ගෝලීය මුහුදු වෙළඳාමෙන් හතරෙන් පංගුවක් රඳා පවතින බෙංගාල බොක්කේ ආරක්ෂාව, අනවසර ධීවර ගැටලු සහ මුහුදු පත්ලේ සන්නිවේදන රැහැන් සුරැකීමට රටවල් ගණනාවක රාජ්‍යතාන්ත්‍රිකයෝ කොළඹට රැස්වෙති.
ලෝකයේ සිදුවන මුහුදු වෙළඳාමෙන් හතරෙන් එකක්ම ගලා යන්නේ අප අවට පිහිටි බෙංගාල බොක්ක සාගර කලාපය හරහායි.
භූ-දේශපාලනික බල අරගල, සාගර සම්පත් කොල්ලකෑම, නීතිවිරෝධී ධීවර ජාවාරම් සහ දේශගුණික බලපෑම් හමුවේ මෙම මුහුදු තීරය පෙර නොවූ විරූ අවදානමකට මුහුණ පා සිටී.
එක් රටකට තනිව විසඳිය නොහැකි මෙම දේශසීමා ඉක්මවා ගිය අර්බුදයට සාමූහික බිම් මට්ටමේ ක්‍රියාමාර්ග සෙවීම වෙනුවෙන් හයවැනි 'බෙංගාල බොක්ක සාගර සංවාදය' (Sixth Bay of Bengal Maritime Dialogue) කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී සාර්ථකව නිමාවට පත්විය.
ප්‍රතිපත්ති කතා වෙනුවට බිම් මට්ටමේ වැඩපිළිවෙළක්

ශ්‍රී ලංකාවේ පාත්ෆයින්ඩර් පදනම (Pathfinder Foundation) සමග ස්විට්සර්ලන්තයේ මානුෂීය සංවාද මධ්‍යස්ථානය (HD) එක්ව සංවිධානය කළ මෙම දෙදින රාජ්‍යතාන්ත්‍රික හමුවට කලාපයේ මුහුදු ආරක්ෂක නිලධාරීන්, පර්යේෂකයන් සහ විදේශ තානාපතිවරු රැසක් එක්ව සිටියහ.
පසුගිය වට පහ තුළ එකඟ වූ ප්‍රතිපත්තිමය ලියකියවිලි ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පත්කිරීම 'From Adoption to Action' තේමාව යටතේ මෙවර ප්‍රධාන අවධානයට ලක්විය.
ආරම්භක සැසියේදී පාත්ෆයින්ඩර් පදනමේ සභාපති බර්නාඩ් ගුණතිලක, මානුෂීය සංවාද මධ්‍යස්ථානයේ දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ උපදේශක වෙනු රාජමොනි, බිම්ස්ටෙක් (BIMSTEC) මහලේකම් ඉන්ද්‍ර මණි පාණ්ඩේ සහ පාත්ෆයින්ඩර් නිර්මාතෘ මිලින්ද මොරගොඩ අදහස් දැක්වූහ.
ඉන්දුනීසියානු විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරීෆ් හවාස් ඔග්රොසෙනෝ විශේෂ වීඩියෝ දේශනයක් ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ජර්මානු තානාපති ආචාර්ය ෆීලික්ස් නියුමන්, බෙංගාල බොක්ක වැඩසටහනේ (BOBP-IGO) අධ්යක්ෂ ආචාර්ය පාන්ඩියන් ක්‍රිෂ්ණන් පාණ්ඩේ මෙන්ම වරාය හා සමුද්‍රීය කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය මහින්ද පරාක්‍රම දිසානායක ද මෙම විද්වත් හමුව නියෝජනය කළහ.
මුහුදු පත්ලේ සන්නිවේදන රැහැන් සහ හදිසි ප්‍රතිචාර
ඉන්දු-පැසිෆික් කලාපීය සමුද්‍රීය සන්නිවේදනය, හදිසි ආපදා කළමනාකරණය සහ මුහුදු පත්ලේ ස්ථාපිත අන්තර්ජාල සන්නිවේදන රැහැන් (Undersea Cables) ආරක්ෂා කරගැනීම පිළිබඳව පළමු දිනයේ විශේෂ අවධානය යොමු විය.
ගෝලීය ඩිජිටල් ආර්ථිකය හා දත්ත හුවමාරුව රඳා පවතින මෙම සබ්මැරීන් කේබල් පද්ධතිවලට සිදුවන සුළු හෝ අනතුරකින් කලාපීය ආරක්ෂාවට මෙන්ම වෙළඳපොළට එල්ල වන බලපෑම සුළුපටු නොවේ.
මුහුදේදී සිදුවන හදිසි අනතුරුවලට කඩිනම් සහන සැලසීම සහ කලාපීය රටවල් අතර ආයතනික විශ්වාසය වර්ධනය කරගැනීමේ ක්‍රමවේද මෙහිදී පුළුල් ලෙස විමසුමට ලක්විය.
ධීවර ප්‍රජාව රැකගන්නා මානුෂීය මැදිහත්වීම

ඕස්ට්‍රේලියාවේ ඉන්දීය සාගර කටයුතු පිළිබඳ විශේෂ නියෝජිත ටිම් වොට්ස්ගේ පණිවිඩයක් ද එක් කරමින් දෙවැනි දිනයේදී සාකච්ඡා කෙරුණේ තිරසර ධීවර කර්මාන්තයක් පවත්වා ගැනීම ගැනය.
විශේෂයෙන්ම නීතිවිරෝධී, වාර්තා නොවන සහ නියාමනයෙන් තොර (IUU) මසුන් මැරීම වැළැක්වීමට විද්‍යාත්මක දත්ත හුවමාරු කරගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කෙරිණි.
දේශසීමා මුහුදු සීමාවන්හි මතුවන අනවශ්‍ය ගැටුම් සහ ආතතීන් අවම කරගනිමින්, ධීවර ජනතාවගේ දෛනික ජීවනෝපාය සුරැකෙන සාධාරණ සහ මානුෂීය යාන්ත්‍රණයක් කලාපයට අත්‍යවශ්‍ය බව මෙහිදී සම්මුතියකට පැමිණි කරුණකි.
සාගර ආරක්ෂාව, විද්‍යාත්මක දත්ත තානාපති සබඳතා සහ සියල්ලන් ඇතුළත් කරගන්නා සාමූහික යාන්ත්‍රණයන් ඔස්සේ සකස් කෙරුණු මෙම කොළඹ සමුළුවේ නිර්දේශ, ඉදිරියේදී බෙංගාල බොක්ක ආශ්රිත සියලුම රටවල රාජ්‍ය නායකයන් සහ බිම්ස්ටෙක් වැනි කලාපීය සංවිධාන වෙත නිල වශයෙන් භාරදීමට නියමිතයි.
වැඩිදුර තොරතුරු ඇතුළත් විශ්වාසනීය මූලාශ්‍ර සබැඳි: පාත්ෆයින්ඩර් පදනමේ නිල පුවත් වාර්තාව:



