IPL තරගාවලියේ ඉතිරි තරග මැයි 17 සිට ක්‍රීඩාංගණ හයක් හරහා පැවැත්වීමට ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) තීරණය කර තිබෙනවා.

“සිද්ධ වුනු දේවල් නිසාත් සමහර පවුල්වලට ඔවුන්ගේ ආදරණීයයන් හා සමීපතමයන් අහිමි වී තිබෙන නිසාත් මේ තරගාවලිය සමග එන සියලුම සංගීත භාණ්ඩ නැතිව තරගාවලියේ ඉතිරි කොටස පැවැත්වේවි කියා මම අවංකව ප්‍රාර්ථනා කරනවා” යනුවෙන් ගවස්කාර් පවසනවා.
“තරගය පමණක් ක්‍රීඩා කරපුදෙන්. සෙනඟ ආපුදෙන්. නමුත් අපි සංගීතය නැතුව ඉමු. ඕවරයක් මැද DJලා කෑගැසීම වැනි දේවල් නොකරඉ ඉමු. අපි ක්‍රීඩාව පමණක් පවත්වා ගෙන යමු. ඩාන්සින් ගර්ල්ස්ලා නැහැ. කිසිම දෙයක් නැහැ. මෙය තමන්ගේ ආදරණීයයන් මිය ගිය පවුල්වල හැඟීම් බර වේදනාවට ගරු කරන ඉතා හොඳ ක්‍රමයක් වේවි” ඔහු වැඩි දුරටත් කියා තිබෙනවා.

තරගාවලියේ අවසාන මහා තරගය ජූනි 3 තෙක් දීර්ඝ කර තිබෙන්නේ තරගාවලියේ දැනට සම තත්ත්වයේ සිටින කණ්ඩායම් අතුරින් ඉදිරියට යන කණ්ඩායම් තීරණය කිරීමේ (playoffs) තරග මැයි 29, 30 සහ ජූනි 1 යන දිනවලට යොදා ගනිමින්. Playoff තරග පැවැත්වෙන ක්‍රීඩාංගණ පිළිබඳව පසුව දැනුම් දෙන බවත් නව තරග වැඩසටහනට අනුව ඉරිදා දින දෙකකදී ද්විත්ව තරග දෙකක් බැගින් පැවැත්වෙනු ඇති බවත් BCCI නිවේදනය කර තිබෙනවා.
තරගාවලිය දීර්ඝ කිරීමේදී ‘පන්ජාබ් කිංග්ස්’ හා ‘රාජස්තාන් රෝයල්ස්’ අතර අත්හිටුවුනු තරගය නැවත ක්‍රීඩා කිරීමටයි නියමිතව තිබෙන්නේ. ධර්මසාලා නුවර මැයි 8 වැනිදා පැවති මේ තරගය ක්‍රීඩාංගණයේ විදුලි ආලෝකය නිවා දැමීම හේතුවෙන් 11 වැනි ඕවරයේ පළමු පන්දුව යැවීමෙන් පසුව නතර කෙරුනා.

සතියක ප්‍රමාදයකින් පසුව ඉන්දියා ප්‍රිමිය ලීගය නැවත ආරම්භ වෙද්දී ඊට විදෙස් ක්‍රීඩකයන්ගේ සහභාගිත්වය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබෙනවා. තරගාවලිය දැන් ජූනි මාසයේ පළමු සතිය දක්වා දීර්ඝ වීමෙන් සහ එංගලන්තය හා බටහිර ඉන්දීය කොදෙව් යන කණ්ඩායම්වල ක්‍රීඩකයන්ට ජාත්‍යන්තර රාජකාරි යෙදී තිබීම සහ ඔස්ට්‍රේලියාව හා දකුණු අප්‍රිකාව ලෝක ටෙස්ට් අවසාන තරගයට ක්‍රීඩා කිරීම යන කාරණා පෙලගැසී තිබෙන බැවින් සියලුම විදෙස් ක්‍රීඩකයන් IPL ක්‍රීඩා කිරීම පිණිස නැවත ඉන්දියාව ට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ නැහැ.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



