ශ්‍රී ලාංකිකයන් තුල බුදු සමයෙහි රාජ්‍ය උපත සිදුවන්නේ මිහිඳු මහ රහතන් වහන්සේගේ ආගමනය වූ දවසය. එ දවස ලක්දිව වැසියාට අභිමුව වන්නේ අඹ ගැන ප්‍රශ්ණයකි.
අඹ ගස මුල් කරගෙන තමන් වහන්සේගේ ප්‍රථම ආමන්ත්‍රණය ලාංකික පාලකයා වූ දෙවනපෑතිස්ස රජුට දේශනා කරන්න මිහිඳු මහ රහතුන් වහන්සේ කටයුතු කල බව සියල්ල දන්නා ශාසනික හා ඓතිහාසික වාර්තාවකි. ඒත් කවුරුත් වසාගෙන සිටින කථාවක් මේ මිහිඳු මහරහතුන්ගේ අඹ පැනයට බැඳී ඇතැයි නොදන්නේය.
ඒ නොදන්නා කථාවට හැරී බලන්න අවශ්‍ය වන්නේ වසාගත් කථාවක් එළියට ගැනීමටම නොවේ. වැසී ඇති කථාව මහ මිහිඳු රහතන් වහන්සේගේ වටින බවත්, එම මොහොතට අදාල ලාංකික ඉතිහාසයේ සජීවීම විදිය වටහා ගන්නටත් මුල් වන බැවිණි. එසේ නම් මේ අඹයේ කථාව කුමක්ද. මිහිඳු හිමියන් අඹ පැනයෙන් ලාංකික රජතුමා ප්‍රශ්ණ කළේ මන්ද. එය රජුගේ බුද්ධි ප්‍රභාව මැන බැලූ විධික්‍රමයක් බව සැබෑවය. නමුත් ඒ සඳහා අඹ, පාදක කර ගන්නේ මන්ද.
මිහිඳු මහ රහතන් වහන්සේගේ අඹ පැනය මතු වන විට අඹයක් නිසා ශ්‍රී ලාංකික දේශය දරුණු දෙදරීමකට ලක්ව තිබුණේය. ඒ වන විට රටේ කථිකාවේද රස කථාවක් මෙන්ම ඕපදූප රහස් කථා ගණයට වැටී තිබූ සිදුවීම් ගණනාවක උපතවී තිබුණේ අඹයකට අදාලවය. අඹයක් මුල්වී කථා ගෙතෙන විට එය සමාජීය දේශපාලන හා ජාත්‍යන්තර කුමන්ත්‍රණ හා ජාතික ආරක්ෂාවේ සිට ලාංකික විෂ කතුන්ගේ ඉතිහාසයද එක පෙළට එළියට එන කථා ගොන්නක තේමාව වන්නේය.
මේ සියල්ල එක විට අඹයක් හරහා සංකේත වී තිබුණි. ඉතින් අඹ පැනයක් ලංකාවේ රජ අමතා මිහිඳු හිමියන් සිදු කරන විට එම ඇමතීම ලාංකිකයන්ට කළ ආමන්ත්‍රණයක් වූයේ අපූරු ලෙසය. අඹ, කොහොමත් ලක් පොළවේ ජනප්‍රිය පළතුරුය. ලාංකීයන් භාව බැඳීම් අරභයා දෙන හොඳම බැඳීමට දෙන නමද “අඹ යාළුවා “යන්නය. අඹ යාළුවා නමින් ස්වීය පුරුෂ මිත්‍රත්ව බැඳීම අර්ථ ගන්වයි. අඹ මෙතරම් ආත්ම කාරක සංකේතයක්සේ සිංහල භාව හැගීම් වලට එකතු කර ඇත.
පසු කාලීනව ටී.බී.ඉලංගරත්නයන් “අඹ යාළුවෝ” නව කථාව ලියන්නේ මේ භාව තේමාවෙන් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ “මඩොල් දූව” කෘතිය අභිභවන තානය සොයා ගනීමිනි. මෑත මෙම උදාහරණය සමඟ යලි අතීතයට යමින් අඹ පැනයේ කථාවට හැරිය යුතුය.
තනේගල කුමරු, හෙවත් මුටසීව රජතුමාගේ ලොකු පුත්‍රයා රාජ්‍යය අතහැර පිටමං වීමෙන් සිංහල රජ සිරිත නව ක්‍රමයකට පරිවර්තනය විය. එනම් පියාගෙන් දෙටු පුත්‍රයාට හිමිව තිබූ රජකමේ සම්ප්‍රදාය පියාගේ දෙවන පුත්‍රයා ළගට ගමන් කිරීමය. ඒ අනුව යලි පියාගෙන් පුතාට රජකම යාම වලක්වා ගත හොත් තමන්ගේ සැමියන්ට රජකම හිමිවන බවට සිහිනයක් රාජ පුත්‍රයන්ගේ බිසෝවරුන්ට පෙනී ගියේය. ඒ අනුව දෙවන පෑතිස් මහ රජ පදවිය ලබන විට මුටසීව රජුගේ තුන්වන පුත්‍රයා වූ මහානාග යුව රජ පදවි ලබා තිබුනි.
ඔහුගේ බිසවට තිබුනේ මහරජ දෙවන පෑතිස්ගේ දරුවෙකුට රජකම යලි යෑම වලක්වා ගැනීමය. ඒ වගේම මුටසීවගේ අනෙක් දරුවන්ගේ බිසෝවරුද බැලුවේ මහනාග මරා දැමුවහොත් තම සැමියන් රජකර ගත හැකි බවය. මේ බිසෝ කුමන්ත්‍රණය අවසානයේ පැමිණෙන්නේ විෂ අඹයක් හරහාය. ඒ අනුව වලස් වැව හදන උත්සවය දා රාජකීයයන් අතරට විෂ යෙදු අඹයක් හරහා ඝාතන කුමන්ත්‍රණයක් පැමිණේ. එහි ප්‍රතිඵලය වන්නේ දෙවනපෑතිස් රජුගේ පුත්‍රයා එහි ගොදුරක් වීමය. එය රටම අඹයක් නිසා කැළඹී ගිය සිදුවීමය.රජ පවුල දෙදරා යයි. මහානාග රජුන් පලා යයි. අඹ කථාව ලංකාවේ කථාව වන්නේ ඔය විදියටය.
ඒත් මේ අඹය මහානාග යුව රජුගේ බිසවුන්ගේ සැලසුමක්ද?. නොවේ නම් දෙවනපෑතිස් රජුගේ සහෝදරයන්ගේ බිසෝවරු සියල්ල එක්ව රජකම තමන් සතු කර ගැනීම සඳහා රජ පුතුන් මැරීමට කළ කතිකාවතක ප්‍රථිඵලයක්ද. එසේ නොවේ නම් නැග එමින් තිබූ අනුරාධපුර රාජ්‍යය දුර්වල කිරීමේ කලාපීය භූ දේශපාලන චරපුරුෂයන්ගේ යටිබිම් ගත සැලසුමක්ද. ක්‍රි.පු. 228 දී මෙම සිදුවීම සිදුවන විට ලෝකය හා කලාපය තුල සිදුවූ නව වෙනස්කම් සමඟ මේ අඹයේ කථාව පාදක කරගෙන කිසිවෙක් ඉතිහාසයේ පර්යේෂණයකට එළඹ නැත. විෂ අඹයක් යොදාගෙන මේ සිදුවන සිදුවීම ඉතා සවිස්තරව මහාවංශය සහ දීපවංශය යන කෘති දෙකම ලියා තබා ඇත. නමුත් එය මතුපිටට නෑවිත් එම ග්‍රන්ථ තුලම සැඟවී තිබේ.
මතුපිටට ආ තැනදී දැනී ඇත්තේ හුදකළා රජ ගෙදර විෂ කතුන්ගේ චපල කටයුත්තක් සේය. කොහොමත් මිහිඳු හාමුදුරුවන් වහන්සේගේ අඹ ප්‍රශ්ණය නිසා මේ “අඹ පැනය” යටපත් වී ගොස් තිබේ. දැන් සෙවිය යුත්තේ අඹයක් එකවිට ශිෂ්ඨාචාරයක් වෙනස් කළ අරුමයෙහි සැබෑව කුමක්ද කියාය.
මෙම සිදුවීමෙන් ලංකාවේ දේශපාලනය යලි මහාවංශික චූලවංශික භේදයට පසු කාලයේ ගොදුරුවේ. ඒ කියන්නේ පණ්ඩුකාභය රජතුමා විසින් සහමුලින්ම නිරුත්තර කර තිබූ චූල වංශ - මහාවංශ විභේදනය දෙවනපෑතිස් - මහානාග දෙපළ අතර ඇතිවූ විෂ අඹයේ ඛේදාන්තයෙන් යළි සක්‍රීය වීමට පටන් ගත්තේය. මිහිඳු මහරහතුන් වහන්සේ එම අඹ මතකයම ගෙන අඹ පැනයක් සහිතව ධර්ම ආනන්දය ලංකාවට රැගෙන ආවේය. එමඟින් මේ දරුණු දේශපාලන පිපිරුම යටපත් වුවද පාදමේ එය චූල මහා වංශ ගැටුම යලි තීව්ර කිරිමේ තේමා නිමිත්ත වී ඇති බව පෙනේ .
මේ “විෂ අඹය” මගධ මෞර්ය චරපුරුෂයන්ගේ මෙහෙයුමක්ද. නොවේ නම් වෙනස් පාර්ශවීය මෙහවීමක් ද. ඒ වන විටත් ලක්දිව රාජකීය අගබිසෝ මණ්ඩලයේ වියවුලක් නිර්මාණය වී තිබුණි. කුවේණි රැජින මධුරා බිසවට එරෙහිව පාරට බැස ගියේය. ඉන් පසු මුටසීව රජුගේ පයෝධර දේවී මහ බිසවුන් වහන්සේ තම පුතු තනේගල කුමරුන් සමඟ රාජ්‍යයෙන් පිටමංව ගොස් ඇත. මේවා ආත්මීය ගැටුම් ලෙස පෙනුනද මේවා යට ගිහිදැල් ලෙස දේශපාලනිකත්වයේ චර පුරුෂ මෙහෙයුම් තිබූ බව වටහා ගත යුතුය.
එමෙන්ම පණ්ඩුකාභය රජතුමා බිහිකළ බහුත්වයට එරෙහිව දේශීය යක්ෂ රාක්ෂ නාග දේව සිංහ අන්තයේ උපායන්ද මෙම විෂ අඹය හරහා රාජකීයන්ගේ අඹ මංජුසාව දක්වා විෂ රැගෙන ආවාද විය හැකිය. කෙනෙකුට ඇතිවිය හැකි ප්‍රශ්ණයකි. එනම් අද මේවා කතා කිරීමේ ඇති ඵලය කුමක්ද යන්නය.ඒත් එම මොහොත යලි කතා කල යුත්තේ අද මොහොත වටහා ගැනීමට එය අදාලම වන නිසාය.
“අඹ පැනය” මිහිඳු හිමි නගන්නේ දෙවන පෑතිස් රජුගේ වට පිටාව සහ ලංකාව ගැන ගැඹුරු අවබෝධයෙන්ය. එනම් ලංකාවේ ඇත්ත ගැටුම් යට ඇත්තේ භාව බිදීම්ය, වංශ බිදීම්ය, කුල ආරාවුල්ය. ජාන වියවුල්ය. බුදු දහම, ඒ සියල්ල අඹ පැනයක බහා විසදීමට පාර පෙන්නා දුන්නේය. එනම් හැම වියවුලක්ම තුනී කර ගන්නට ලාංකිකයන් ගලපා ගන්නා දැක්ම බුදු දහම කළේ අඹ පැනයෙන්ය.
සුජිත් අක්කරවත්ත
ඉතිහාසඥ/ සාහිත්‍යවේදී