2023 ඔක්තෝබර් 7 දා, දකුණු ඊශ්‍රායලයට එල්ල වූ හමාස් සංවිධානය ප්‍රමුඛ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 1,200ක් පමණ ඝාතනය විය. එදින ප්‍රහාරයේදී 250කට වැඩි පිරිසක් ත්‍රස්ත ප්‍රාණ ඇපයට ද පත් වූහ. මෑත කාලීන ඊශ්‍රායල ඉතිහාසයේ සිදු වූ බිහිසුණුම ත්‍රස්ත ඛේදවාචකය එය වේ.
එම ප්‍රහාරයත් සමඟ ඊශ්‍රායලය හමාස් ත්‍රස්තයින් ඉලක්ක කොට ගාසා තීරයේ දැවැන්ත හමුදා මෙහෙයුමක් ආරම්භ කළේය. ඉන් පලස්තීනුවන් 74,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මිලියන දෙකකට ආසන්න සමස්ත ගාසා ජනගහනයටම සිය නිවෙස් අතැර වෙනත් ප්‍රදේශවල අවතැන් කඳවුරු වෙත පලා යාමට ද සිදු විය.
පාර්ලිමේන්තුවෙන් මූලික අනුමැතිය
එදින හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පිණිස කරන ලද ඉල්ලීමකට, වත්මන් විපක්ෂ පාලනය යටතේ පවතින ඊශ්‍රායල පාර්ලිමේන්තුව ඊයේ (25) මූලික අනුමැතිය දුන්නේය. අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු එම පරීක්ෂණයට විරෝධය පළ කරයි. ඔහු බලයෙන් පහ කරනු පිණිස, එවන් පරීක්ෂණයක් පවත්වන බවට නොබෝදා පැවති මැතිවරණයට පෙර සිටම, දේශපාලන ප්‍රතිවාදීන් විසින් ප්‍රතිඥා දී තිබිණි. ඔහු එම මැතිවරණයෙන් පරාජයට පත්විය.
ඊශ්‍රායල ඉතිහාසයේ මාරාන්තිකම දිනය බවට පත්වූ ඉහත ප්‍රහාරයට පෙර, එය වළකා ගැන්මට එරට ආරක්ෂක අංශ අසමත් වීම සහ එම අසාර්ථකත්වය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා රාජ්‍ය කොමිසමක් ස්ථාපිත කිරීමට අදාළ නීති කෙටුම්පතක් සම්මත කර ගැනීම උදෙසා ඊයේ පාර්ලිමේන්තු ඉල්ලීම ඉදිරිපත් කෙරිණි. ඒ අනුව එහි පැවතියේ ඊට අවශ්‍ය ඡන්ද විමසීම් හතරෙන් පළමුවැන්න ය.
නෙතන්යාහු ඉලක්ක කළ නව පනත්
අග්‍රාමාත්‍යවරයාට එම ධුරය දැරිය හැකි කාලය සීමා කිරීමට මෙන්ම, අපරාධ චෝදනා යටතේ නඩු විභාගයකට මුහුණ දෙන පුද්ගලයන්ට එම ධුරය දැරීම තහනම් කිරීමට යෝජිත, තවත් පනත් කෙටුම්පතකට ද ඊයේ පාර්ලිමේන්තු අනුමැතිය හිමි විය. ඊශ්‍රායල ඉතිහාසයේ දීර්ඝතම කලක් අග්‍රාමාත්‍ය ධුරය දැරූ නායකයා බෙන්ජමින් නෙතන්යාහු ය. මේ වන විටත්, ඔහුට එරෙහි දූෂණ චෝදනා පවතින අතර, ඔහු එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරයි. කෙසේ වෙතත්, ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද නව යෝජනා, ඔහු ඉලක්ක කර ගනිමින් ඉදිරිපත් කර ඇති බව ප්‍රත්‍යක්ෂ කරුණකි.
පසුගිය මස පැවති මැතිවරණයෙන් ඔහුගේ සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. එහෙත්, ඉන් පසුව ද නෙතන්යාහු එරට භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස තවදුරටත් ධුරයේ රැඳී සිටින්නේය.
රූපවාහිනිය ඔස්සේ මේ පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කළ නෙතන්යාහු, අදාළ පනත් කෙටුම්පත "දේශපාලනිකව පුද්ගලයන් විනාශ කිරීමේ අරමුණින් ගෙනෙන ලද්දක්" බව පැවසීය. එවැනි ක්‍රමයක් භාවිත වන්නේ ඉරානයේ සහ ඒකාධිපති පාලන තන්ත්‍ර පවතින රටවල් කිහිපයක පමණකැයි ද ඔහු කියා සිටියේය.
"කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රටක එවැන්නක් ක්‍රියාත්මක වන්නේ නැහැ," නෙතන්යාහු අවධාරණය කළේය.
විපක්ෂයේ පියවර සහ ඡන්ද විමසීම
මැතිවරණය ජය ගත් ඊශ්‍රායල විපක්ෂය පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට සමත්ව ඇතත්, නව රජයක් පිහිටුවීම පිණිස ජනාධිපතිවරයා විසින් නම් කරන ලද විපක්ෂ නායක ගාඩි අයිසන්කොට් මෙතෙක්, නව පාලක සන්ධානයක් පිහිටුවා නෙතන්යාහු බලයෙන් ඉවත් කිරීමට අසමත්ව සිටී.
දශක ගණනකින් මෙපිට එරට මුහුණ පෑ බරපතළතම ආරක්ෂක පිරිහීම සම්බන්ධයෙන් රාජ්‍ය කොමිසමක් මගින් පරීක්ෂණයක් පැවැත්විය යුතු බව මහජන මතය යැයි, එම මත විමසුම් කිහිපයකින්ම අනාවරණය වී තිබේ.
එම ඛේදවාචකයෙන් අසරණ වූ පවුල් සහ ප්‍රාණ ඇපයෙන් මුදා දිවි ගලවාගත් අය වෙනුවෙන් ද, අතුරුදන් සහ ජීවිතක්ෂයට පත්වූවන් වෙනුවෙන් ද සත්‍යය අනාවරණය කරන බවත්, ඉදිරියේ එවැනි ව්‍යසනයක් යළි ඇතිවීම වැළැක්වීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බවත්, අයිසන්කොට් සමාජ මාධ්‍ය සටහනක සඳහන් කළේය.
යුදෙව් පක්ෂවලින් සමන්විත අයිසන්කොට්ගේ විපක්ෂ සන්ධානයට අරාබි සුළුතරය නියෝජනය කරන පක්ෂ ද එක්ව සිටිති. අදාළ පරීක්ෂණය පිණිස ඉදිරිපත් කරන ලද පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට එය ඉමහත් රුකුලක් විය. එහිදී මන්ත්‍රීවරුන් 65 දෙනෙකු ඊට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, 50 දෙනෙක් විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
පරීක්ෂණයේ ස්වභාවය ගැන මතභේද
2023 ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරය පිළිබඳ ස්වාධීන පරීක්ෂණයකට නෙතන්යාහු විරෝධය පළ කරන අතර, ඒ වෙනුවට රාජ්‍ය බලය යටතේ ක්‍රියාත්මක පරීක්ෂණයක් ඉල්ලා සිටින්නේය. ඒ යටතේ අදාළ පරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් තෝරා පත් කර ගැනීමේ බලය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටත්, පරීක්ෂණ විෂය පථය තීරණය කිරීමේ බලය කැබිනට් මණ්ඩලයටත් හිමි විය යුතු බව ඔහු පවසයි.
එය සත්‍යය වසන් කිරීමට අග්‍රාමාත්‍යවරයා දරන අසාර්ථක ප්‍රයත්නයක් බව අයිසන්කොට් ඇතුළු විපක්ෂය කියා සිටී.
එවන් පරීක්ෂණයක් ආරම්භ කිරීමට අනුබල දෙන එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් නෙතන්යාහු හෝ ඔහුගේ කාර්යාලය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. කෙසේ වෙතත්, එම පනත් කෙටුම්පත මගින් යෝජිත පරීක්ෂණය ඔස්සේ, එදින ඛේදවාචකයට මුල් වූ ආරක්ෂක දුබලතා විමර්ශනය කරනු වෙනුවට, ඊශ්‍රායලයේ 'රණවිරුවන්'ට එරෙහි පරීක්ෂණයක් සිදු කිරීම අපේක්ෂාව විය හැකි යැයි, ඔහුගේ සමීප දේශපාලන මිතුරියක වන ප්‍රවාහන අමාත්‍ය මිරි රෙගෙව් කියා සිටියාය.
පාර්ලිමේන්තු බල තුලනය සහ ඉදිරි අවස්ථා
ඉකුත් ඔක්තෝබර් 27 දා පැවති මැතිවරණයෙන් අග්‍රාමාත්‍ය නෙතන්යාහුගේ අන්ත දක්ෂිණාංශික හා දැඩි මතධාරී යුදෙව් ආගමික පක්ෂවලින් සැදි සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි විය. මන්ත්‍රීවරුන් 120 දෙනෙකුගෙන් සමන්විත එරට පාර්ලිමේන්තුවේ එම සන්ධානයට දැන් හිමිව ඇත්තේ ආසන 53ක් පමණි. කෙසේ වෙතත්, ඔහුගේ දක්ෂිණාංශික ලිකුඩ් පක්ෂය පාර්ලිමේන්තුවේ තවදුරටත් විශාලතම තනි පක්ෂය ලෙස ක්‍රියාත්මක ය.
අයිසන්කොට්ගේ සන්ධානයට යුදෙව් පක්ෂ නියෝජනයෙන් යුත් දක්ෂිණාංශික, වාමාංශික සහ මධ්‍යස්ථ මතධාරී මන්ත්‍රීවරුන් ද ඇතුළත්ය. එහෙත්, ඔවුන්ට හිමිව ඇත්තේ ආසන 48ක් පමණි.
එම කණ්ඩායම්හි බහුතරය ද අරාබි පක්ෂ සමඟ සන්ධානගත වීමට මෙතෙක් අකමැත්ත පළ කර තිබේ. මෙවර මැතිවරණයේදී අරාබි පක්ෂ වාර්තාගත ආසන 19ක් දිනා ගැනීමට සමත් විය.
නව සන්ධානයක් පිහිටුවීම සඳහා අයිසන්කොට්ට දෙසැම්බර් 6 තෙක් කාලය හිමි ය. අවශ්‍ය නම්, එය තවත් දින 14ක කාලයකට දීර්ඝ කර ගැනීමේ හැකියාව ද ඔහු සතු ය.
ඉකුත් මැතිවරණයෙන් පසු, පාර්ලිමේන්තුවේ අරාබි මන්ත්‍රීවරුන් විසින් අයිසන්කොට් සහ ඔහුගේ සහායක මන්ත්‍රීන් හා එක්ව විවිධ පනත් කෙටුම්පත් සඳහා ඡන්දය ප්‍රකාශ කර තිබේ. ඒ අනුව, පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය තීරණය කිරීමටත්, පනත් කෙටුම්පත් සම්මත කර ගැනීමටත් ඔවුන් සමත්ව ඇත.
පසුගිය සතියේ අයිසන්කොට්ගේ යෂාර් පක්ෂයේ මන්ත්‍රීවරයකු පාර්ලිමේන්තු කථානායකවරයා ලෙස තෝරා පත් කර ගැනීම ද එහි ප්‍රතිඵලයකි.
අයිසන්කොට් නව රජයක් පිහිටුවීමට අසමත් වුවහොත්, එම ඉදිරි අවස්ථාව නෙතන්යාහුට හිමිවේ. අනතුරුවද, කිසිදු පාර්ශ්වයකට රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත්, නැවත මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවනු ඇත.
(REUTERS ඇසුරින් හර්ෂ උදයකාන්ත පීරිස්)
2026 නොවැම්බර් 26
මූලාශ්‍ර සබැඳිය:
Israeli opposition advances October 7 attack probe opposed by Netanyahu



