ක්‍රිකට් තරගාවලිය (IPL) අත්හිටුවා තිබෙනවා. ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලය (BCCI) විසින් අද සවස මේ තීරණය ගෙන තිබෙන්නේ ඉන්දියා රජය සමග සාකච්ඡා කිරීමෙන් පසුව බව ‘දි ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ (The Indian Express) පුවත්පත ප්‍රකාශ කරනවා.
තරගාවලිය දිගටම පවත්වා ගෙන යාමට මේ කාලය සුදුසු නොවන බවට විශ්වාස කරන ඉන්දීය රජයට ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍යව තිබෙනවා.
ඉන්දියාවේ නගර කිහිපයකට පාකිස්තානය විසින් ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසුව නිකුත් කළ අනතුරු ඇඟවීම් මධ්‍යයේ ධර්මසාලා නුවර හදිසියේ අඳුරුවීම නිසා පන්ජාබ් කිංග්ස් හා දිල්ලි කැපිටල්ස් කණ්ඩායම් අතර ඊයේ පැවැත්වෙමින් තිබූ තරගය පළමු ඉනිම මැදදී නතර කෙරුනු අතර එතැන් සිට IPL තරගාවලියේ අනාගතය ප්‍රශ්නාර්ථයක් බවට පත්ව තිබුනා. BCCI හි ඉහළම නිලධාරීන් අද උදේ ඉන්දියා රජයේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටි අතර මෙම තරගාවලිය දැනට අත්හිටුවීමට ඔවුන් තීරණය කර තිබෙන බව පැවසෙනවා.
“අපට අනාගතය ගැන නිසැක සහතිකයක් දෙන්න බැහැ. නොයෙකුත් ව්‍යාකූල තත්ත්වයන් උද්ගතව තිබෙන නිසා ඊළඟට සිදුවන්නේ කුමක්ද කියා අපට කියන්න බැහැ. දැනට අපට සිද්ධ වෙලා තියෙන්නේ වෙන්නේ මොකක්ද කියලා බලාගෙන ඉන්නයි” යනුවෙන් ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ආරංචි මාර්ග ‘ඉන්ඩියන් එක්ස්ප්‍රස්’ ට පවසා තිබෙනවා.
පන්ජාබ් හා දිල්ලි කණ්ඩායම් අද උදේ තරග විස්තර ප්රචාරක කණ්ඩායම හා තරග නිලධාරීන් ද සමග විශේෂ දුම්රියකින් ධර්මසාලා නුවරින් පිටත්ව ගියා.
ක්‍රීඩාංගණයෙන් හදිසියේ ඉවත් කරමින් හෝටලයට රැගෙන යාම නිසා කණ්ඩායම් දෙකේම ක්‍රීඩකයන් හා සහායක මණ්ඩලය කම්පනයට පත්ව සිටි බව වාර්තා වනවා.
අනෙක් කණ්ඩායම්වල සිටින විදෙස් ක්‍රීඩක පිරිස තුළ පවා බියක් හටගෙන තිබෙන අතර මින් සමහරු ළඟ ඔවුන්ගේ පවුල් ද සිටිනවා. ඉන්දියා ක්‍රිකට් බලධාරීන් අනෙක් රටවල ක්‍රිකට් මණ්ඩලවලට ද තත්ත්වය තේරුම් කර දෙමින් සිටින බව සඳහන්.
විදෙස් ක්‍රීඩකයන්ට ආරක්ෂිතව නැවත ඔවුන්ගේ රටවල් බලා යාම සුරක්ෂිත කිරීම පිණිස IPL කණ්ඩායම් භාර ආයතන වහාම කුලී ගුවන් යානා භාවිතා කිරීමේ කටයුතු සකස් කරමින් සිටියා.
“රට යුද්ධයක නිරතව සිටියදී ක්‍රිකට් ක්‍රීඩාව දිගටම පවත්වා ගෙන යාම හොඳ දසුනක් නෙවෙයි” ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ නිලධාරියෙක් PTI පුවත් සේවයට පවසා තිබෙනවා.
තරගාවලිය නැවත ආරම්භ වන දිනයක් පිළිබඳව කිසිවක් තවම ප්‍රකාශ වී නැහැ. එය මේ වසර අග දක්වා කල්දැමීමට ඉඩ තිබෙන බව සමහර වාර්තා සඳහන් කළ ද ඒ ගැන මෙතෙක් නිශ්චිත තීරණයක් ගෙන නැහැ.
මේ අතර ඉන්දියා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් දේවාජිත් සයිකිආ (Devajit Saikia) නිවේදනයක් නිකුත් කරමින්, 2025 IPL තරගාවලියේ ඉතිරි කොටස වහාම ක්‍රියාත්මක වන පරිදි සතියකට කල් දැමීමට BCCI තීරණය කළ බව කියා සිටියා. නව තරග වැඩසටහන තරග පැවැත්වෙන ස්ථාන පිළිබඳ යාවත්කාලීන විස්තර පසුව දැනුම් දෙන බව ද එම නිවේදනයේ සඳහන්ව තිබුනා.
“ක්‍රිකට් ක්‍රීඩාව ජාතික ආශාව ලෙස පැවතුනත් රට සහ එහි ස්වෛරීභාවය, සම්පූර්ණත්වය හා අපේ රටේ ආරක්ෂාව තරම් වෙනත් කිසිවක් වැදගත් වන්නේ නැහැ. ඉන්දියාව සුරක්ෂිත කිරීමට ගන්නා සියලු උත්සාහයන්ට සහයෝගය දැක්වීමට BCCI ස්ථිරව කැපවී සිටින අතර ඔවුන් සැමවිටම ඔවුන්ගේ තීරණ ගන්නේ රටේ හොඳම යහපත සමග එකට බැඳී සිටීමෙන්” යනුවෙන් එම නිවේදනයේ දැක්වෙනවා.
පාකිස්තාන සුපර් ලීගයත් වෙනත් රටකට
මේ අතර පාකිස්තානයේ පැවැත්වෙමින් තිබූ පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත ගෙන යාමට පාකිස්තාන ක්‍රිකට් මණ්ඩලය (PCB) අද උදෑසන තීරණය කර තිබුනා.
මේ අනුව රාවල්පින්ඩි, මුල්ටාන් සහ ලාහෝර් නගරවල පැවැත්වීමට නියමිතව තිබූ එම තරගාවලියේ අවසාන තරග අට දැන් ක්‍රීඩා කෙරෙනු ඇත්තේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ. එහි තරග වැඩසටහන ඉදිරියේදී දැනුම් දෙන බව සංවිධායකයින් පවසා තිබෙනවා.
පාකිස්තානය ට එල්ල වූ ආසන්නතම ප්‍රහාරයෙන් රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයට හානි සිදුවූ බව PCB සභාපති මෝසින් නක්වි (Mohsin Naqvi) කියා තිබෙනවා.
කෙසේ වෙතත්, ඉන්දියා ආරක්ෂක අමාත්‍යංශය පැහැදිලිව ප්‍රකාශ කරන්නේ, පාකිස්තානය බදාදා රාත්‍රියේ ඉන්දියාවේ උතුරු හා බටහිර කලාපවල ස්ථාන 15කට ප්‍රහාර එල්ල කිරීමට උත්සාහ කිරීමෙන් පසුව ඉන්දියාව බ්‍රහස්පතින්දා ඉලක්ක කර ගත්තේ පාකිස්තානයේ ගුවන් ආරක්ෂක රේඩාර් සහ පද්ධති පමණක් බවයි.
සබැඳි පුවත් :
ඉන්දියානු ක්‍රිකට් වර්ජනයකින් පාකිස්තානය හා බංග්ලාදේශයට විශාල පාඩුවක්
පාකිස්තානය සමග සියලු ක්‍රිකට් තරග නතර කළ යුතුයි - ඉන්දියා පුහුණුකරු ගම්භීර්
පෙහෙල්ගම් ත්‍රස්ත ප්‍රහාරය: ඉන්දු-පාකිස්තාන සබඳතා බිඳ වැටීම ආසියානු ක්‍රිකට් කුසලානයට බලපාවිද?
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



