රිය අනතුරකින් මිය ගිය ලිවපූල් පාපන්දු තරුව ඩිඔගො ජෝටා වෙනුවන් පිහිටුවා තිබූ මුදල් පරිත්‍යාග වෙබ්අඩවිය අමෙරිකානු ඩොලර් 60,000කට වැඩි මුදලක් රැස් කිරීමෙන් පසුව අතුරුදන්ව ඇතැයි වාර්තා වනවා.
Diogojotafoundation.org වෙබ්අඩවිය අගෝස්තු 21 වැනිදා හිස්වී තිබුනා. මේ පිළිබඳව ප්‍රශ්න කරද්දී ලිවපූල් පාපන්දු සමාජය හා ජෝටාගේ පවුලේ අය මේ සංවිධානය සමග ඔවුන්ගේ කිසිම සම්බන්ධයක් නැතැයි පවසා තිබෙනවා.
මේ පදනම මතුවුනේ පෘතුගාල පාපන්දු ක්‍රීඩකයාගේ ඛේදජනක මරණය සිදුවී දින කිහිපයකට පසුව. එක් අවස්ථාවකදී, තමන් ඩොලර් 64,573ක් රැස් කරගෙන සිටින බවත් තමන් බාර ගන්නේ ක්‍රිප්ටෝ මුදල් පරිත්‍යාග පමණක් බවත් මේ පදනම ප්‍රකාශ කර තිබුනා. පරිත්‍යාගශීලීන්ව USDT, ETH සහ වෙනත් ක්‍රිප්ටෝ මුදල් NOWPayments හරහා ආරක්ෂිතව යැවිය හැකි වේදිකාවක් වෙත යොමුකර තිබුනා. කෙසේ වෙතත්, කිසිම ගෙවීමක් ඇත්තටම සිදුවී නැති බව NOWPayments ප්‍රධාන විධායක අධ්‍යක්ෂ Kate Lifshits ස්ථිර කරනවා.

තරුණ පුද්ගලයන්ට උපකාර කිරීම, ප්‍රජා ජීවිතය වැඩි දියුණු කිරීම හා පාපන්දුවේ ප්‍රමෝදය පැතිරවීම පිණිස මේ මුදල් භාවිතා කරමින් ජෝටාගේ ලෙගසියට ගෞරව කිරීමේ ඔවුන්ගේ ඉලක්කය මේ පදනමේ සැකිල්ල සේ දක්වා තිබුනා. තවද, කෑම වේල 25,000ක් ලබා දී ඇති බවත්, පාසල් දරුවන් 300කට අනුග්‍රහය දක්වා ඇති බවත් හා දේශීය හවුල් ව්‍යාපාර 50ක් ස්ථාපිත කර ඇති බවත් ඔවුන් සඳහන් කර තිබුනා.
කෙසේ වෙතත්, එංගලන්තයේ ත්‍යාගශීලි බවේ කොමිසමට අනුව, ඩිඔගො ජෝටා පදනම කවරවිටකවත් පරිත්‍යාගශීලීත්වයේ ලියාපදිංචි වීමකට අයදුම් කර නැහැ. පරිත්‍යාගශීලී ආයතනයක් එංගලන්තයේ හෝ වේල්සයේ වසරකට ඩොලර් 6,800කට වැඩි මුදලක් උපයන්නේ නම් ඔවුන් මෙම කොමිසමේ ලියාපදිංචි විය යුතුව තිබෙනවා.

ඩිඔගො ජෝටා සහ ඔහුගේ සොයුරු ඇන්ඩ්‍රි මෝටර් රථයක ගමන් කරමින් සිටියදී අනතුරකට ලක්ව ජූලි 3 වැනිදා මිය ගියා. ජෝටා ඔහුට දරුවන් තිදෙනෙකු සිටි ළමාවියේ පෙම්වතිය සමග විවාහ වී දින 11ක් පමණක් ගතව තිබියදීයි පාපන්දු ලෝකය කම්පා කරවමින් මේ මරණය සිදුවුනේ. ඔහු වෙනුවෙන් ලබා දෙන සහයෝගයක් වශයෙන්, ලිවපූල් පාපන්දු සමාජය ඔවුන් සමග ජෝටාගේ තිබෙන කොන්ත්‍රාත්තුවට ගරු කරමින් ගිවිසුමේ සඳහන් වසර දෙකේ ඉතිරි වැටුප ඔහුගේ පවුලට දිගටම ලබා දෙන්නේ එය ප්‍රතික්ෂේප කිරීම සඳහා එම සමාජයට නීතිමය අයිතියක් තිබියදී.

සෑම තරග වාරයකම ක්‍රීඩක ලැයිස්තුවේ ඩිඔගො ජෝටාගේ නම සදාකල්හි ප්‍රදර්ශනය වන පරිදි ඔහුගේ අංක 20 ක්‍රීඩා කමිසය ලිවපූල් පාපන්දු සමාජය විසින් විශ්‍රාම ගන්වා තිබෙනවා. මීට අමතරව, ලිවපූල් පාපන්දු සමාජයීය පදනම හරහා එම සමාජය ජෝටාගේ නමින් ප්‍රජා පාපන්දු වැඩසටහනක් ද ස්ථාපිත කර තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




