ඉලක්කයක් හඹා යාම සාර්ථකව අරඹමින් ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන ලකුණු 140ක් රැස්කර ගෙන සිටියද පන්දු 36ක් ඇතුළත කඩුලු 9ක් ලකුණු 30කට බිඳ වැටී අවසානයේ ලකුණු 43ක පරාජයක් ලැබුවේ අතිවිශාල ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් කම්පාවට පත් කරවමින්.

පැතුම් නිස්සංක හා කුසල් මෙන්ඩිස් ආක්‍රමණශීලී පිතිහරඹයක නිරත වෙමින් පන්දු 52කින් ලකුණු 84ක් ලබා ගෙන ශ්‍රී ලංකා ඉනිමට සවිමත් ආරම්භයක් ලබා දීමට සමත් වුනා. මෙන්ඩිස් ලකුණු 45කට දැවී යාමෙන් පසුව නිස්සංක හා කුසල් ජනිත් පෙරේරා මුළු ලකුණු සංඛ්‍යාව 140 දක්වා ඉහළට ගෙන එමින් සිටියදී 14 වැනි ඕවරය ආරම්භයේදී ම නිස්සංක ලකුණු 79දී දැවී ගියේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාව ට පන්දු 36කින් ලකුණු 74ක අභියෝගයක් ලබා ගනිමින්. ශ්‍රී ලංකා ඉනිමේ ප්‍රබල කඩා වැටීම ආරම්භ වූයේ ඉන් අනතුරුව.

ආශ්ඩීප් සිංගේ පන්දුවට ‘ඩීප් මිඩ් විකට්’ ස්ථානයේ පන්දු රකිමින් සිටි යශාස්වි ජයිස්වාල් වෙත උඩ පන්දුවක් ලබා දෙමින් මෙන්ඩිස් දැවී ගියේ පන්දු 27කට මුහුණ දීමෙන් පසුව. ඔහුගේ ඉනිමට හතරේ පහර 7ක් හා එක් හයේ පහරක් ඇතුළත්ව තිබුනා.
මෙන්ඩිස් දැවී යාමෙන් පසුව කුසල් ජනිත් පෙරේරා කඩුල්ලට පිවිස පැතුම් නිස්සංක සමග පිතිහරඹයට එක්වුනා. විශිෂ්ට පිතිහරඹයක නියැළුනු පැතුම් නිස්සංක ඉන්දියා පන්දු යවන්නන්ට පිටියේ සෑම දිසාවකටම පහර එල්ල කරමින් අර්ධ ශතකය වාර්තා කළේ හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමග.

පළමු ඕවර 10 අවසන් වන විට ශ්‍රී ලංකාව එක් කඩුල්ලක් පමණක් අහිමි කරගෙන ලකුණු 99ක් රැස්කර ගෙන සිටියා. ඉන්දියාව ඔවුන්ගේ පළමු ඕවර 10 අවසානයේ ලකුණු 111ක් ලබා ගෙන සිටියද ඒ වන විට ඔවුන්ගේ කඩුලු 2ක් බිඳ වැටී තිබුනා.
පන්දු 48කින් ලකුණු 79ක් රැස් කළ පැතුම් නිස්සංකගේ ඉනිම හතරේ පහර 7ක් සහ හයේ පහර 4කින් අලංකාර වුනා. ඔහු දැවී ගියේ අක්සාර් පටල්ගේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදීමෙන්.
හතරේ පහර 3ක් සමග පන්දු 14කින් ලකුණු 20ක් රැස්කර ගෙන සිටි කුසල් ජනිත් 15 වැනි ඕවරය අවසානයේ පටල්ගේ පන්දුවට රවි බිෂ්නොයි වෙත උඩ පන්දුවක් දෙමින් තෙවැනි කඩුල්ල ලෙස දැවී යන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුව දිස්වූයේ මුළු ලකුණු 149ක් ලෙසින්. කුසල් ජනිත් දැවී ගියේ නිස්සංක දැවී ගොස් පන්දු හතරකට පසුව. ඉක්බිති ශ්‍රී ලංකාවේ සියළුම පිතිකරුවන් තරගයේ තවත් පන්දු හතරක් ඉතිරිව තිබියදී ලකුණු 170කට දැවී ගියා.

15 වැනි ඕවරය අවසන් වන විට ශ්‍රී ලංකාව කඩුලු 3කට ලකුණු 149ක් රැස්කර ගෙන සිටියා. ඉන්දියා ඉනිමේ මේ අවස්ථාව වන විට ඔවුන්ගේද කඩුලු 3ක් බිඳ වැටී තිබුනද ඒ වන විට ඔවුන් ලකුණු 159ක් ලබා ගෙන තිබුනා.
ජයග්‍රාහී ඉන්දියාව වෙනුවෙන් ප්‍රබල පන්දු යැවීමක නිරත වූ පා දඟ පන්දු යවන රියාන් පරාග් පන්දු 8ක් පමණක් යවමින් ලකුණු 5කට කඩුලු 3ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම කඩුලුලාභියා වූ මතීෂ පතිරණ ඔහුට සීමිත ඕවර හතර තුළ ලකුණු 40කට කඩුලු 4ක් ලබා ගත්තා.
සූර්යකුමාර් යාදව් ඉන්දියාවේ ස්ථිර නායකයා ලෙස සහභාගි වූ ප්‍රථම කාසියේ වාසිය උරගා බැලීමේ අවස්ථාවෙන් ඊයේ පරාජයට පත්වූ අතර ශ්‍රී ලංකා විස්සයි20 නව නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ඉන්දියාව තරගය ආරම්භ කළේ ඩිල්ෂාන් මදුශංකගේ ආරම්භක පන්දුවට යශාස්වි ජයිස්වාල් එල්ල කළ හතරේ පහරකින්. තරගයේ පළමු ඕවර 5 අවසන් වන විට ඉන්දියාව කිසිවෙකු නොදැවී ලකුණු 59ක් රැස්කර ගෙන සිටියා.
ආක්‍රමණශීලී පිතිහරඹයක නියැලෙමින් ජයිස්වාල් සහ ෂුබ්මන් ගිල් ආරම්භක කඩුල්ල වෙනුවෙන් පන්දු 36කින් ලකුණු 74ක් රැස්කර ගෙන සිටියදී ගිල් 6 වැනි ඕවරයේ ඩිල්ෂාන් මදුශංක යැවූ අවසන් පන්දුවට දුන් උඩ පන්දුව අසිත ප්‍රනාන්දු රැක ගැනීමත් සමග දැවී ගියා. ගිල් පන්දූ 16කින් ලකුණු 34ක් ලබා ගත්තේ හතරේ පහර 6ක් සහ හයේ පහරක් එල්ල කරමින්.
හත්වැනි ඕවරය යැවීමට කැඳවනු ලැබූ හිටපු නායක වනිඳු හසරංග ඔහුගේ පළමු පන්දුවෙන්ම කඩුල්ලක් ලබා ගැනීමට සමත් වෙමින් අනෙක් ආරම්භක පිතිකරු ජයිස්වාල් දවාලුවා. ඔහු දැවී ගියේ කඩුලු රකින කුසල් මෙන්ඩිස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින්. පන්දු 21කට මුහුණ දුන් ජයිස්වාල් හතරේ පහර 5ක් සහ හයේ පහර 2ක් සමග ලකුණු 40ක් ලබා ගත්තා. මේ අනුව ඉන්දියාවේ මුල් කඩුලු දෙක ම මුළු ලකුණු 74දී බිඳ වැටුනා.
13 වැනි ඕවරයේ පළමු පන්දුවට මහීෂ් තීක්ෂණගේ පන්දුවට හතරේ පහරක් එල්ල කරමින් සූර්යකුමාර් යාදව් අර්ධ ශතකය වාර්තා කළා. හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක්ද සමග යාදව්ගේ අර්ධ ශතකය වාර්තා වුනේ පන්දු 22කින්.

යාදව් හා රිශාබ් පාන්ට් තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 76ක සබඳතාවක් ගොඩනගමින් සිටියදී යාදව් මතීෂ පතිරණගේ පන්දුවට කඩුල්ල මුවා කරමින් දැවී ගියා. පිටියේ විනිසුරුගේ තීරණයට ඉන්දියානුවන් අභියෝග කළ ද තෙවැනි විනිසුරු ද පිටියේ විනිසුරුගේ තීරණය අනුමත කළා. යාදව් ලකුණු 58ක් රැස්කළේ පන්දු 26කින්. හතරේ පහර 8ක් සහ හයේ පහර 2කින් ඔහුගේ ඉනිම සැරසී තිබුනා. තෙවැනි කඩුල්ල බිඳ වැටුනේ මුළු ලකුණු 150දී.
17 වැනි ඕවරයේදී ඉන්දියා සිවුවැනි කඩුල්ල මුළු ලකුණු 176දී බිඳ වැටෙමින් හාඩික් පාණ්ඩ්‍යා ලකුණු 9කට දැවී ගියා. ඔහු දැවී ගියේ මතීෂ පතිරණගේ යෝකර් පන්දුවක් කෙළින් ම කඩුල්ලේ වැදීමෙන්. රියාන් පරාග් (7) ද පතිරණගේ යෝකර් පන්දුවකට කඩුල්ල මුවා කිරීමේ වරදට හසුව මුළු ලකුණු 192දී දැවී ගිය අතර මුළු ලකුණු 201 (ඕවරය 19) හා 206 (ඕවරය 20)දී ඉන්දියා 6 වැනි 7 වැනි කඩුලු බිඳ වැටෙමින් රිශාබ් පාන්ට් සහ රින්කු සිං දැවී ගියා.

පාන්ට් දැවී ගියේ පතිරණගේ පන්දුවක් කඩුල්ලේ ගැටීමෙන්. ලකුණු 11ක් ලබා ගෙන සිටියදී අසිත ප්‍රනාන්දු උඩ පන්දුවක් රැක ගැනීමට අසමත් වීම නිසා දැවී යාමෙන් බේරුණු පාන්ට් අවසානයේ දැවී යන විට පන්දු 33කින් ලකුණු 49ක් රැස්කර ගෙන සිටියේ හතරේ පහර 6ක් සහ එක් හයේ පහරක් ද සමග.
රින්කු සිං (1) අසිත ප්‍රනාන්දුගේ පන්දුවකට දැවී ගියා. අක්සාර් පටල් හා ආශ්ඩීප් සිං නොදැවී පිළිවෙලින් ලකුණු 10ක් සහ ලකුණු 1ක් ලබා ගත්තා.
ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 7කට ලකුණු 213ක් වාර්තා කළා.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර තරග තුනකින් සමන්විත T20 තරගමාලාවේ දෙවැනි තරගය පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ අද රාත්‍රියේ.
සටහන :
(වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



