ඒ, 1990 දශකයේ අගභාගයේ මා හට වැළඳී තිබූ වකුගඩු ආසාදනයක් දුරදිග යාම නිසා එහි හතේ වාට්ටුවේ සති තුනක කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලැබූ බැවිනි. එහිදී එම වාට්ටුව භාරව සිටි වකුගඩු රෝග විශේෂඥ චූලා හේරත් මහතාගේ සිට සෙසු වෛද්‍ය, හෙද හා අනෙකුත් කාර්ය මණ්ඩලයේ අසීමාන්තික කැපවීම සහ සුහදශීලී සත්කාර සේවාව නිසා එම රෝගය නරක අන්තයක් වෙතට ඇදී නොගොස්, ඒ කාලය තුළ සම්පූර්ණ සුවය ලබා පිටවීමට මට අවකාශ ලැබිණි. එම රෝහලේ ඇති 1001 වැනි විශේෂිත ඇඳ පිළිබඳ මෙම පුවත මට දැනගන්නට ලැබුණේ ඒ අතරතුරය.

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල යනු හුදෙක් භෞතික ගොඩනැගිල්ලක් නොවේ; එය 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ සාම සමුළුවේදී ජේ.ආර්. ජයවර්ධනයන් “නහී වේරේන වේරානී” යන බුදු වදනින් ජපානය වෙනුවෙන් පෙනී සිටීමට දැක්වූ කෘතඥතාව උදෙසා ජපන් රජය පිදූ මිත්‍රත්වයේ තිළිණයකි. 1983 අංක 54 දරන පනතින් ස්ථාපිතව, 1984 දී විවෘත වූ මෙම තෘතියික සත්කාරක මධ්‍යස්ථානය ඇඳන් 1,000ක ධාරිතාවකින් සමන්විත අතර, 1001 වැනි ඇඳ ජපන් රජය විසින් විශේෂයෙන් වෙන් කළේ තම ජාතිය වෙනුවෙන් හඬ නැගූ ඒ සුවිශේෂී මිනිසාට උපහාරයක් වශයෙනි. මෙය ජපන් රජය වෙනත් රටක් වෙනුවෙන් කළ සුවිසල්ම පරිත්‍යාගයක් ද වේ. එහෙත් වසර 42ක් පුරා ජේ.ආර්. ජයවර්ධන පවා පරිහරණය නොකළ, ඉතිහාසයේ සංකේතයක් බඳුව තිබූ එම 1001 වැනි ඇඳ අද ජනසතු කිරීමේ මහා රංගනයක් අප ඉදිරියේ දිග හැරී තිබේ. ඒ, එහි මෙතෙක් සැඟව තිබූ අතීත මානුෂීය වෘත්තාන්තය අනාගතය වෙත තිළිණ වීමේ අවකාශය මුළුමනින්ම අහුරාලමිනි.

වර්තමාන රජය විසින් රාජ්‍ය දේපොළ ජනතාවට යන උත්කර්ෂවත් ලේබලය යටතේ ජනාධිපතිවරයාට වෙන්ව තිබූ බව කියන මෙම කාමරය විවෘත කිරීම දෙස බලන විට සිහිවන්නේ පැරණි කියමනකි; එනම්, මොනරා පිල් විදහා රඟන සෑම විටකම උගේ අදෝමුඛය නිරාවරණය වන බවයි. රටට ඇඳන් 1,000ක් තිළිණ කළ මිනිසෙකුට ගෞරව පිණිස වෙන් කළ එකම එක ඇඳක් අත්පත් කර ගැනීම හරහා තම රජය උත්කර්ෂවත් පරිත්‍යාගයක් කළ බව පෙන්වීමට යාම හාස්‍යජනකය. ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු වන සුනිල් ජයසේකර පවසා ඇති පරිදි, “ජේ.ආර්. සතුටු වූයේ ඇඳන් 1000ක රෝහලක් ඉදිකිරීම පිළිබඳව වන අතර, මොවුන් සතුටු වන්නේ සංකේතාත්මකව තිබූ එක ඇඳක් අහිමි කරමින් කුහක ලෙසය.” මෙය සැබවින්ම වත්මන් ආණ්ඩුවේ දේශපාලන හීනමානයේ තවත් එක් දිගුවකි.
ශ්‍රී ලංකාවේ දශක ගණනාවක් තිස්සේ පැවති දේශපාලන සංස්කෘතිය තුළ රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව පොදු ජනතාව තුළ තිබුණේ දැඩි පිළිකුලකි. ජාතික ජන බලවේගය බලයට පැමිණියේ මෙම ක්‍රමය වෙනස් කර, රාජ්‍ය සම්පත් ජනතා සන්තක කිරීම යන ප්‍රධාන පොරොන්දුව පෙරදැරි කරගෙනය. නමුත් අද වන විට නිල නිවාස සහ වාහන පරිහරණය සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ විවිධ මත පවතී.

වත්මන් රජය පත්වූ විගස මීට පෙර පැවති අතිරික්ත වාහන සංචිත ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කරමින් ඒවා අවම කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කළේය. නමුත්, රාජ්‍ය තන්ත්‍රය පවත්වාගෙන යාමට අවශ්‍ය අවම පහසුකම් පරිහරණය කිරීම අවභාවිතයක් ලෙස හැඳින්විය නොහැක. පසුව අකමැත්තෙන් හෝ ඒ බව පිළිගැනීමට වත්මන් රජයට සිදුව තිබේ. එමෙන්ම රජයේ නිල නිවස භාර නොගන්නා බව පැවසූ කථානායකවරයා මේ වන විට රජයේ නිල නිවාස දෙකක්ම භාවිතා කිරීම සම්බන්ධයෙන් මාධ්‍ය මඟින් තොරතුරු අනාවරණය වෙමින් තිබේ. මෙය ලියන මොහොතේ අපගේ මතකයට නැංවුණු එක් නිදසුනක් පමණි. ඒවා එකිනෙක සිහි කරමින් ලියන්නට ගියහොත් මෙම ලිපිය අන් දිසාවකට හැරෙනු නියතය.
දකුණු ආසියාවේ නවීන තාක්ෂණයෙන් සන්නද්ධ ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ ගාම්භීරත්වය රැඳී ඇත්තේ එහි කෙළෙහිගුණ දන්නා ඉතිහාසය මතය. තම පෞද්ගලික වතුපිටි පවා ජනසතු කළ සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායකයන් සිටි රටක, අනුන්ගේ සමරු ස්මාරකයක් ජනසතු කර ජනතා වීරයන් වීමට තැත් කිරීම “මොනර නැටුමක්” මිස අන් යමක් නොවේ. අනෙක ආණ්ඩුව මේ පියවර ගන්නේ මේ වන විට එම රෝහලේ ඇඳන් 1000ම රෝගීන්ගෙන් පිරීයාම නිසා නොවේ. කෙළෙහිගුණ දත් ජපනුන් අදටත් ජේ.ආර්. වෙනුවෙන් ස්මාරක නඩත්තු කරන විට, ලාංකික අප කරන්නේ ඉතිහාසයේ සලකුණු මකා දමමින් සංකේතාත්මක රෝහල් ඇඳක් මතට තම ජරාජීර්ණ වෙමින් පවතින දේශපාලන පංචස්කන්ධය ඇද දැමීම නොවෙද? අවසානයේ අපට ඉතිරි වන්නේ ජපනුන්ගේ උතුම් කෘතඥතාව සහ ලාංකිකයන්ගේ කෙළෙහිගුණ නොදත් බව අතර පරතරය දෙස බලා උපහාසයෙන් සිනාසීමට පමණි.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජයවර්ධනපුර රෝහලේ 1001 වන ඇඳ ජනතා අයිතියට පැවරීම සද්භාවයෙන් කරන ලද්දක් ලෙස පිළිගත හැකි සාක්ෂි අතිශය විරල ය. සැබවින්ම මෙය හුදු දේශපාලන ඇස්බැන්ඳුමක් ලෙස පහසුවෙන් හඳුනා ගත හැකි බව ද රහසක් නොවේ. මෙතෙක් කල් රාජ්‍ය නායකයා වෙනුවෙන් වෙන් කර තිබූ විශේෂිත වරප්‍රසාදයක් පොදු ජනතාවට විවෘත කිරීම සංකේතාත්මකව ඉතා වැදගත්ය. එයින් ගම්‍ය වන්නේ පාලකයා සහ පාලිතයා අතර ඇති පරතරය අවම කිරීම බව බැලූ බැල්මටම පෙනෙන්නට තිබේ.

ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහල් වෙබ් අඩවියට අනුව රෝහල සතුව වඩාත් සුවපහසු සහ පහසු පරිසරයක් තුළ ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබා දීම සඳහා වන I වන පන්තියේ සහ II වන පන්තියේ ගෙවන වාට්ටු තිබේ.I වන පන්තියේ ගෙවන වාට්ටුව දුරකථන සහ රූපවාහිනී පහසුකම් සහිත වායුසමනය කළ තනි කාමර 18 කින් සමන්විත වන අතර II වන පන්තිය තනි සහ හවුල් කාමරවලින් සමන්විත වේ. සියලුම ගෙවන වාට්ටු සඳහා ඉතා රසවත්, උසස් තත්ත්වයේ ආහාර සපයනු ලබන අතර රෝගීන්ට තමන් කැමති ආහාර මෙනුවක් තෝරා ගැනීමේ අවස්ථාව ද ඇත. ශ්‍රී ජයවර්ධනපුර මහා රෝහලේ සේවය කරන ඕනෑම විශේෂඥ වෛද්‍යවරයකු යටතේ ගෙවන වාට්ටුවකට ඇතුළත් වීමට රෝගීන්ට අවසර හිමි වේ. ඒ අනුව ඒවාට ගෙවිය යුතු මිල ගණන් ද දහස්, ලක්ෂ සීමාවන් ඉක්මවා මිලියන සීමාවට පිවිසීමේ පහසු ඉඩක් තිබේ.

අනෙක ශ්‍රී ජයවර්ධනපුර රෝහල යනු ජපානය විසින් ශ්‍රී ලංකාවට කරන ලද පරිත්‍යාගයකි. මෙවැනි සම්පත් පරිහරණය කිරීමේදී විදේශීය සබඳතාවලට හානි නොවන පරිදි සහ එම සම්පත්වල ගෞරවය ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම රජයක වගකීමකි. නමුත් වත්මන් ආණ්ඩුව ගන්නා මෙවන් පටු තීන්දු තීරණ අනුව ශ්‍රී ලංකාවේ වැඩවසම් යුගය නිමා වී ඇති බව පවසා, මේ වන විට කොළඹ ජාතික කෞතුකාගාරයේ තැන්පත් කොට ඇති අප රටේ අවසන් රජු වන ශ්‍රී වික්‍රම රාජසිංහයන්ගේ සිහසුන ආණ්ඩුවේ කන්තෝරුවකට ඇද දැම්මොත් අපි එතරම් පුදුමයට පත් නොවන්නෙමු. මක් නිසාද යත් වත්මන් ආණ්ඩුව මේ වන විට එවැනි “මෝඩ චූන්” වලට වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් හිඳින බැවිනි.




(සටහන | ෆාතිමා හලල්දීන්)