29 බ්‍රහස්පතින්දා - හැව්ලොක්ස් හා නාවික හමුදාව අතර ලොන්ග්ඩන් පෙදෙසේදී

*මාර්තු 1 සිකුරාදා - සී.එච්.ඇන්ඩ් එෆ්.සී. හා යුද හමුදාව අතර ලොන්ග්ඩන් පෙදෙසේදී

*මාර්තු 5 අඟහරුවාදා - පළමු අවසන් පූර්ව තරගය

*මාර්තු 6 බදාදා - දෙවැනි අවසන් පූර්ව තරගය

*මාර්තු 9 සෙනසුරාදා - අවසාන තරගය

සියලු තරග ආරම්භ වීමට නියමිතව තිබෙන්නේ පස්වරු 4.00 ට.

සටහන :
warnan Gunasekara(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්