මෙරට තිබෙන වඩාත්ම ඓතිහාසික හා ගෞරවනීය ක්‍රිකට් ආයතනවලින් එකක් වන කලම්බෝ කෝල්ට්ස් ක්‍රිකට් සමාජය ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් දක්ෂ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම බිහිකරමින් විශිෂ්ට උරුමයක් සටහන් කර තිබෙනවා.
ඇන්ජලෝ මැතිව්ස්, දුනිත් වෙල්ලාලගේ, ඩිල්ෂාන් මදුශංක, අකිල ධනංජය හා ධනංජය ලක්ෂාන් වැනි වර්තමාන ක්‍රීඩකයන් මෙන්ම රෝයි ඩයස්, චමින්ද වාස් හා රොමේෂ් කළුවිතාරණ යන පුරාවෘත්ත ද බිහිවුනේ කලම්බෝ කෝල්ට්ස් ක්‍රිකට් සමාජයෙන්.

Lanka IOC ආයතනයේ ප්‍රධානතම ලාංජනය වන Servo Lubricants විසින් බලගන්වන මේ නව හවුල මගින් වැඩි සම්පත් හරහා ක්‍රීඩකයන්ට ආධාර කිරීම හා ඔවුන්ගේ වර්ධනය වෙනුවෙන් එම සමාජයට තිබෙන හැකියාව වැඩිවෙනවා.
ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවට උපකාර කිරීමේදී Lanka IOC සතුව තිබෙන්නේ සුවිශේෂ වාර්තාවක්.
2015 – 2017 වකවානුවේ ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රිකට් කණ්ඩායමේ අනුග්‍රාහකයා ලෙස කටයුතු කළේ Servo. 2017 වසරේ ඉන්දියා කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ නිල අනුග්‍රාහකයා වූයේ ද මේ ආයතනයයි. 2018 වසරේ පැවති ‘නිදහස් කුසලාන’ තරගාවලියේ ද ඔවුන් හවුල්කරුවන් වුනා. පසු වසරවලදී Lanka IOC ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දකුණු අප්‍රිකාව, එංගලන්තය හා ඔස්ට්‍රේලියා සංචාරවලට මෙන්ම ශ්‍රී ලංකාව, ඉන්දියාව හා දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් පැවති කාන්තා තුන්කොන් එක්දින තරගාවලියට ද සහයෝගය දැක්වූවා.

මීට අමතරව, මුත්තයියා මුරලිදරන් හා අජන්ත මෙන්ඩිස් යන පුරාවෘත්ත දඟ පන්දු යවන්නන් 2015 සහ 2018 වසරවලදී Servo ලාංජන තානාපතිවරුන් ලෙස කටයුතු කළා.
කලම්බෝ කෝල්ට්ස් ක්‍රිකට් සමාජ ශාලාවේ ඊයේ මේ හවුල ප්‍රකාශ කෙරුනු අවස්ථාවට එම සමාජයේ සභාපති නිශාන්ත රණතුංග, Lanka IOC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ඩීපක් ඩාස්, කෝල්ට්ස් සමාජ ක්‍රීඩකයන් වන හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස්, අකිල ධනංජය, එම සමාජයේ උපසභාපති චමින්ද මෙන්ඩිස්, ලේකම් මේජර් ජෙනරල් ශිරාන් අබේසේකර සහ භාණ්ඩාගාරික එම්.රත්නහාරන් සහභාගි වුනා.

(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



