වෙළඳසේවා ක්‍රිකට් සංගම් ක්‍රීඩාංගණයේ සතිඅන්තයේ පැවති මේ තරගය අවසන් පන්දුව දක්වාම තියුණු මුහුණුවරක් ගත්තා. මෙහිදී මනාස මදුබාෂන පන්දු 103කින් ලකුණු 85ක් ද (හයේ 1යි, හතරේ 7යි), අංක 9 පිතිකරු ලක්ෂාන් සඳකැන් හයේ පහර 2ක් සහ හතරේ පහර 6ක් සමග පන්දු 54කින් ලකුණු 54ක් ද ලබා ගත්ත ද අවසානයේ ඔවුන්ගේ කණ්ඩායම ලකුණු පහකින් පරාජය වුනා.
කාසියේ වාසිය දිනාගෙන පළමුව පන්දුවට පහර දුන් සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම ඔ්වර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 265ක් රැස් කරමින් අභියෝගාත්මක ඉලක්කයක් ලබා දුන්නේ හිරුණ ගාල්ලගේ වැඩිම ලකුණු ලබා ගනිමින් වාර්තා කළ ලකුණු 79 (පන්දු 101) සහ කවිඳු නිර්මාණ නොදැවී ලබා ගත් ලකුණු 51 (හයේ 5යි, හතරේ 2යි) ආධාරයෙන්.
මේ ඉලක්කය හඹා ගිය එක්ස්පෝලංකා හෝල්ඩිංස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 260ක් පමණයි.
හිරුණ ගාල්ලගේ ‘තරගයේ වීරයා’ ලෙස නම් කෙරුනු අතර ඔහු තරගාවලියේ හොඳම පිතිකරුවා ලෙස ද තෝරා ගනු ලැබුවා. ගාල්ලගේ මේ තරගාවලියේදී අර්ධ ශතක තුනක් සමග ලකුණු 256ක් වාර්තා කිරීමට සමත් වුනා.
කඩුලු 14ක් ලබා ගත් සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ ම ධනෝෂ් ද සිල්වා තරගාවලියේ හොඳම පන්දු යවන්නාගේ තිළිණය හිමි කරගත් අතර සමස්ත තරගාවලියේ වීරයා වූයේ ලකුණු 144ක් සහ කඩුලු 8ක් ලබා ගත් එක්ස්පෝලංකා හෝල්ඩිංස් කණ්ඩායමේ මල්ෂාන් තරුපති.
මේ තරගාවලිය සඳහා ප්‍රථම වතාවට අනුග්‍රහය දක්වා තිබුනේ සීමාසහිත ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පෞද්ගලික) ආයතනය.
වෙළඳසේවා ක්‍රිකට් සංගමයේ සභාපති මහේෂ් ද අල්විස් හා තරගාවලි කමිටුවේ සභාපති ලක්මාල් ද සිල්වා යන මහත්වරුන් සමග ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පෞද්ගලික) ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී අශාන් රන්සිලිගේ (ප්‍රධාන අමුත්තා) හා සංස්ථාමය ව්‍යාපෘති ප්‍රධානී සමගි රාජපක්ස (විශේෂ ආරාධිත අමුත්තා) යන මහත්වරු ත්‍යාග පිරිනැමුවා.
අවසාන තරගයේ ලකුණු විස්තරය:
සිංගර් ශ්‍රී ලංකා ‘ඒ’ - කඩුලු 8 ට ලකුණු 265 - ධනුජ ඉඳුරුව 46, හිරුණ ගාල්ලගේ 79, රශ්මික මදුශංක 42, කවිඳු නිර්මාණ නොදැවී 51, ඩිල්ෂාන් ද සොයිසා 2/35)
එක්ස්පෝලංකා හෝල්ඩිංස් - කඩුලු 9 ට ලකුණු 260 - ඩිල්ෂාන් ද සොයිසා 21, මනාස මදුබාෂන 85, නිමේෂ ගුණසිංහ 21, මල්ෂාන් තරුපති 27, ලක්ෂාන් සඳකැන් 54, ධනෝෂ් ද සිල්වා 3/44, පසිඳු ඩිල්ෂාන් 2/48)
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com




