ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩකයන් හා ක්‍රීඩිකාවන් 90 දෙනෙකු බැගින් වන කෝටාවක් IOCය විසින් වෙන්කිරීමෙන් පසුව තරගාවලියට සහභාගි වන කණ්ඩායම්වලට 15 දෙනෙක් දක්වා වන සංචිත ඉදිරිපත් කිරීමට හැකියාව ලැබෙනවා.
LA 2028 සඳහා කණ්ඩායම් සුදුසුකම් ලබන්නේ කෙසේද යන්න IOCය තවමත් අනාවරණය කර නැතත්, ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ඉන්දියාවේ තිබෙන උනන්දුව වැඩි කිරීමේ මාර්ගයක් වශයෙන් ක්‍රිකට් යොදා ගැනීමට ඔලිම්පික් සංවිධායකයින් උද්යෝගයෙන් පසුවන බව පැවසෙනවා.

වර්තමාන විස්සයි20 ශූරයින් වන ඉන්දියාව, අමෙරිකාව සමසත්කාරකත්වය දැරූ 2024 ලෝක කුසලාන තරගාවලියේදී ක්‍රීඩා ලෝලීන් ආකර්ෂණය කරගත් ප්‍රධානතම කණ්ඩායම වූ අතර IOCයට අනුග්‍රාහකයන් සොයා ගැනීමේ උත්සාහයේදී ප්‍රධාන වාණිජමය අවස්ථාවක් ඔවුන්ගෙන් ලැබෙනවා.
කර්ස්ටී කවෙන්ට්‍රි IOC සභාපති ධූරයට පත්වීමට පෙර මෑතකදී පැවති චැම්පියන්ස් කුසලාන තරගාවලිය අතරතුර ඇය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ සභාපති ජේ ෂා ඩුබායි හි දී මුණගැසුනු අතර එහිදී LA 2028 පිළිබඳව සාකච්ඡා වුනා.
ක්‍රිකට් ක්‍රීඩාව මීට පෙර ඔලිම්පික් උළෙලක පවත්වා තිබෙන්නේ එක් වතාවක් පමණයි. 1990 වසරේ පැරිසියේ පැවති එම ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී නෙදර්ලන්තය හා බෙල්ජියම තරගාවලියෙන් ඉවත් වීමෙන් පසුව පැවති තනි අවසාන තරගයේදී මහා බ්‍රිතාන්‍ය ලකුණු 158කින් ප්‍රංශය පරාජය කළා.
දෙදිනක් තිස්සේ ඉනිම දෙකක් ක්‍රීඩා කෙරුණු එම තරගයේදී ක්‍රීඩකයින් 12 දෙනෙක් බැගින් කණ්ඩායමකට ඇතුළත්ව සිටියා. එබැවින් එයට පළමු පංතියේ ක්‍රිකට් තත්ත්වය ලැබුනේ නැහැ.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



