WTC යනු “ප්‍රදර්ශන ආකෘතියක් ලෙස කෝලම් නටන මහත් අවුලක්” යනුවෙන් පරුෂ ලෙස තක්සේරු කරමිනුයි ක්‍රිකට් ක්‍රීඩාවේ බයිබලය වන විස්ඩන් සඟරාවේ කර්තෘ ලෝරන්ස් බූත් එම තරගාවලිය පිළිබඳව මේ වසරේ මුද්‍රණයේ ලියා තිබෙන්නේ.
“WTC හි වර්තමාන වේශය දෝෂ සහිත එකක් බව සැවොම දන්නවා” යනුවෙන් හිටපු එංගලන්ත නායක මයිකල් ඇතර්ටන් කියා තිබෙනවා.
දේශපාලන මතිමතාන්තර හේතුවෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රධානතම කණ්ඩායම් දෙකක් වන ඉන්දියාව හා පාකිස්තානය 2007 වසරේ සිට එකිනෙකාට එරෙහිව ටෙස්ට් ක්‍රීඩා නොකිරීම මේ ශූරතාවලියේ එක් මූලික ගැටළුවක් වී තිබෙනවා.

කණ්ඩායම් සියල්ලම එකිනෙකා සමග තරග කිරීම හෝ එක සමාන තරග ප්‍රමාණයක් ක්‍රීඩා කිරීම අවශ්‍ය නොවීමෙන් රටවල් නවයකින් සමන්විත ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය තවත් විකෘත කර තිබෙනවා.
අවසාන තරගයට සුදුසුකම් ලැබීමේ වසර දෙකක චක්‍රය තුළ තමන්ට ක්‍රීඩා කිරීමට අවශ්‍ය තරග සංඛ්‍යාව තීරණය කිරීමට සියලු රටවලට නිදහස තිබෙනවා. ලකුණු සටහනේ ස්ථාන ගණනය කරන්නේ කණ්ඩායම් දිනා ගත් ලකුණුවල ප්‍රතිශතය පදනම් කරගෙනයි.
එංගලන්තය ක්‍රීඩා කර තිබෙන ටෙස්ට් තරග 22 හා සැසැඳීමේදී දකුණු අප්‍රිකාව වර්තමාන චක්‍රයේ ක්‍රීඩා කර තිබෙන්නේ ටෙස්ට් තරග 12ක් පමණක් වන අතර මේ සියල්ලම තරග දෙකකින් සමන්විත තරගමාලාවන්. මීට අමතරව, දකුණු අප්‍රිකානුවන් එංගලන්තය හෝ ඔස්ට්‍රේලියාව සමග තරග කර නැහැ. 2024 වසර මුල නවසිලන්තය ට ගිය දකුණු අප්‍රිකානු පිල එහිදී පරාජය වුනා.
ටෙස්ට් තරග චක්‍රය වසර හතරක් දක්වා දෙගුණයකින් වැඩි කරමින් අවම වශයෙන් ටෙස්ට් තරග තුනක් තිබෙන තරගමාලාවන්ට කණ්ඩායම් එකිනෙකා සමග ඔවුන්ගේ රටේ හා ඉන් පිටත තරග කළ යුතු බව විස්ඩන් කතුවරයා ප්‍රකාශ කරනවා.
සාර්ථකව ක්‍රියාත්මක කළ හැකි ආකෘතියක් සැකසීම දුෂ්කර බව WTC ලකුණු ක්‍රමවේදය සැලසුම් කරන එක් පුද්ගලයෙක් කියනවා.
“සියලු දෙනාම සතුටු වන ආකාරයේ විසඳුමකට ඒම අමාරුයි. විශේෂයෙන් ඉන්දියා - පාකිස්තාන තත්ත්වය වැනි බාධක හමුවේ මෙය හරිම අසීරු කාරණාවක්” යනුවෙන් ඔහු පවසනවා.

නවසිලන්තය 2021 වසරේ පැවති මංගල ලෝක ටෙස්ට් ශූරතාවලිය ජයග්‍රහණය කළ අවස්ථාවේදී එය සතුටින් පිළිගැනුනේ ජනප්‍රිය කණ්ඩායමකට දීර්ඝ කාලයක් තිස්සේ නොලැබී තිබූ ගෝලීය ජයග්‍රහණයක් වශයෙන්.
එම අවසන් තරගයට සුදුසුකම් ලැබීමට ඔස්ට්‍රේලියාව අසමත් වීම නායක පැට් කමින්ස් විසින් ලේබල් කළේ, “අහිමිව ගිය ලොකු අවස්ථාවක්” ලෙසින්. කෙසේ වෙතත් ඔස්ට්‍රේලියානු නායකයා මීට වසර දෙකකට ඉහත පැවති අවසාන තරගයේදී ඒ වරද නිවැරදි කිරීමට සමත් වුනා.
2021 හා 2023 යන වසර දෙකේදී ම ඉන්දියාව ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් තරගයට පිවිසීමෙන් (එහිදී ඉන්දියාව පරාජයට පත්වුනා) පෙන්නුම් කළේ විස්සයි20 ක්‍රිකට් ක්‍රීඩාවට විශාල බලපෑමක් කරන ලෝක ක්‍රිකට් ආර්ථික බලවතා තුළ පස්දින ක්‍රිකට් ක්‍රීඩාවට තවමත් ඉඩ තිබෙන බව.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම සමග පසුගිය සතියේ ඉන්දියා ප්‍රිමිය ලීග් ශූරතාව හිමිකර ගැනීමෙන් පසුව හිටපු ඉන්දියා නායක විරාට් කෝලි, ක්‍රිකට් ක්‍රීඩාවේ සියලු ආකෘතින්වල ඉහළින්ම තිබෙන්නේ ටෙස්ට් ක්‍රීඩාව බව ප්‍රකාශ කළා. “ඔබට සමස්ත ලෝක ක්‍රිකට් ක්‍රීඩාවේ ගෞරවය දිනා ගැනීමට අවශ්‍ය නම්, ටෙස්ට් ක්‍රීඩාව තෝරාගෙන එයට ඔබේ හදවත සහ ආත්මය ලබා දෙන්න” යනුවෙන් කෝලි කීවා.
එහෙත් එම ඉලක්කයට යාමට WTC උදව් කරනවා ද, එසේත් නැත්නම් බාධා කරනවා ද යන්නයි ක්‍රිකට් ක්‍රීඩාවේ බලවතුන් හමුවේ තිබෙන අපහසු ප්‍රශ්නය.
(සටහන | වර්නන් ගුණසේකර)
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී
gunasekera33@gmail.com



