ඔහු කිසිම තරගයකට ක්‍රීඩා නොකර IPL ශූරතා දෙකක් ම දිනා ගෙන තිබෙනවා.
බාබෙඩොස් කොදෙව් දූපතේ ක්‍රීඩකයෙකු වන ඩ්‍රේක්ස් විවිධ කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරමින් IPL කිරුළක් හිමිකර ගත් ක්‍රීඩකයන් 22 දෙනාගෙන් කෙනෙක්. මෙය ම දුර්ලභ සිදුවීමක්. එහෙත් ඩ්‍රේක්ස් මෙය සිදුකර තිබෙන්නේ ඔහු නියෝජනය කළ කණ්ඩායම් වෙනුවෙන් එකම තරගයක් හෝ ක්‍රීඩා නොකර වීම විශේෂත්වයක්.
මෙහි වඩාත් විශේෂත්වය වන්නේ ඩ්‍රේක්ස් ඔහුගේ මංගල IPL තරගයට ක්‍රීඩා නොකර දැනටමත් චෙන්නායි සුපර් කිංග්ස් (CSK) සමග 2021 වසරේදී ද, ගුජරාට් ටයිටන්ස් (GT) සමග2022 වසරේදී ද IPL ශූරතා දෙකක් දිනා ගෙන සිටීමයි. මේ අනුව ඔහු ඉන්දියා ප්‍රිමිය ලීග් ඉතිහාසයේ වඩාත්ම වාසනාවන්ත ක්‍රීඩකයා බවට පත්ව සිටිනවා.
නායක ක්‍රිස් ගේල් යටතේ 2021 කැරිබියන් ප්‍රිමිය ලීගයේ St Kitts හා Nevis Patriots කණ්ඩායම් වෙනුවෙන් ක්‍රීඩා කරමිනුයි ඩ්‍රේක්ස් පූර්ණ ප්‍රසිද්ධියට පත්වුනේ. ඊට කළින් තරග වාරවලදී මේ ක්‍රීඩකයා සැලකිය යුතු තරමේ කුසලතාවක් දක්වා නොතිබුනත් ගේල් ඔහුව අංක 6 පිතිකරු ස්ථානයට උසස් කිරීමෙන් පසුව ඩ්‍රේක්ස් පන්දු 24කින් නොදැවී ලකුණු 48ක ශූරතා ජයග්‍රාහී පිතිහරඹයක් ප්‍රදර්ශනය කිරීමට සමත් වුනා. මීට අමතරව මේ තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩකයා එම තරග වාරය අවසන් කළේ අවසාන තරගයේ කඩුල්ලක් ද ඇතුළුව කඩුලු 16ක් ලබා ගනිමින්.

ඔහුගේ මේ දක්ෂතාව පිළිබඳව අවධානය යොමු කළ CSK කණ්ඩායම ආබාධයට ලක්වූ සෑම් කරන් වෙනුවට ආදේශ ක්‍රීඩකයෙකු ලෙස 2021 වසරේදී ඩ්‍රේක්ස් බඳවා ගත්තා. කොවිඩ් වසංගතය සමයේ පැවති මේ තරගාවලිය CSK ජයග්‍රහණය කළ ද ඩ්‍රේක්ස් එකම තරගයක් හෝ ක්‍රීඩා කළේ නැහැ.
ඊළඟ තරග වාරයේදී ඉන්දියා ප්‍රිමිය ලීගය කණ්ඩායම් 10 දක්වා ප්‍රසාරණය වෙමින් GT සහ ලක්නව් සුපර් ජයන්ට්ස් (LSG) යන කණ්ඩායම් තරගාවලියට අලුතින් එක්වුනා. එම තරගාවලිය සම්බන්ධයෙන් පැවති දැවැන්ත වෙන්දේසියේදී GT කණ්ඩායම ඩ්‍රේක්ස්ව ඔවුන්ගේ සංචිතයට තෝරා ගත්ත ද එම තරගාවලියේ ද සිය මංගල තරගයට පිවිසීමට නැවත වතාවක් ඔහුට අවස්ථාවක් ලැබුනේ නැහැ.
කෙසේ වෙතත් GT කණ්ඩායම නායක හාඩික් පාන්ඩ්‍යා යටතේ IPL කිරුළ ඔවුන්ගේ මංගල තරග වාරයේදී ම දිනා ගැනීමට සමත් වුනා.
IPL 2025 වෙන්දේසියට පෙර GT විසින් නැවත වරක් ඩ්‍රේක්ස්ව තෝරා ගනු ලැබූව ද ඒ තරග වාරයේ ද ඔහුට ක්‍රීඩා කිරීමට වරම් ලැබුනේ නැහැ.
සමස්ත වශයෙන්, ඩොමිනික් ඩ්‍රේක්ස් ඔහුගේ ක්‍රීඩා දිවියේ විස්සයි20 තරග 73කට ක්‍රීඩා කර තිබෙන අතර එහිදී ඔහු ලකුණු 2,087ක් සහ කඩුලු 67ක් ලබා ගෙන තිබෙනවා. බටහිර ඉන්දීය කොදෙව් පිල වෙනුවෙන් ඔහු ජාත්‍යන්තර විස්සයි20 තරග 10කට ක්‍රීඩා කරමින් ලකුණු 192ක් රැස්කර ගෙන කඩුලු හයක් වාර්තා කර තිබෙනවා.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



