මුහුදු පත්ලේ ජීවත්වන ඕක්ටපස් සතුන් අතිශය පටු සිදුරු සහ කුහර අතරින් ඇදහිය නොහැකි ලෙස සිරුර රිංගවාගෙන ගමන් කරන ආකාරය විද්‍යාඥයින් විසින් සිතියම්ගත කර තිබේ. කිසිදු අස්ථියක් නොමැති මෙම අපෘෂ්ඨවංශික ජීවීන් සිදුරේ ප්‍රමාණය අනුව උපායමාර්ගික පියවර වෙනස් කරන බව අනාවරණය වී ඇත.
නැෂනල් යුනිවර්සිටි ඔෆ් සිංගපූරු (NUS) මෘදු රොබෝ තාක්ෂණ විද්‍යාගාරය සහ ඉතාලියේ නේපල්ස් ෆෙඩරිකෝ II විශ්වවිද්‍යාලය එක්ව සිදුකළ මෙම අධ්‍යයනය 'Journal of Experimental Biology' සඟරාවේ පළ විය.
ඇටකටු නැති මාංශ පේශිවල අපූරු ක්‍රියාකාරිත්වය
මිනිසා ඇතුළු සතුන්ට ශරීරය සෘජුව තබාගැනීමට අස්ථි පද්ධතියක් පිහිටියද, ඕක්ටපස්ගේ ශරීරය සකස් වී ඇත්තේ හයිඩ්‍රොස්ටැටික් මාංශ පේශි (muscular hydrostat) පද්ධතියකිනි.
ශරීරයේ කොටසක් කුඩා සිදුරකින් තෙරපී ගමන් කරන අවස්ථාවලදී පවා රුධිර සංසරණය බාධාවකින් තොරව පවත්වා ගැනීමට රුධිර නාල තුළ පිහිටි මාංශ පේශි පොම්ප උපකාරී වේ. විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීමට මෙන්ම ගල් කුහර අතර සැඟවී සිටින ගොදුරු අල්ලා ගැනීමට මෙම නම්‍යශීලී බව ස්වභාවධර්මයෙන් උන්ට ලැබුණු ආවරණයකි.
සිදුරේ ප්‍රමාණය මනින බාහුවල ස්පර්ශය
නේපල්ස් විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ මයිකල් කුබා පෙන්වා දෙන්නේ ඕක්ටපස් සතුන් සිදුර පරීක්ෂා කිරීම සඳහා ප්‍රධාන වශයෙන් තම බාහුවල ඇති සියුම් ස්පර්ශ සංවේදනය (tactile sense) භාවිත කරන බවයි.
පර්යේෂණ නිරීක්ෂණවලට අනුව සතුන් ක්‍රමවේද දෙකක් අනුගමනය කරයි:
* පියවර තුනේ ක්‍රමය: සිදුර සත්වයාගේ දෑස් අතර පරතරයට වඩා විශාල වූ විට පළමුව එක් බාහුවකින් සිදුර පරික්ෂා කරයි. අනතුරුව තවත් බාහු කිහිපයක් ඇතුළත් කර, බාධකය තල්ලු කරමින් හිස සහ සිරුර එකවර ඉදිරියට ඇදගනී.
* පියවර හතරේ ක්‍රමය: සිදුර අතිශය පටු වූ විට සියලු බාහු පළමුවෙන් සිදුරෙන් එතෙර කරවා ගනී. ඉන්පසු හිස සහ ශරීරයේ ප්‍රධාන කොටස (mantle) වෙන වෙනම ප්‍රවේශමෙන් ඇදගැනීම සිදුකරයි.
ඕක්ටපස් සිරුර රිංගවිය හැකි අවම ප්‍රමාණය තීරණය වන්නේ උන්ගේ එකම ඝන කොටස වන මුඛ ආශ්‍රිත හොටෙන් (beak) බව මීට පෙර විශ්වාස කළද, සිරුරට ආසන්න බාහුවල ඝනකම ඊට වඩා බලපාන බව පර්යේෂකයෝ පවසති.
සුන්බුන් අතර ගලවාගැනීමේ රොබෝවරුන්ට ආදර්ශයක්
භූමිකම්පා සහ නායයෑම් වැනි ආපදා අවස්ථාවලදී සුන්බුන් අතර සිරවූවන් සොයායන ගලවාගැනීමේ රොබෝවරුන් නිර්මාණයට මෙම ජීව විද්‍යාත්මක හැසිරීම ආදර්ශයක් කරගත හැකි බව පර්යේෂණ කණ්ඩායමේ වෙන්සි ෂින් ප්‍රකාශ කරයි.
වර්තමාන ගලවාගැනීමේ රොබෝවරු දිගටි හැඩයකින් යුක්ත වන බැවින් රැගෙන යා හැකි කැමරා සහ සංවේදක ප්‍රමාණය සීමිතය. ඕක්ටපස් ආකෘතියට අනුව මෘදු බාහු සහිත රොබෝවකු තැනීමෙන් වැඩි උපකරණ ප්‍රමාණයක් සමඟ පටු කඩාවැටීම් අතරට පිවිසීමේ අවස්ථාව හිමිවේ.
කෙසේ වෙතත්, පටු සිදුරු ඔස්සේ රිංගීමට තරම් මෘදු මෙන්ම බර ඇදගෙන යාමට තරම් ශක්තිමත් යාන්ත්‍රික පද්ධතියක් එකවර නිර්මාණය කිරීම අනාගත ඉංජිනේරුවන්ට මුහුණ දීමට සිදුවන ප්‍රධාන අභියෝගයයි.
මූලාශ්‍ර සබැඳිය :
Reuters: Octopuses follow two strategies to squeeze through tiny holes



