එංගලන්තයේ ලිවපූල් කණ්ඩායමට ක්‍රීඩා කරන මේ ඊජිප්තු පාපන්දු තරුව ලෝක පාපන්දු ක්‍රීඩාවේ සිටින විශිෂ්ටතම අරාබි ක්‍රීඩකයායි. අල්-ඔබීඩ්ගේ මරණය සම්බන්ධයෙන් යුරෝපීය පාපන්දු පාලක සංගමය (UEFA) සමාජ මාධ්‍යයේ තැබූ පෝස්ටුවෙන් ඔහුගේ මරණය සිදුවූ ආකාරය ගැන කිසිවක් සඳහන් කර නොතිබූ බව සලා පෙන්වා දෙනවා.
UEFA තැබූ X පෝස්ටුව
පලස්තීන ජාතික පාපන්දු කණ්ඩායමේ ක්‍රීඩකයෙකුව සිටි අල්-ඔබීඩ් මිය ගියේ දකුණු ගාසා ප්‍රදේශයේ ආධාර ලබා ගැනීම පිණිස බලා සිටි සාමාන්‍ය වැසියන් ඉලක්ක කරගත් ඊශ්‍රායල් ප්‍රහාරයකින් බව පලස්තීන පාපන්දු සංගමය ප්‍රකාශ කර තිබෙනවා.
“සුලෙයිමාන් අල්-ඔබීඩ් නමැති ‘පලස්තීනයේ පේලේ’ගේ සමුගැනීම. අඳුරුම කාලයේ පවා ගණන් කළ නොහැකි තරම් ළමයින් සංඛ්‍යාවකට බලාපොරොත්තුව ලබා දුන් සහජ දක්ෂතාවක්” යනුවෙන් යුරෝපීය පාපන්දු පාලක සංගමය X වේදිකාවේ පෝස්ටුවක සටහන් කර තිබුනා.
එම පෝස්ටුවට සලා මෙසේ ප්‍රතිචාර දැක්වූවා: “එයා මිය ගියේ කොහොමද, කොහේද සහ ඇයි ද කියා අපට කියන්න ඔබට පුළුවන්ද?”
සෙනසුරාදා ඔහු කළ මේ ප්‍රකාශය මාර්ගගතව ඉක්මනින් ඉදිරියට ඇදී යමින් එදින රාත්‍රිය වන විට likes 840,000කට වැඩි ප්‍රමාණයක් ඊට ලැබී තිබුනා. 33 හැවිරිදි මොහමඩ් සලා ට මිලියන 19කට වැඩි X අනුගාමිකයන් සිටිනවා.
UEFA මෙතෙක් මේ පිළිබඳව ප්‍රසිද්ධියේ ප්‍රකාශයක් කර නැහැ. අල්-ඔබීඩ්ගේ මරණය පිළිබඳව සිය ශෝකය පළ කරමින් UEFA සභාපති Aleksandr Ceferin එවා තිබූ නිවේදනය පලස්තීන පාපන්දු සංගමය සමාජ මාධ්‍යයේ බෙදා හැර තිබෙනවා.
සිවු වතාවක් ම ප්‍රිමිය ලීගයේ වැඩිම ගෝල්ලාභියා බවට පත්ව සිටින මොහමඩ් සලා, ගාසා තීරයේ පැවැත්වෙන යුද්ධයට එරෙහිව ප්‍රසිද්ධියේ කතා කළ ලොව ඉහළම පිළිගැනීමක් තිබෙන පාපන්දු ක්‍රීඩකයන්ගෙන් කෙනෙක්.
මොහමඩ් සලා
වර්තමානයේ සියලුම එක්සත් ජාතීන්ගෙන් සාමාජිකයන්ගෙන් සියයට 75ක් ස්වෛරී පලස්තීන රාජ්‍යයක් පිළිගන්නා අතර එංගලන්තය, ප්‍රංශය හා කැනඩාව ඇතුළු තවත් රටවල් ද එසේම ක්‍රියා කිරීමේ සැලසුම් මෑතකදී නිවේදනය කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළ පලස්තීනය එක්සත් ජාතීන්ගේ මහා සභාවේ සාමාජික නොවන නිරීක්ෂක රටක් ලෙස තවමත් සිටින්නේ ඔවුන්ට පූර්ණ සාමාජිකත්වය ලබා දීම අමෙරිකාව විසින් දිගින් දිගටම අවහිර කරමින් සිටින නිසාවෙන්.
කෙසේ වෙතත්, පාපන්දු කණ්ඩායමක් වශයෙන් පලස්තීනය පාපන්දු ක්‍රීඩාවේ ගෝලීය පාලකයන් වන ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් පිළිගෙන තිබෙන්නේ 1998 වසරේ සිට. ඔවුන් පසුගිය ආසියානු කුසලාන තරගාවලියන් තුනට ම ක්‍රීඩා කර තිබුන ද, තවමත් ලෝක කුසලාන තරගාවලියකට සුදුසුකම් ලබාගෙන නැහැ.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com
සබැඳි පුවත් :
ගාසා තීරයේ ආහාර පෝලිමේ සිටි ‘පලස්තීන පේලේ’ ඊශ්‍රායල් ප්‍රහාරයෙන් මිය යයි




