ලංකා ඉතිහාසයේ දිර්ඝ කථාව අසන කිසිවෙක් ඇයට සවන් දී නැත. දන්නා කවරෙක් වුව ද ඈ ගැන කථාවට රුචියක් දක්වන බවක් ද නොපෙනේ. මේ නිහඬ බව නොදන්නාකම ද?. නොවේ නම් යටපත් කර දැමීම සඳහා කරන නිහඞ බව ද?
අපේකම ලෙස හදාරන විෂය ලෙස ඉතිහාසය හඳුනාගත් වරද නිසාම මෙසේ ද වනවා විය හැකි ය. එසේත් නැතිනම් විෂය නිර්දේශ ශාස්ත්‍රාලීයන්,ආගමිකයන් හා වාර්ගිකයන්ටම ඉතිහාසය කියවන්නට විවරණ කරගන්නටම දී ඒවා අහගෙන සිටීම “ඉතිහාසය” යැයි සිතීම ද මේ සඳහා හේතුවී ඇතැයි සිතේ.
කෙසේ කොහොම නමුත් බහුවර්ණ අනුරාධපුර රාජ්‍යය සියළු භාව එකම තලයකට ඔසවන විට මේ අමුතුම තලේ ස්ත්‍රියක් ඔසවා තැබූවේ මන්ද යන්න සොයා බලන්නට වටිනා කරුණකි. ඒ අර්ථයෙන් පමණක් නොව, පච්චිම රාජනිය වැදගත් වන්නේ, ඇය ස්ත්‍රී නිමිති රූපයෙන් නෙලන්නට පණ්ඩුකාභය රජුගේ සාර දර්ශනයට හේතු වන්නට බලපෑ හේතුව සොයා ගැනීම ය. එසේ ඇය සොයන පදනම බැලීම එකී යුගයේ පිළිබිඹුව හමුවීමක් වන නිසා අතිශයන්ම වැදගත්වේ.
පච්චිම රාජිනී ස්ත්‍රී නිමිති පිළිරුව අනුරාධපුර නගරයේ අහස විනිවිද ගිය විශාලම මූර්තිය ලෙස දැක්වේ. මෙම මූර්තියට පසුකාලීනව සිදුවූ දේ තවමත් අභිරහසකි. මුල් ඉතිහාස ග්‍රන්ථ සියල්ල මෙම තතු විත්තිය ලේඛණ තබා ඇති අතර, ස්ත්‍රී නිමිති මූර්තිය සොයන්න කිසිදු පුරා විද්‍යා පර්යේෂණයක් සිදුවී නැත.
එසේ පර්යේෂණ තබා පච්චිම රාජිනී නමින් ගෞරව බහුමාන ලත් ස්ත්‍රී නිමිති මහා මූර්තියක් අනුරාධපුර නගරය පිහිටුවාලීමේදී නගරවාසී වූ බවට දැකීමක් ද අප සතු නොවේ.
Prasanna Weerakkody- Paintings
මේ පළමු ප්‍රශ්ණයට උත්තර සොයා ගන්නට ඉතිහාසය කිමිදා ආපසු යා යුතුය. එය ලක්දිව වසන් කර දැමූ ස්ත්‍රී වංශයන් ගණනාවකගේම තතු පුවත් නූතන අපට විවෘත කරන පර්යේෂණ කවුළුවකි. එසේ නම් ඇත්තටම පණ්ඩුකාභය රජතුමා තමන් අත්දුටු බහුවර්ණ බහුත්ව පූර්ණ දේශපාලන නගරයේ කේන්ද්‍රයට ස්ත්‍රී නිමිති මූර්තියක් මූලික කර ගන්නේ මන්ද?. මේ පැනයට උත්තර සොයන්න දරන වෑයම වහා ඉතිහාස කතිකාවට කැන්දා ගත යුතුවේ. එසේ කැන්දා ගත යුත්තේ පච්චිම රාජිනී නිමිති මූර්තිය සමඟ යටපත්ව ඇත්තේ ලාංකික පොළොවේ ස්ත්‍රී කතාංගය හෙවත් ස්ත්‍රී අන්දරය විය හැකි නිසා ය.
පච්චිම රාජිනිය නමින් නම් කල ඇයට මහාවංශය සහ දීපවංශය තවත් අතුරු නමක් පටබැද ලියා තබා ඇත. එනම් “බටහිර වනිතාව” හෙවත් “බටහිර රාජනිය” යන නාමයයි. අනික පච්චිම රාජිනිය හෙවත් බටහිර වනිතාව නොඑසේනම් බටහිර රාජිනී ස්ත්‍රී නිමිති රුවෙන් නෙලා තැබුවේ ද අනුරාධපුර නගරයේ බටහිර දිශාගතව ය. එවිට මේ බටහිර කථාව කුමක් ද? ඇගේ රූ මූර්තිය බටහිර ද්වාරයේ හෙවත් අනුරාධපුරය බටහිර දිශාගතව තබන්න බලපාන හේතුව කවරක් ද?
මෙවන් ප්‍රශ්ණ ගණනාවක් සමඟ පච්චිම රාජිනිය ඉතිහාසයේ නොපෙනෙන්නට වල දමා ඇත්තේ ය. ඇය ගොඩ ගන්න යත්න දරණ වෑයමට ස්ත්‍රීවාදීන්වත් අත තබා නැත. පණ්ඩුකාභය රාජ්‍ය උදානයට බලපෑ සමාජ බලවේග නියෝජනය කලේ පියවි සොබා වාදය සහ විවෘත භාව නිදහස් වාදය බව සමකාලීන යුග අන්දරය විමසා බලන විට පෙනේ. එවිට එම බහු සොබා පියවි උදානයට බලපෑ යුග කාරක චරිතය පච්චිම රාජිනිය ද?

එසේ නම් ලාංකිකයන් බටහිර ගෝලයේ ග්‍රීකයන්ගෙන් හදුනාගත් මව් මූලයේ මුල ලෙස ඇයට ගෞරව කලේ ද?. එසේත් නැතිනම් ලක් පොළොවේ ස්ත්‍රිය බටහිර යවනයන් සමඟ යා කල නිර්භීත මහා ගැහැණිය ලෙස පච්චිම රාජනිය “බටහිර රාජිනිය” සේ අරුත් ගන්වා ගත්තා ද විය හැකි ය.
මේ සියළු ප්‍රශ්ණ ඉතිරි කර ඇත්තේ වර්තමානික අපට ඇය සොයා යන්න බල කරමිනි. සැබවින්ම ලංකාවේ නූතන ඉතිහාස කථාව හා පුරා විද්‍යාව පටන් ගත්දා සිට සිදු වූ අත් වැරදීමක් වේ. එනම් පිටමං කර ඇති ඉතිහාසයක් වසන් කර තැබීමකි. මේ පිටමං කර ඇති ගැහැණිය එසේ නම් කවර ගැහැණිය ද?
ලංකාවේ වංශ කථාව සහ ජන කථාව හෙවත් ලිඛිත ඉතිහාසය හා අලිඛිත ඉතිහාසය දෙකෙහිම ජීවත් වන පච්චිම රාජිණිය ගැන ඇති තතු සොයා නිරන්තර පර්යේෂණක නිරත වීමි. එම ඇති තතු ප්‍රකට ලේඛණ වලට තබා යෑමේ උත්සාහයක නිරත වීම මාගේ වෑයමයි. එම වෑයම විසින් මතු දිනෙක ලක් පොළව ගැබ මිහිදන්ව ඇති ලංකාවේ මව් මූල ඥාණ කලාපයේ මහා ස්ත්‍රිය හමුවිය හැකි ය. එහි ප්‍රථම පියවර විය හැක්කේ ලක් සමාජයේ වාර්ගික විභේදන ඉර මැකී යාම ය. මේ නිසාම ඉතිහාසය විෂය මෙහෙයවන බොහෝ වාර්ගික චින්තකයන් පච්චිම රාජිනිය සමාජගත වීමට බියක් දක්වන බව පෙනේ. එයම ඇය නොදන්නා “ඇය” වීමට හේතුව වී ඇත්තේ ය.
පච්චිම රාජනියගේ සිට කුවේණිය දක්වා ද, ඇගේ සිට ස්වර්ණමාලිය සේම සීගිරි කාශ්‍යප රජුගේ මව පයෝදර දේවිය දක්වා වූ ඥාණ කලාපයන් ඇහැරවන්නට හැක්කේ පච්චිම රාජනිය සොයා යෑමෙන් ය. ඇගේ මූර්තිය ගැන ඇති ජන පුවත් සියල්ල ඇගේ මූර්තිය කැන සොයා ගන්නට අපට ඇති තරම් තතු ශේෂ කර ඇත. ඒ ශේෂයන්වලට පණ දෙන්නට හැකි නම් ඇගේ මූර්තිය ලංකාවේ පොළොව තුලම ඇති බවට වන අනුමානය ස්ථිර කර ගත හැකි ය.
තාරාදේවි, පිළිරුව පිළිබඳව මෙවැනි අවිනිශ්චිතව තිබූ තත්වය පියමං වූයේ එලෙසිනි. එය බ්‍රිතාන්‍ය කෞතුකාගාරයට ගොස් එහි ප්‍රදර්ශන භාණ්ඩයක් වන තුරුම අප කවුරුත් සිතුවේ “තාරාදේවි” පිළිරුව යනු මිත්‍යා මතයක් බව ය. ප්‍රශ්ණය වන්නේ පච්චිම රාජිනි නමින් මව් මූල ස්ත්‍රී නගර රාජනිය අපගේ අනුරාධපුර අග නගරයෙහි මූල මූර්තිය ලෙස තිබූ බවත් අප තවමත් නොදන්නා තරමට ඇය ඉතිහාසයේ පළිගැනීමට ලක් වූයේ මන්ද යන්න ය.

දේශපාලන හා සමාජ විශේලේෂක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.
වායාම :ලේඛකයාගේ වෙනත් ලිපි