අලුයම තුන පසුවී ඇත. මලාවි රාජ්යයේ පැරණි අගනුවර වන සොම්බා නගරය පුරා දැඩි ශීතලක් හමා යයි. පැරණි කුඩා බස් රථයක සුක්කානමට බර දී සිටින සිදෝ සොම්බේජා ඉදිරිය බලා සිටින්නේ මයිලයකට වඩා ඈතට ඇදී ගිය වාහන පසුපස විදුලි පහන් දෙසය.
සිව්දරු පියෙකු වන හතළිස් හැවිරිදි සොම්බේජා මෙලෙස සිය රථය තුළම ගත කරන අටවන දිනය මෙයයි. ඔහු රැඳී සිටින්නේ කවදා පැමිණේදැයි නිශ්චිත නැති තෙල් බවුසරයක් අපේක්ෂාවෙනි.
පිරවුම්හල් තුළ බිහිවූ අමුතු ගම්මාන
මලාවි රාජ්යය පුරා ඉන්ධන පිරවුම්හල් අද සාමාන්ය ව්යාපාරික ස්ථාන නොවේ. ඒවා වාහන තුළම රැය පහන් කරන රියදුරන්ගෙන් පිරුණු තාවකාලික ගම්මාන බවට පත්ව ඇත.
නාඳුනන රියදුරන් එකිනෙකා අතර අවිධිමත් සබඳතා ගොඩනගා ගනිමින් සිටිති. තමන්ගේ වාරය අහිමි වීම වළක්වා ගැනීමටත්, පෝලිම් පනින්නන් පලවා හැරීමටත් ඔවුහු සාමූහික මුර සේවා සකසා ගනිති. රාත්රියේ දැල්වෙන අඟුරු උදුන් වටා එකතු වන මේ මිනිසුන්ගේ දෛනික ආදායම් මාර්ග මුළුමනින්ම ඇණහිට තිබේ.
ඩොලර් සංචිත සිඳීයාම සහ නැවතුණු නැව්
මලාවි ජාතික තෙල් සමාගමේ වාර්තාවලට අනුව, එරට දෛනික ඉන්ධන අවශ්යතාව ලීටර් මිලියන දෙකකි. ඒ සඳහා මසකට අවශ්ය විදේශ විනිමය ප්රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 49කි. කෘෂිකාර්මික අපනයන ආදායම් කඩා වැටීම හේතුවෙන් මෙම පිරිවැය පියවා ගැනීමට මධ්යම බැංකුව අපොහොසත් වී ඇත.
ජාත්යන්තර බැංකු මගින් විදේශ ණයවර ලිපි (Letters of Credit) පිළිගැනීම ප්රතික්ෂේප කිරීම හේතුවෙන්, කලාපීය අප්රිකානු වරායන් වෙත ළඟා වූ ඉන්ධන නැව් පවා මලාවි දේශසීමාවට ඇතුළු විය නොහැකිව මුහුදේ නැංගුරම් ලා තිබෙන බව එරට බලශක්ති අමාත්යාංශ ආරංචි මාර්ග පෙන්වා දෙයි.
රන් විකිණීම සහ පිරවුම්හල් ගැටුම්
කෙටි කාලීන ණය පහසුකම් ලබාගැනීම වෙනුවෙන් එරට මහ බැංකුව සතු රන් සංචිත පවා විකිණීමට රජය පියවර ගෙන තිබේ. රාජ්ය සේවයේ අත්යවශ්ය නොවන වාහන ධාවනයෙන් ඉවත් කර ඇතත්, පිරවුම්හල් අසල නොසන්සුන්තාව පාලනය කිරීමට එම පියවර ප්රමාණවත් වී නැත.
අගනුවර වන ලිලොන්ග්වේහි දෛනිකව ලීටර් 30,000ක ධාරිතාවක් සැපයූ පිරවුම්හල් වෙත අද ලැබෙන්නේ ලීටර් 5,000ක් වැනි ඉතා සීමිත තොගයකි. පැයකින් පමණ තෙල් අවසන් වන විට, පෝලිමේ රැඳී සිටින රියදුරන් සහ පිරවුම්හල් සේවකයින් අතර නිරන්තර වාචික හා ශාරීරික ගැටුම් හටගනී.
කළු කඩ ඉන්ධන සහ ඉහළ ගිය ගාස්තු
ප්රවාහනය බිඳවැටීමත් සමඟ කුලී රථ ගාස්තු දෙගුණයකින් පමණ ඉහළ ගොස් ඇත. රියදුරන් සිය වෘත්තිය පවත්වාගෙන යාමට මාර්ග අයිනේ ක්රියාත්මක කළු කඩ ජාවාරම්කරුවන්ගෙන් අධික මිලට ඉන්ධන ලබාගැනීමට පෙළඹී සිටිති.
මෙම අතිරේක පිරිවැය දෛනික මගීන්ගේ කරමත පැටවීම නිසා සාමාන්ය පවුල්වල මූලික ආහාර වියදම් පවා කප්පාදු කිරීමට සිදුව තිබේ. විදේශ විනිමය ගලා ඒම ස්ථාවර වන තෙක් මලාවි වැසියන්ට මෙම ඉන්ධන පෝලිම් ආර්ථිකය තුළම රැඳී සිටීමට සිදුවන බව ආර්ථික විශ්ලේෂකයින්ගේ නිගමනයයි.
වැඩිදුර තොරතුරු සඳහා මූලාශ්ර සබැඳි :
FurtherAfrica - Malawi fuel crisis stalls transport as dollars dry up



