මෑත වසරවල ලබාදුන් මෙවැනි බදු දිරිගැන්වීම් නිසා රජයට වාර්ෂිකව අහිමි වන මුදල රුපියල් බිලියන 800ත් ට්‍රිලියනයත් අතර අගයක් ගන්නා බව එම ආයතනයේ ආදායම් පරිපාලන විමර්ශන වාර්තාව පෙන්වා දෙයි. විශේෂ ආර්ථික කලාප තුළ ඇති සමාගම් 200ක සහ ඉන් පිටත පිහිටි තවත් ආයතන 1,500ක රේගු අධීක්ෂණ බලතල සම්ප්‍රදායිකව රේගුව වෙනුවට ආයෝජන මණ්ඩලය සතුව පැවතීම මෙයට මූලික හේතුව වී තිබේ.
භාණ්ඩ පරීක්ෂාව සහ ලේඛන සත්‍යාපනයේ ගැටලු
ආයෝජන මණ්ඩලය සතු සීමිත නියාමන පහසුකම් හමුවේ ආනයනික භාණ්ඩ භෞතිකව පරීක්ෂා කිරීම හෝ සමාගම් ඉදිරිපත් කරන ලේඛන ස්වාධීනව තහවුරු කර ගැනීම නිසි පරිදි සිදු නොවන බව මූල්‍ය අරමුදල නිරීක්ෂණය කරයි.
ගබඩා කර ඇති භාණ්ඩ තොග සහ ඒවායේ සංසරණය නිරීක්ෂණය නොවීමෙන්, බදු රහිතව මෙරටට ගෙන්වන අමුද්‍රව්‍ය හා නිෂ්පාදන දේශීය වෙළෙඳපොළට හොර රහසේ මුදාහැරීමේ ඉඩකඩක් නිර්මාණය වේ. මෙයින් රජයට බදු අහිමි වනවා මෙන්ම, නීත්‍යානුකූලව සම්පූර්ණ බදු ගෙවා භාණ්ඩ නිපදවන දේශීය ව්‍යාපාරිකයන් දැඩි අසාධාරණ වෙළෙඳ තරගයකට මුහුණ දෙයි.
ගිවිසුම් ප්‍රමාදය සහ නව තාක්ෂණික පියවර
මෙම පරිපාලන හිඩැස පියවීම සඳහා 2025 වසරේදී ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රේගුව අතර විශේෂ අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරිණි. ආරම්භක පියවරක් ලෙස සමාගම් 83ක් දැඩි රේගු පරීක්ෂාවට යටත් කිරීමට සැලසුම් කළද, ඇතැම් සමාගම්වල පවතින අකමැත්ත හේතුවෙන් එම ක්‍රියාවලිය අපේක්ෂිත වේගයෙන් ඉදිරියට ගොස් නොමැත.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහාය ඇතිව ජීපීඑස් (GPS) තාක්ෂණය ඔස්සේ බහාලුම් නිරීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් සකස් වෙමින් පවතී. ආයෝජන කලාප 12 හිම ආනයන-අපනයන පාලනය සෘජුවම රේගුව භාරයට ගැනීම ප්‍රමාද වීම මෙරට මූල්‍ය විනය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසය පළුදු වීමට හේතුවක් විය හැකි බවටද අනතුරු ඇඟවේ.
කාර්ය මණ්ඩල හිඟය හමුවේ මතු වූ අභියෝගය
දත්ත අනුව 2021 දී 53%ක් වූ භෞතික බහාලුම් පරීක්ෂාවන් මේ වන විට 38% දක්වා පහත වැටී තිබේ. Grayline අංගනවල පරීක්ෂාවන්ගෙන් 58.5%කම අඩුපාඩු වාර්තා වන අතර, Rank බහාලුම් පර්යන්තයේ එම ප්‍රතිශතය 8.5%ක් තරම් පහළ අගයක පවතී.
නිෂ්කාශනයෙන් පසු සිදුකරන විගණන (Post-clearance audits) මගින් 2024 දී රුපියල් බිලියන 4.6ක්, 2025 දී බිලියන 2.48ක් සහ 2026 මුල් මාස පහ තුළ බිලියන 2.75ක අතිරේක ආදායමක් සොයාගෙන ඇත. 2026 මුල් කාර්තුවේදී නිල් කලාපීය (Blue Channel) භාණ්ඩ තොග 304ක් විගණනය කිරීමට සිටියේ කණ්ඩායම් හතරක් පමණක් වීමෙන් කාර්ය මණ්ඩල හිඟයේ බරපතළකම පැහැදිලි වේ.
2027 ජනවාරි 1 වනදා වන විට සියලු ආනයනකරුවන් කඩදාසි රහිත ඩිජිටල් ක්‍රමවේදයකට මාරුවීමට නියමිතය. විධිමත් අධීක්ෂණ යාන්ත්‍රණයක් නොමැතිව මෙවැනි අතිවිශාල බදු නිදහස් කිරීම් තවදුරටත් රටට දැරිය හැකිද යන්න මෙහිදී මතු වන ප්‍රධානම ආර්ථික ගැටලුවයි.
මූලාශ්‍ර සබැඳි :



