විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටවල දුටු පියාඹන වාහන සංකල්පය තවදුරටත් මනඃකල්පිතයක් නොවන බව පෙන්වමින්, ලෝක ගමනාගමන ක්ෂේත්රය නව මානයකට පිවිසෙමින් තිබේ.
චීන XPeng සමාගම නිපදවූ පුද්ගලයන් දෙදෙනෙකුට ගමන් කළ හැකි නවතම පියාසර යානය, ලබන වසරේ ගිම්හානයේදී නියාමන අනුමැතිය යටතේ නිල භාවිතයට ගැනීමට සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
විනාඩි පහෙන් හසුරුවන්න පුළුවන් ස්වයංක්‍රීය පියාසැරියක්
හැරී පොටර් මෙන්ම ස්පයිඩර් මෑන් සිනමාපටවල පියාඹන උපකරණ ආභාෂයෙන් දශකයක පර්යේෂණ ප්‍රතිඵලයක් ලෙස මෙය බිහිවූ බව XPeng ප්‍රධාන විධායක ඩෙලි ෂාඕ (Deli Zhao) පවසයි.
බැටරි බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රචාලක (Propellers) හයකින් සමන්විත මෙම යානය සරල ජොයිස්ටික් (Joystick) එකකින් පාලනය වන අතර, සාමාන්‍ය පුද්ගලයෙකුට විනාඩි පහකින් මෙය හැසිරවීමට ඉගෙනගත හැකි බව නිෂ්පාදකයින්ගේ මතයයි. අවශ්‍ය අවස්ථාවලදී නියමුවෙකු නොමැතිව නියමිත ගමනාන්තය වෙත ස්වයංක්‍රීයව (Autopilot) පියාසර කිරීමේ තාක්ෂණයද මෙහි අන්තර්ගතය.
ට්‍රාන්ස්ෆෝමර්ස් ආරේ මව් රථය සහ ඩොලර් 300,000ක මිල

මෙම පියාසර උපකරණය හැඳින්වෙන්නේ 'පියාඹන කාර්' ලෙස වුවත්, ඇත්තෙන්ම එය රෝද රහිත ඩ්‍රෝන ආරේ කුඩා ගුවන් කුටියකි.
ඇමරිකානු ඩොලර් 300,000ක (රුපියල් කෝටි 9කට අධික) මිලකට වෙළඳපොළට එන මෙයට රෝද හයක විශේෂිත මව් වෑන් රථයක් අයත් වේ. එම වෑන් රථය තුළ රැඳවෙන පියාසර යානය, 'ට්‍රාන්ස්ෆෝමර්ස්' චිත්‍රපටයක මෙන් රථයේ පිටුපසින් ස්වයංක්‍රීයව දිගහැරී අහසට එසවීමට සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
පොළොවේ සිට කිලෝමීටරයක් දක්වා ඉහළින් කිලෝමීටර 30ක දුරක් එක්වර පියාසර කළ හැකි මෙම යානයේ බැටරි ධාරිතාව නුදුරේදීම දෙගුණයකින් ඉහළ නැංවීමට පර්යේෂකයෝ සූදානම් වෙති.
එලොන් මස්ක්ට එරෙහි චීන තරගය සහ අනාගත ආර්ථිකය
ඇමරිකාව සහ චීනය අතර පවතින ඉලෙක්ට්‍රික් වාහන තාක්ෂණික තරගය මධ්‍යයේ, එලොන් මස්ක් ප්‍රදර්ශනය කළ ටෙස්ලා පියාඹන රථය සැබෑ පියාසැරියකට වඩා 'පිනුමක්' පමණක් බවට ඩෙලි ෂාඕ විවේචනාත්මකව සඳහන් කර තිබේ.
මෙම යානය ජනාකීර්ණ නගරවල පොදු ධාවනයට තවමත් අවසර ලැබී නොමැති අතර, චීන ගුවන් සේවා බලධාරීන්ගේ අනුමැතිය හිමිව ඇත්තේ දුෂ්කර පළාත්වල හදිසි ආපදා ගලවාගැනීම් සහ ග්‍රාමීය සංචාරක කටයුතු සඳහා පමණි.
ගොඩබිම් ප්‍රවාහනය ත්‍රිමාණ අහස් තලයට ගෙන යන "පහළ උන්නතාංශ ආර්ථිකය" (Low-altitude economy) වර්ධනය කිරීමේ බීජිං පාලනයේ පුළුල් උපායමාර්ගයේ ප්‍රතිඵලයක් ලෙස මෙය කරළියට පැමිණ ඇති අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, අග්නිදිග ආසියාව සහ යුරෝපය වෙතද මෙම තාක්ෂණය රැගෙන යාමට සැලසුම් කර ඇත.
වැඩිදුර තොරතුරු ඇතුළත් මූලාශ්‍ර සබැඳිය
The Guardian වාර්තාව: Flying cars could launch in China next summer, maker of two-seat model says



