ප්‍රභූ සහ නිර්ප්‍රභූ දේශපාලනය කියන්නෙ මොකක්ද කියන එක ගැන  කතිකාවක් ඇතිවෙලා තියෙනවා.


නිර්මාල් රංජිත් දේවසිරි වගේ අය කියන විදිහට පාඨලී ප්‍රමුඛ 43 ප්‍රභූ දේශපාලනයේ මාවතක් වන අතර ජවිපෙ නිර්ප්‍රභූ දේශපාලන මාවතක් විවර කරනවා. එතකොට මොකක්ද මේ ප්‍රභූ කියන්නෙ?

 එලීට් තියරියට (ප්‍රභූ න්‍යාය) අනුව ප්‍රභූන් කියන්නෙ බලය කේන්ද්‍රගත වෙලා තියෙන ආයතන හොබවන සුළුතර පිරිස. ඒ අය එක කණ්ඩායමක් විදිහටයි ඉන්නෙ. සංවිධානාත්මකයි.

නිර්ප්‍රභූන් කියන කොටස මීට වඩා වෙනස්. ඒ අය විසිරිලා ඉන්නෙ. ඒ අයට බලයක් නෑ.

ඒ වගේම එලී‍ටයො නැත්නම් ප්‍රභූන් ප්ලූරසිම් හෙවත් බහුත්වවාදී බව පිළිගන්නෙ නෑ. ඒ කියන්නෙ සමාජයේ විවිධ ප්‍රජාවන්ගේ විවිධ අවශ්‍යතා දේශපාලනය තුල නියෝජනය විය යුතුයි කියල ඒ ගොල්ලො විශ්වාස කරන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදය නමින් මොන චන්ද පැවැත්වුවත් බලය හොබවන ආයතන හරහා එලීටයො ප්‍රතිපත්ති සම්පාදනය ආදිය පාලනය කරනවා.



මේ එලීටයන් ගැන මුල්කාලීනව අධ්‍යනය කළ විල්ෆ්‍රෙඩො පැරෙටා කියන දේශපාලන විද්‍යාඥයා මේ එලීටය දේශපාලනමය එලීටය සහ දේශපාලනමය නොවන එලීටය විදිහට වර්ග කරනවා. ඒ වගේම ලංකාව වගේ රටක නම් මේ එලීටය යටත්විජිත සමයට පෙර, යටත්විජිත සමයේ සහ ඉන්පසු නිදහස් ලංකාවේ එලීටය වශයෙන් බෙදා කියවන්නත් පුළුවන්.


මීට වඩා සරලව මේ ප්‍රභූවාදය තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක මේ සාම්ප්‍රදායික ‍තේරුම් ගැනීමට වඩා වෙනස්.  ඒ තමයි තමන් තුල රාජ්‍යය පිළිබඳ පවතින හැඟීම අනුව ප්‍රභූත්වය තේරුම් ගැනීම.

තමන් රාජ්‍යයට වඩා ඉහළින් කියන හැඟීමෙන් ඉන්න පිරිස ප්‍රභූන් සහ තමන්ට වඩා රාජ්‍යය විශාලය කියන හැඟීමෙන් ඉන්න පිරිස නිර්ප්‍රභූන් විදිහට දකින්න පුළුවන්.



ප්‍රභූන් හිතන්නෙ රාජ්‍යය තමන් විසින් නිර්මාණය කළ යුතුයි, පවත්වාගෙන යායුතුයි කියලයි. නිර්ප්‍රභූන් විශ්වාස කරන්නෙ රාජ්‍යය විසින් තමන්ව නිර්මාණය කළ යුතුයි, පවත්වාගෙන යා යුතුයි කියලයි.


ලංකාවෙ සුද්දන්ගෙන් බලය හිමිවුනු ප්‍රභූ පංතිය කෙමෙන් වඳවේගන ගිහින් අද වෙද්දි රනිල් - චන්ද්‍රිකා වගේ අවසාන බෙලසුන් චරිත කීපයක් ඉතුරු වෙලා ඉන්නවා.

මේ බලය සුද්දන්ගෙන් කලුසුද්දන් යැයි කියන අය අතට යද්දි ඒක තමන් අතට ගන්න බැරි වුනු සිංහල බෞද්ධ ප්‍රභූ පංතියක් එදා ඉඳන්ම බල තරගයේ ඉන්නවා. නිදහස් අධ්‍යාපන පරපුර කියන්නෙත් මේ සිංහල බෞද්ධ ප්‍රභූ පංතියෙම කොටසක්.  මේ ප්‍රභූ පංතියේ වර්තමාන නියෝජනය විදිහට තමයි චම්පික රණවක ඉදිරිපත් වෙලා ඉන්නෙ.

MR Pd 122020.03.26 1                                ආර්. ප්‍රේමදාස - මහින්ද රාජපක්ෂ 

 

මෑත ඉතිහාසයේ සිදුවුනු විශාලතම නිර්ප්‍රභූ විප්ලවය සිද්ද වුනේ මහින්ද රාජපක්ෂ අතින්. මීට කලින් යූඇන්පියේ ආර් ප්‍රේමදාස නිර්ප්‍රභූ පෙරලියක් කළා වුනත් ප්‍රේමදාසගේ උවමනාව වුනේ ප්‍රභූත්වයට පත්වීමයි.

මහින්ද රාජපක්ෂ සම්පූර්ණ රටක්ම තමන්ට හිමි වුනත්, රටෙන් හැකි කුමක් හෝ හොරකම් කරගෙන ගිහින් තමන්ගේ පවුල ගොඩනගා ගැනීමේ නිර්ප්‍රභූ ආශාවෙන් පෙළුනා. ඒ නිර්ප්‍රභූත්වය සංස්කෘතියක් විදිහට රටම වැළඳගත්තා.

රාජ්‍යයේ ඇති දේ තමන්ගේ පවුලට, තමන්ට පුද්ගලිකව නතු කරගැනීමේ ආශාව නිර්ප්‍රභූ උවමනාවක්. ඒ අයට රාජ්‍යයක්, සමූහයක් වශයෙන් අදහසක් නෑ.

නිර්ප්‍රභූ විප්ලවයන්ට නායකත්වය දුන්නා යැයි කියන ලෙනින්ලා වුනත් ඇත්තටම ප්‍රභූන්. ඒ අයට තිබුනෙ රාජ්‍යය ගැන සැලසුමක්.




ලංකාවෙ නිර්ප්‍රභූන්ව හඳුන්වන හරිම වචනය තමයි බයියා. මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තුවෙ මාත් බයියෙක් කියල කියන්නෙ ඒකයි. ‘අපි වැව්වොත් අපි කනවා’ කියන්නෙ නිර්ප්‍රභූ සටන්පාඨයක්. මේ නිර්ප්‍රභූත්වය සල්ලි මත තීරණය වෙන දෙයක් නෙමෙයි. ‘අපිට පොලිටික්ස් වැඩක් නෑනෙ. අපේ පාඩුවෙ අපි ඉන්නවා’ කියන පොෂ් අයත් ඉන්නෙ නිර්ප්‍රභූ මානසිකත්වයක.



රාජපක්ෂලා විසින් කරපු ඓතිහාසිකව වැදගත්ම කාරණය වෙන්නෙ සිංහල බෞද්ධ ප්‍රභූත්වයට එළව එළවා පහරදීමයි. ඒ ප්‍රභූත්වය ඇතුලෙන්ම මුල්අදිමින් එය විනාශ කරන්න රාජපක්ෂලාට පුළුවන් වෙනවා. සඟ, වෙද, ගුරු, ගොවි කියන සියලු ප්‍රභූ පංතිවලට රාජපක්ෂලා ඇඩ්‍රස් නැති කරනවා. චම්පිකලා එලියට විසිවෙන්නෙ එහෙමයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නෙ නිර්ප්‍රභූ දේශපාලනයට රාජ්‍යයක් පවත්වාගෙන යන්න බැරි එක.

බඩගින්න, බඩුමිළ, ඩීසල් ආදී ප්‍රශ්න මතින් නැගෙන දේශපාලනය නිර්ප්‍රභූ දේශපාලනයක්. අසංවිධානාත්මක ආවේගකාරී කැරලි ස්වරූපයෙන් මතුවෙන ඒ දේශපාලනයට සැලසුමක් නෑ.


Sajith 2022.03.26 1
 
මේ වෙද්දි නිර්ප්‍රභූ දේශපාලනයේ මූලික ප්‍රවාහය විදිහට දකින්න තියෙන්නෙ ජවිපෙ නෙමෙයි. එතන ඉන්නෙ සජිත්. සමගි පෙරමුණ ඇතුලෙ සජිත් මේ මොහොතෙ මුහුණ දෙමින් ඉන්න අර්බුදය ප්‍රභූ සහ නිර්ප්‍රභූ දේශපාලනයේ ගැටුමයි.



ජවිපෙ කියන්නෙ ප්‍රභූ දේශපාලනයක්




ජවිපෙ කියන්නෙ ප්‍රභූ දේශපාලනයක්. ජවිපෙ පදනම වෙන්නෙම විශ්ව විද්‍යාල සහ මධ්‍යම පාංතික ජනතාව. සජිත්ගෙ රැලියට ඇවිත් මිනිස්සු අරක්කු බොන එක ගැන වැඩියෙන්ම වද වුනේ පොහොට්ටුව නෙමෙයි, ජවිපෙ. ඒ ජවිපෙ ඇතුලෙ තියෙන සිංහල බෞද්ධ ප්‍රභූ මානසිකත්වය.

ජවිපෙ සහ පාඨලී වෙනස් වෙන්නෙ සිංහල බෞද්ධ ප්‍රභූත්වයේ වම සහ දකුණ හැටියට කියලයි මං හිතන්නෙ. නමුත් මේ වෙද්දි ලංකාවට බටහිර සභ්‍යත්වය සමග බැඳුනු ලිබරල් ප්‍රභූ නායකත්වයක් අහිමියි.
 
අපි තේරුම් ගන්න ඕන දේ තමයි රාජ්‍යයක් කියන අදහස ඇතුව සැලසුම්ගත, සංවිධානාත්මක වැඩක් කරන කවුරු වුනත් කරන්නෙ ප්‍රභූ දේශපාලනයක් කියන එක. නිර්ප්‍රභූ උවමනාවන්ට වැඩිපුර කන්දෙන, බහුත්වවාදී ප්‍රභූ දේශපාලනයක් වෙනුවෙන් අපිට වැඩ කරන්න පුළුවන්.

 ප්‍රශ්නෙ තියෙන්නෙ සාම්ප්‍රදායික ප්‍රභූන්ගේ තිබුණු තරමෙවත් නිදහස්කාමී, විවෘත බවක් අද කිසිම නූතන දේශපාලන පක්ෂයක නැති එකයි. පොදු සාධකයක් විදිහට සියලු ප්‍රගතිශීලී යැයි කියන බලවේග පිහිටන්නෙ රිග්‍රෙසිව් ආස්ථානයක.



එලීටය (ප්‍රභූමය) නොවන දේශපාලනයක් තමයි මේ තියෙන්නෙ. අපි අත්විඳින්නෙ ඒකෙ විනාශය සහ අවසානය. ඊළගට ගෙන ආ යුත්තේ කවරාකාර එලීටයක්ද කියන එකයි අපි මුහුණ දෙන ප්‍රශ්නය.


සිංහල බෞද්ධ භික්ෂූන්, වෛද්‍යවරුන්, නිදහස් අධ්‍යාපන උගතුන්, ගුරුවරුන් ප්‍රමුඛ කොටගත් ප්‍රභූ පංතියෙන් බාහිර තෝරාගැනීමක් අපිට තියෙනවද?

ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස, අයිතිය, විවෘතබව ආකල්ප කොටගත් නිර්ප්‍රභූ උවමනාවන්ට කන්දෙන ලිබරල් ප්‍රභූ නායකත්වයක් කියන එකයි ලංකාවෙ දේශපාලනයේ මේ වෙද්දි තියෙන ලොකුම හිඩැස.



බටහිරට ගැති ප්‍රභූන්ගෙන් දේශීය ප්‍රභූන් අතට බලය ගැනීම



මේ ගැන හොඳටම දැනුවත්ව ප්‍රකාශ කරන්නෙ චම්පික රණවක පාර්ශ්වය. බටහිරට ගැති ප්‍රභූන්ගෙන් දේශීය ප්‍රභූන් අතට බලය ගැනීමයි තමන්ගේ වෑයම කියල එයා ප්‍රසිද්ධියෙ කියනවා.  

ඒ ප්‍රකාශ කිරීම හින්දම නිර්ප්‍රභූ සමස්තය එතනින් විතැන් වෙනවා විතරක් නෙමෙයි ප්‍රභූන් පවා සෑහෙන පිරිසක් පිටස්තර වෙනවා. දේශපාලනිකව ඔය කියන දේශීය ප්‍රභූ බලය දුර්වල වීමයි ඒ ව්‍යාපෘතිය හරහා සිද්ද වෙන්නෙ. ඒක හොඳ දෙයක්.




ඉන් බාහිර සමස්ත බලය ජවිපෙට අත්පත් කරගන්න බැරි වෙන්නෙ ජවිපෙ අභ්‍යන්තරිකව දරන සිංහල බෞද්ධ විනය හින්ද. ඇත්තටම ජවිපෙ කියන්නෙ ඇතුලතින් පාඨලී නියෝජනය කරන පිරිසෙම අඩුකුලේ සෙට් එක. ඒ හින්දම වඩාත් ශික්ෂාසම්පන්න වැදගත්කමක් දරන්න උත්සාහ කරන මානසිකත්වයක් ජවිපෙට තියෙනවා. ඒ අය කන්‍යාභාවයක් රකින පිරිසක්.


කෙනෙකුට හිතෙන්න පුළුවන් අර කලින් සඳහන් කළ ප්‍රජාතන්ත්‍රවාදී විවෘත ලිබරල් අවකාශය අහෝසියි කියල. ඒත් ඒ දිහා බලන්න තව විදිහක් තියෙනවා. 
 
නිර්ප්‍රභූ උවමනාවන් සැබවින්ම හඳුනාගත් අයිතීන් සහ නිදහස ගරු කරන, සිංහල බෞද්ධ වෙනුවට ශ්‍රී ලාංකීය නූතන අනන්‍යතාවයක් විශ්වාස කරන ප්‍රභූත්වයක් සාමූහිකව නිර්මාණය කිරීමේ හැකියාව සහ අවශ්‍යතාවය ඉස්මතු වෙලා තියෙනවා. (නැවත සිහිපත් කරන්නෙ මෙතනදි ප්‍රභූත්වය යනු රාජ්‍යය සම්බන්ධයෙන් පවතින හැඟීමයි).  

 
MS 2022.03.26 1මංගල මියදෙන්නට සති කිහිපයකට පෙර තරුණ තරුණියන් සමග පැවති මාධ්‍ය හමුවෙන් අනතුරුව..



කවුරුන් හෝ පුද්ගල නායකත්වයක් ප්‍රමුඛ කොටගත් බලවේගයක් වෙනුවට සාමූහික පුරවැසි බලවේගයක් පළමු වරට ගොඩනැගෙන්න ඉඩක් තියෙනවා.

නිදහස් අධ්‍යාපනය වෙනුවට අන්තර්ජාල සහ විවිධ මාදිළිවල විවෘත අධ්‍යාපනය ලැබූ, වෙනස් වෘත්තීන් හඹායන, භූගෝලීය රටක් වෙනුවට සයිබර් විශ්වයක ජීවත් වෙන තරුණ තරුණියන්ගේ දේශපාලන නියෝජනයක අවශ්‍යතාවයක් පවතිනවා.

ඒක නිර්ප්‍රභූ දේශපාලනයක් නෙමෙයි. පාඨලී හෝ ජවිපෙ පෙනී සිටින පැරණී ප්‍රභූ එකේ යළි උත්ථානයකුත් නෙමෙයි.  ඒ වෙනුවට අනාගතය ඉලක්ක කරගත්, සුළුතර ප්‍රජාවන් නියෝජනය කරන, බහුත්ව උවමනාවන්ට කන්දෙන,  නිර්මාණාත්මක නව ප්‍රභූ දේශපාලනයක්.

මේ මොහොත වියදම් කළ යුත්තේ ඒ වෙනුවෙන් වැඩකරන්නයි.



(චින්තන ධර්මදාස)
අධ්‍යක්ෂ facultyofsex
දේශපාලන හා සමාජ විශ්ලේෂක

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා ජාතික පුවත්පතේ පළවූ ලිපියකි)
 

The Leader TV අද වීඩියෝ
 
 
 
 
 
 
 


Leader Whats app


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්