අධිකරණයට වැරදි තොරතුරු සපයමින් අහිංසක පුරවැසියන් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට එරෙහිව ලැබුණු නියෝග පැහැර හැර ඇති බවට චෝදනා ලැබ සිටින පොලිස්පතිවරයා හමුවේ නීතිය ක්රියාත්මක වන ආකාරය පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන බව ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
පොලිස්පතිගේ ස්වාධීනත්වය සහ අධිකරණයේ ස්ථාවරය
පොලිස්පතිවරයා කිසිදු දේශපාලන පක්ෂයක අභිලාෂයන් වෙනුවෙන් පෙනී නොසිට, සමස්ත ශ්රී ලංකා පොලිස් සේවයේ ස්වාධීනත්වය සහ ගෞරවය සුරැකිය යුතු බව මන්ත්රීවරයා පාර්ලිමේන්තුවේදී පෙන්වා දුන්නේය.
දේශපාලන වුවමනාවන් වෙනුවෙන් නීතිමය ක්රියාදාමයන් අවභාවිත කිරීමට යාමෙන් පොලිස්පතිවරයාට අධිකරණයට අපහාස කිරීමේ නීතිමය ප්රතිවිපාකවලට මුහුණ දීමට සිදුව ඇති බව විපක්ෂය පෙන්වා දෙයි.
භික්ෂූන් වහන්සේලා ඇතුළු පුරවැසියන් සැමට නීතිය එක හා සමානව ක්රියාත්මක වන්නේ නම්, අධිකරණ තීන්දු නොසලකා හැර ඇති බව කියන පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරය කුමක්දැයි විමසා සිටින බව ඔහු සඳහන් කළේය.
අත්අඩංගුවට ගැනීමේ කෝටා සහ සිරගෙවල් අර්බුදය
මත්ද්රව්ය මර්දනයේ නාමයෙන් පොලිස් ස්ථානවලට දෛනික අත්අඩංගුවට ගැනීමේ ඉලක්ක (Targets) ලබාදීමේ ක්රමවේදය මුළුමනින්ම අසාර්ථක එකක් බව අපරාධ විද්යා නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
ජාවාරමේ මහ මොළකරුවන් සහ මහා පරිමාණ ආනයනකරුවන් නීතියෙන් බේරී සිටියදී, ග්රෑම් එක දෙක ළඟ තබාගන්නා ඇබ්බැහිවූවන් 54 වන වගන්තිය යටතේ රිමාන්ඩ් කිරීම හරහා බන්ධනාගාර පද්ධතිය දැවැන්ත මානුෂීය අර්බුදයකට ඇද දමා ඇති බව නාමල් රාජපක්ෂ මහතා චෝදනා කළේය.
පුද්ගලයන් විස්සකට සීමා වූ කාමරවල රැඳවියන් තුන්සියයකට අධික පිරිසක් රඳවා තැබීමෙන් බන්ධනාගාර අපායන් බවට පත්ව ඇති බවත්, මත්ද්රව්යවලට ගොදුරු වූවන් සිරගත කරනු වෙනුවට විධිමත් පුනරුත්ථාපන වැඩපිළිවෙළකට යොමු කළ යුතු බවත් ඔහු පැවසීය.
බන්ධනාගාර නිලධාරීන්ගේ දැවෙන ගැටලු සහ පාලකයන්ගේ වගවීම
දිනකට පැය ගණනාවක් අවදානම් සහගත ලෙස සේවයේ නිරත වන බන්ධනාගාර නිලධාරීන්ට හිමිවිය යුතු ආහාර හෝ අවදානම් දීමනා මෙතෙක් නිසි පරිදි ලබා දී නොමැති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
සංවිධානාත්මක අපරාධකරුවන් පාලනය කරමින් ජීවිත අවදානම කරපින්නාගත් බන්ධනාගාර නිලධාරීන් වෙනුවෙන් ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බව මන්ත්රීවරයා පෙන්වා දුන්නේය.
මත්ද්රව්ය සහ අවි ආයුධ විශාල වශයෙන් අත්අඩංගුවට ගත් බවට ප්රකාශ නිකුත් වුවද වීදිවල අපරාධ හෝ මත්ද්රව්ය සැපයුම අඩුවී නොමැති බවත්, සැබෑ ප්රතිඵල පෙන්වීමට නම් ආයතන ප්රධානීන්ගේ නෛතික වගවීම ආරක්ෂා විය යුතු බවත් ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.
නාමල් රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී සිදුකළ සම්පූර්ණ ප්රකාශය ඇතුළත් වීඩියෝව මතු පළවේ.



