පාපන්දු නරඹන්නන් වෙත අශෝභන අංග චලනයක යෙදීම සම්බන්ධයෙන් ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ සියුම් පරීක්ෂාවකට ලක්ව සිටිනවා.

 

අල්-ෂබාබ් කණ්ඩායමට එරෙහිව අල්-නසර් කණ්ඩායම ගෝල් 3-2ක ජයක් වාර්තා කළ සෞදි වෘත්තීය ලීග් පාපන්දු තරගයේදී ක්‍රීඩාලෝලීන් රොනාල්ඩෝගේ දීර්ඝ කාලීන ප්‍රතිවාදියා වන ලිඔනල් මෙසීගේ නම කියමින් සරදම් කරන අයුරු වීඩියෝවලින් පෙනෙන්නට තිබෙනවා.

සෙනඟ වෙතින් නැගෙන ඒ හඬට තමාගේ කණකට අතක් තබා ගෙන ඇහුම්කන් දෙන රොනාල්ඩෝ ඉන්පසුව ක්‍රීඩාලෝලීන් සිටි දිසාවට මුහුණලා තමන්ගේ ඉකිලිය ට අත තල්ලු කරමින් සිටින අයුරු වීඩියෝවේ දැක්වෙනවා. 

 



රොනාල්ඩෝගේ මේ හැසිරීම පිළිබඳව සෞදි අරාබි පාපන්දු සම්මේලනය දැන් පරීක්ෂණයක් පවත්වන බව වාර්තා වෙනවා.

රියාද් නගරය මූලස්ථානය කරගත් මේ කණ්ඩායම් දෙක අතර ඉරිදා පැවති තරගයේදී ගෝල් ලබා ගැනීම ආරම්භ කළේ අල්-නසර් කණ්ඩායමේ රොනාල්ඩෝ. ඔහු පෙනල්ටි ස්ථානයේ සිට මේ ගෝලය ලබා ගත් අතර එය මේ ක්‍රීඩා වාරයේ ලීග් තරග 20කින් ඔහු වාර්තා කළ 22 වැනි ගෝලය යි. තරගයේ විවේක කාලයට මොහොතකට පෙර අල්-ෂබාබ් කණ්ඩායම පෙනල්ටියක් මගින් ලකුණු තත්ත්වය 1-1 බවට පත් කළා.

දෙවැනි භාගයේ මිනිත්තුවක් ගතවන විට අල්-නසර් පිල ගෝලයක් ලබා ගෙන තරගයේ පෙරමුණට පිවිසියා. නමුත් අල්-ෂබාබ් නැවත වතාවක් ප්‍රතිචාර දක්වමින් ගෝලයක් ලබා ගත් බැවින් තරගය නැවතත් 2-2 සමතත්ත්වයට පැමිණියා.

කෙසේවෙතත්, අවසානයේ, අල්-නසර් කණ්ඩායම තවත් ගෝලයක් ලබා ගනිමින් මේ තියුණු තරගය ජය ගත්තා.

 


තරගයෙන් පසුව පැවති විස්තර ප්‍රචාරයේදී වැඩි කතාබහට ලක්වූයේ තරගය පිළිබඳව නොව රොනාල්ඩෝ නරඹන්නන් වෙත කළ අංග චලනය ගැනයි.

“සෞදි අරාබි පාපන්දු සම්මේලනය මුහුණ දෙන ලොකුම පරීක්ෂණය මෙය යි” ප්‍රසිද්ධ සෞදි මාධ්‍යවේදී වලීඩ් අල්-ෆරාජ් X සමාජ මාධ්‍යයේ සටහනක් තබමින් කියා සිටියා. “අපි බලාගෙන ඉමු. කොතරම් ලොකු සුපිරි ක්‍රීඩකයෙක් වුනත් හැම දේකටම සීමාවක් තියෙනවා.”

සෞදි මාධ්‍ය ප්‍රකාශ කරන පරිදි, සිද්ධිය සම්බන්ධයෙන් රොනාල්ඩෝ ට තරග දෙකක තහනමක් සහ දඩයක් නියම වීමට ඉඩ තිබෙනවා.

 

ක්‍රිස්ටිආනෝ රොනාල්ඩෝ දැන් ගත කරන්නේ සෞදි අරාබියේ ඔහුගේ දෙවැනි ක්‍රීඩා වාරය යි. පසුගිය වසරේ සහභාගි වූ ලීග් තරග 16දී ඔහු ගෝල් 14ක් වාර්තා කිරීමට සමත් වූ අතර මෙවර ලීග් තරගාවලියේ මේ වන විට වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින්නේ රොනාල්ඩෝ.

 

මානව හිමිකම් ක්‍රියාකාරීන් අධෛර්ය කරමින් 2034 ලෝක කුසලාන පාපන්දුවේ  සත්කාරකත්වය සෞදියට
සෞදි සමාජයේ වෙනස්කම් පසුගිය වසරවල සිදුවුනත්, සෞදි අරාබිය ඔවුන්ගේ පවතින සංස්කෘතිය දිගටම පවත්වා ගෙන යාමට කැමති රටක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

කොතරම් ලොකු පාපන්දු තරුවක් වුනත් රටේ සංස්කෘතියට ගරු කළ යුතු බවත් එසේ නොකළහොත් ඔවුන් ද දඩුවම් විඳිය යුතු බවත් ප්‍රදර්ශනය කිරීමට රොනාල්ඩෝගේ මේ සිද්ධිය සෞදි බළධාරීන් හමුවේ තිබෙන මහඟු අවස්ථාවක්.

 සටහන :

(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්