වසරේ අවසන් කාර්තුවේ විදුලි ගාස්තු සංශෝධනය වෙනුවෙන් ඉදිරිපත් වූ යෝජනා පරීක්ෂා කිරීමේදී, පාරිභෝගිකයා නොදන්නා බරපතළ මූල්‍ය කාරණා රැසක් මහජන උපයෝගිතා කොමිසමේ (PUCSL) විමර්ශනයට හසුව තිබේ. මුලින් සැලසුම් කළ 2.88%ක මිල වැඩිවීම 1.46% දක්වා සීමා කිරීමට කොමිසම කටයුතු කර ඇත.
මිලෙහි සුළු අඩුවීමට වඩා මෙහි මතු වූ ප්‍රධාන ප්රශ්නය වන්නේ, සාධාරණීකරණය කළ නොහැකි බිලියන ගණනක පිරිවැයක් පාරිභෝගිකයාගේ කරපිට පැටවීමට ගත් උත්සාහයයි.
වැඩ නිම නැති ව්‍යාපෘතිවල ණය බරත් ජනතාව පිටට?
විදුලි සැපයුම වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියක් වෙනුවෙන් ගත් ණය වාරිකයක් ලෙස රුපියල් බිලියන 1.07ක මුදලක් විදුලි ගාස්තුවට ඇතුළත් කිරීමට විදුලි බෙදාහැරීමේ සමාගම (EDL) උත්සාහ කර තිබිණි.
නියාමන අධිකාරිය එම වියදම මුල් අදියරේදීම ඉවත් කර දැමුවේය. තවමත් ඉදිකිරීම් අවසන්ව ජනතා අයිතියට පත් නොවූ වත්කම් වෙනුවෙන් පාරිභෝගික මුදල් අයකර ගැනීමට කිසිදු නෛතික හෝ සදාචාරාත්මක අයිතියක් නොමැති බව කොමිසමේ ස්ථාවරයයි. බලශක්ති මිලදී ගැනීමේ නිල ගිවිසුම් රාමුවෙන් පිටත තිබූ තවත් රුපියල් මිලියන 669ක අමතර ධාරිතා වියදමක්ද මෙහිදී කපා හැරීමට පියවර ගැනිණි.
බාල ගල්අඟුරු පාඩුව බිලියන 4 ඉක්මවයි
දෙවැනි කාර්තුවේදී මෙරටට ගෙනා බාල ගල්අඟුරු හේතුවෙන් සිදුවූ අලාභය පිළිබඳ පරස්පර දත්ත ඉදිරිපත්වීම ආයතනික විනිවිදභාවය දැඩි ලෙස ප්‍රශ්න කරන්නකි.
ජාතික පද්ධති මෙහෙයුම්කරු (NSO) එම අලාභය රුපියල් බිලියන 2.86ක් ලෙස සටහන් කරද්දී, කොමිසමේ ස්වාධීන ගණනය කිරීම්වලින් හෙළි වූයේ එම පාඩුව රුපියල් බිලියන 4.38ක් බවයි. රුපියල් බිලියන 1.52ක මෙම පරතරය පෙන්වා දෙන්නේ ඉන්ධන ප්‍රසම්පාදනයේ වගවීම පිළිබඳ ගැටලුවයි. නිලධාරීන්ගේ ප්‍රසම්පාදන වරදක හෝ දුර්වල ගිවිසුම්වල පාඩුව සාමාන්‍ය පාරිභෝගිකයාගේ මාසික බිලෙන් පියවා ගැනීමට ඉඩ නොදිය යුතු බව ක්ෂේත්රයේ විද්වතුන් පෙන්වා දෙති.
අවිනිශ්චිත වැසි අනාවැකි සහ සැඟවුණු තෙල් බිල
ඉදිරි මාස කිහිපයේදී ජල විදුලි උත්පාදනයෙන් 32.34%ක දායකත්වයක් බලාපොරොත්තු වන බව පද්ධති මෙහෙයුම්කරු උපකල්පනය කර තිබේ. මෙය සම්පූර්ණයෙන්ම රඳා පවතින්නේ ජල පෝෂක ප්‍රදේශවලට ලැබෙන ඉහළ වර්ෂාපතනය මතය.
කාලගුණය වෙනස් වී වැසි නොලැබුණහොත්, සිදුවන්නේ අධික මිලක් සහිත ඩීසල් සහ දැවිතෙල් බලාගාර මත යැපීමටයි. ගල්අඟුරු කිලෝවක මිල ඔක්තෝබරයේ රුපියල් 61.42 සිට දෙසැම්බරයේදී රුපියල් 67.44 දක්වා ඉහළ යනු ඇතැයි ගණන් බලා තිබේ. ඩීසල් ලීටරයක ඇස්තමේන්තුව රුපියල් 382ක් වන අතර දැවිතෙල් ලීටරයක් රුපියල් 210කි. මෙවන් පසුබිමක, මෙගාවොට් 160ක බැටරි බලශක්ති පද්ධතියක් (BESS) සඳහා රුපියල් මිලියන 703ක් වෙන් කර ඇතත්, එහි මාසික ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ පැහැදිලි දත්ත ඉදිරිපත් කර නොමැත.
බිලියන 2ක හිඟය සහ පද්ධතිමය විනය
අවසන් සංශෝධනවලින් පසුවද, අපේක්ෂිත සැපයුම් පිරිවැය වන රුපියල් බිලියන 156.66 සහ ලැබෙන ආදායම වන රුපියල් බිලියන 154.03 අතර රුපියල් බිලියන 2.25ක මූල්‍ය පරතරයක් පවතී.
2024 අංක 36 දරන විදුලිබල පනත අනුව ක්‍රියාත්මක වන මෙම නියාමන ක්‍රියාවලිය හුදු ගාස්තු ගණනය කිරීමකට සීමා නොවිය යුතුය. මෙහි සැබෑ පරීක්ෂණය වන්නේ පරිපාලන අකාර්යක්ෂමතාව, බාල ඉන්ධන ගනුදෙනු සහ අසම්පූර්ණ ව්‍යාපෘතිවල බරින් නිදහස්ව, සැබෑ විදුලි පිරිවැය වෙනුවෙන් පමණක් පාරිභෝගිකයා සාධාරණ මුදලක් ගෙවන බව සහතික කිරීමයි.
මුලාශ්‍ර සබැඳිය :
Lanka News : Sri Lanka Consumers Face Billions in Unverified Power Sector Costs.



