දකුණු දිශාව ගැන අතීත පවත පවසන දෑ සොයා බලන විට ඒ සමග බැදුණු වෙනම මානයක් හමුවේ. ඇත්තටම රටේ දිශාව දකුණට ගෙන දකුණු පලාත
තැනී ඇත්තේය. ඒ වගේම දකුණු දහරාව ලෙස මතවාදී දහරාවක් ද දකුණු හෙවත් දක්ෂිණාංශ බලවේග ලෙස දේශපාලන බලවේග විදිහට මේ දකුණ ගලායන්නේය. එයට දකුණු ඉවුරේ සිනමාවද දකුණු දිග බුදු දහමද ලෙස දිගට ඇදී ගිය කථාවක් තිබේ. මේ දකුණ වඩාත් ප්‍රබල වන්නේ බුදුන් වහන්සේගේ දකුණු දන්ත ධාතුව මෙරට ජාතික පූජා වස්තුව බවට පත්වීමෙනි.
ඒ කථාව තවත් දිගු පූජනීය කථාවක් වන්නේ සංඝමිත්තා මහ රහත් උත්තමාවිය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව මෙරටට වැඩමවාගෙන ඒමත් නිසාය. එතකොට කවුරුත් නොසිතන මේ දකුණට නැමුනු කථාව කුමක්ද? ලක් වැසියාගේ බහුතරය හැමවිටම දකුණට නැමී ඇත්තේ කිමද? ආගමික, ජාතික, දේශපාලනික පමණක් නොව මතවාදී හා දාර්ශනික තලයේ ද දකුණ මෙතරම් ප්‍රබලව ඇත්තේ කිමද?
කොටින්ම සිරිලක බොදුනුවන් උතුරු දළදා වහන්සේට වඩා වෙනස් ලෙස දකුණු දළදා වහන්සේ දකින්නේය. උතුරු දිග බුදුසමය වෙනුවට දකුණු දිග බුදු සමය අගයන්නෙය. වම් ඉවුරේ සිනමාවට වඩා දකුණු ඉවුරේ සිනමාව ට ළබැදිය. වමේ දේශපාලනයට වඩා දකුණේ දේශපාලනයට කැමතිය. ඒ ලංකාව භාරතයට දකුණු දිගින් පිහිටි නිසාද? සමකයට දකුණින් පිහිටි නිසාද? මේ දකුණු කථාව මනෝ රාජික බෙදීමක්ම නොව සොබා දහමින් සිරිලක උරුම කරගත් දෙයක්ද? මේ විදිහට අලුත් පැනයක් ලංකා දූපතේ ඉතිහාසයට එකතු වන්නේ ‘දකුණු ඉවුර’ නිසාය.
කොටින්ම කීවොත් උතුරු දිගින් දකුණු දිගට විත් විජය කුමරු සිරිලකට පා තැබුවේය. ඔහු තම නාවික සිංහ සගයන්ට කීවේ දකුණට යාත්‍රා කරන මෙන්ය. පුදුමය නිනව්වක් තබා ඉලක්කයක්වත් නැතිව සයුරේ අතරමංව සිටි මේ සිංහ කුමරුට දකුණට යාත්‍රා කිරීමෙන් සිරිලක හමුවීමය. එලෙස සිරිලකට පා තැබූ ඔහු මේ රටේ පළමු රාජකීය නුවර බැන්දේද දකුණට මුහුණ තබාය. ඒ තම්මැන්නා නුවරය. තම්මැන්නා නුවරට මුල් ගල තිබ්බේ කොලොම් නදිය අසබඩය. ඒ කොලොම් නදියේ දකුණු ඉවුරේය. කොලොම් නදියේ වම් ඉවුර අතැර දකුණු ඉවුර තම ජාතික වංශයේ ඇරඹුමට ඔහු යොදා ගත්තේ මන්ද? ඉතිහාසය මහත් උවමනාවෙන් එය ලියා තබන්නේය. මහා වංශයෙහි නැති තතුවක් මහාවංශයට අදාලව හමුවන ඓතිහාසික කෘතිය දීපවංශය ය. එබැවින් මහාවංශයට ආලෝකය දුන් හිඩැස පූර්ණ කල පොතක් සේ දීපවංශය සමාන්තරව බැලිය යුතුය. දීපවංශයේ 9 වන පරිච්ජේදයේ 34 - 35 වන පැදියෙන් එය මෙසේ ලියා ඇත්තේය.
තම්බපණ්ණී දක්ඛිණතො නදීතීරෙවරුත්තමෙ
විජයෙන මාපිතං නගරං සමන්තාපුටහෙදනං
විජය කුමරු දකුණු ඉවුර සුභ බිම ලෙස සලකා ඇරඹි ගමන තවමත් ගලන්නේය. එදා විජය පටන් ගත් දකුණු ඉවුරේ ගමන නිසා ඔහු මිතුරු උපතිස්ස සිරිලක දෙවන නගරය උපතිස්ස නුවර තැනුවේද දකුණු ඉවුරේය. කොලොම්තොට නදීයේ පහලට ඇවිත් අනුරාධ කුමරු අනුරාධපුර බදින්නේද දකුණු ඉවුරේය. එතකොට සිතෙන්නේ උපතිස්ස ගම්භිර නදිය දකුණු ඉවුරෙත්, අනුරාධ මල්වතු නදිය දකුණු ඉවුරෙත් තම නුවරවල් බැන්දේ මන්ද කියාය. එහෙම හදවතට නැගෙන ප්‍රශ්නාර්ථයට උත්තරය හමුවන්නේ ඒ දකුණු ඉවුරේම බැන්ද උපතිස්ස නුවර තම්මැන්නා නුවරට පසු අගනුවර වීමෙනි. ඒ වගේම මල්වතු නදී දකුණු ඉවුරේ බැදුනු අනුර නුවර රටේ අසහය අගනුවරත් වූ සැටියෙන්ය.කථාව දිගු වන්නේ පඩුවස්නුවර බැන්දෙත් ඒ විදිහට දකුණු දිශාගත වීම නිසාය. එතකොට දකුණට වූ සිරිලක් නැමියාව දිශාවට වූ බැදීමක්ද. නැතහොත් හුදු අහම්බයක් සම්ප්‍රදායක් වීමක්ද? හුදු අහම්බයක් මේ තරම් ප්‍රබලව ගලා ඒමට හැකිද?
ඒත් පුදුමය වන්නේ ලංකාවේ දකුණු දිශාව හෙවත් දකුණු පලාත ඉතිහාසයේ සිටම වමට බරව තිබුන සැටිය. පිහිටියේ දකුණේ වූවද දකුණ හැමවිටම දේශපාලනිකව වමට බරය. එය අතීතයේත් එසේමය. දක්ෂිණ දේශපාලනයට එරෙහිව රාජකීය යුගයේත් වාමවාදී රජුන් තනන්නට පෙරමුණ ගත්තේය.
දකුණු දිග බුදු දහමට එරෙහිව උතුරු දිග බුදු දහම හෙවත් මහායානයට බර තැබුවේය. දකුණු දළදාවට වඩා වාම දළදාවට නැමී ගියේය.
දකුණු පලාත වමට හෙවත් උතුරට එරෙහි වූයේ ජාතික ගැටුමකදී පමණය. උතුරු රාජ්‍යය පරදන්නට හැමවිට පෙරමුණට එන්නේ දකුණු රාජ්‍යයයි .ඒත් මෙතරම් පුදුම දකුණට කිසි කලෙක අගනුවර තම පලාතේ බදවාගන්නට බැරි වීමය. දකුණු ඉවුරින් ඇරඹි සිංහල රාජධානිය එසේ දකුණුට ගෙන එන්නට මාන බැලූ දුටුගැමුණුත් මහින්ද රාජපක්ෂත් යන දෙදෙනාට මාගම අගනුවර කර තබන්න තබා එය විකල්ප නුවරක් වත් කර තබා යන්නට බැරි වන්නේය. ඒ දෙන්නාට බැරි වූ දෙය තව කාටත් කරන්නටත් බැරිය. දකුණේ මිනිස්සු රටේ මතය අල්ලාගෙන ඇත්තේය. සසුන අල්ලාගෙන ඇත්තේය. ව්‍යාපාර අල්ලාගෙන ඇත්තේය.ඒ වගේම රාජ්‍යය අල්ලාගෙන ඇත්තේය. ඒත් අගනුවර ගෙන්නා ගෙන නම් නැත්තේය.එහෙම බැලුවම දකුණට බැදී ඇති මේ පුදුමය කුමක්ද?
විද්‍යාවට නොපෙනන පුරාවිද්‍යාවට එනිසා හසුනොවන ඉතිහාසයට අයත් පුදුම පාදම් ඇත්තේ ඒකය. මේවා අහඹු අහේතුක දෑ ලෙස පැත්තකට දමා මේ රටේ ඉතිහාසය සොයන්නට බැරිය. කොටින්ම කීවොත් සකල සිංහලයන් එකට එකතු කොට රජ වූ පණ්ඩුකාභය අභය වැව දකුණු ඉවුරේ ම තම රජ මැදුර බැන්දේත් ඒකය. එතකොට දකුණු ඉවුර හා බැදිච්ච රහස කුමක්ද? පණ්ඩුකාභය පටන් දන්නා හැම රජෙකුම දකුණට දිශාව තබා රජ ගෙවල් තැනුවේය . නදිය නැති තැන ඉවුරක් නැත. ඉතින් ඉවුරක් නැති තැන මුහුණතේ දිශාව දකුණ දැයි බලා තම රජ මැදුර තනන්නට මුල් වන්නේ ඒකය.
මේ දකුණු කථාව ගෞතම තථාගතයන්ගේ ලංකාගමනයටද බැදී ඇති විට කථාව තවත් ගැඹුරක් ඇති රසාලිප්තයකි.ගෞතමයන් වහන්සේ නදියක් ඇති තැන් දෙකකටම වැඩම කර ඇත්තේය. ඒ කැළණියට සහ මහියංගණයට ය.ඒ දෙවරම උන්වහන්සේ පළමු පියවර තැබුවේ වම් ඉවුරෙහි නොව දකුණු ඉවුරේය. කැළණි නදියේ දකුණු ඉවුරට වැඩමවාලූ උන්වහන්සේ මහියංගණයට වැඩියේ මහවැලි නදියේ දකුණු ඉවුරටමය. ඉවුරත් නුවරත් දකුණු දිශා ගත නම් එය සුභ වන්නේ කිමද? භාරතයෙන් ශ්‍රි මහා බෝධියේ දකුණු ශාඛාව ගෙන්වාගෙන එය තාවමත් ලොව පුරාණතම ජීවමාන රුක සේ රැකගෙන ඇත්තේ කෙසේද? දකුණු දළදාව මෙතරම් විශ්මාන්විතව සංස්කෘතික ගත කර ගෙන ඇත්තේ කවර ලෙසද? දකුණු බුදු දහම හෙවත් ථෙරවාදය මෙතරම්ම බලවත්ව ඇත්තේ කිමද?
කොටින්ම දක්ෂිණවාදී එක්සත් ජාතික පක්ෂය මෙතරම් බලගතු වන්නේ මොන හේතුවක් නිසාද? කොටින්ම දකුණු පලාත මෙතරම් ප්‍රබල මොකද? මේ “ දකුණු ඉවුර ” විසින් ඉතිහාස පරීක්ෂණාගාරයට එවා ඇති ප්‍රශ්නය ය. ඉතිහාසය විද්‍යාවෙන්, පුරාවිද්‍යාවෙන්, පොතින් පතින් ජන අන්දර විත්ති වලින් මැන බලන කාටත් මේ මැනීම හමුවන්නේ නැත. මේ මැන බැලීම නැතිව ඉතිහාසය තේරුම් ගන්නවත් බැරිය. තේරුම් ගන්නට බැරුවා වගේම ඉනිහාසය යළි නිර්මාණය කිරීම හෙවත් ශිෂ්ඨාචාරයේ ඉදිරි දිගහැරුමද කළ නොහැකිය. වම පැරදී දකුණ දිනා මේ කියන්නේ ඒකය. ඒත් දිනපු දකුණත් ජාතික දිනුමේ දිගුවක් වන්නේ මේ දකුණු ඉවුර ඉතිහාසගත පද අරුතෙන් තේරුම් ගත් විටය.
දකුණු අත නුවරත්, දකුණු අත මාලිගාවත්,දකුණු අත වැවත්, විලත්,වෙහෙරත් තනා දකුණු බුදු සමයත් තනාගෙන දකුණු දේශපාලනයෙන් ලක දකුණෙන් තනාගත් මේ කථාව සොයා බැලීමට තරම් වටින්නේ ඒකය.ඒත් පුදුමය පුදුමෙන් පුදුමයක් කර තබන්නේ දකුණින් තැනුනු පලාතය. දකුණු පලාතේදී දකුණු හැමදේම පහලට තබා ඇත්තේය.
ඒ නිසා සියල්ල අතරින් දකුණ පෙරමුනේ තැබූ සිරිලක් වැසියන් දකුණු භාරතයට මනාප නැත. උතුරු භාරතයට මනාපය. ඒ දකුණු ඉවුරින් පටන් ගත් විජය උතුරු භාරතයෙන් පැමිණි උත්තර කුමාරයා නිසාද? ඒ උත්තර කුමරු දකුණු තාලය තනා ගත් නිසාද? ඒ තාලය විටින් විට ඇවිත් දක්ෂිණ භාරතියන් කැරලි ගසා අවුල් වියවුල් තනා ගිය නිසාද? දකුණු ඉවුර උතුරු ඉවුර දෙස බලාගෙන කියන්නේ මේ කථාවද?. මෙය ඇසිය යුත්තේ ඉතිහාසයෙන්මය. සෙවිය හැක්කේ දකුණු ඉවූරේදිමය.

(සුජිත් අක්කරවත්ත)
දේශපාලන හා සමාජ විශේලේෂක
කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.