1200 x 80 DMirror

 
 

සර්ව-පාක්ෂික යැයි කී පමණින්ම ගම්‍ය කෙරෙන්නේ පොදු එකඟතාවකි. පොදු බවක් නැති තැන, සර්ව-පාක්ෂික බවක් තිබිය නොහැක.



රටක් වශයෙන් අද අප මුහුණදී සිටින අර්බුදය තුළ, පොදු එකඟතාවක් යනුවෙන් ගම්‍ය කෙරෙන්නේ, අත්‍යාවශ්‍ය සහ හදිසි අවශ්‍යතාවන් පිළිබඳ පොදු එකඟතාවකි.

 

අවශ්‍යතා උපරිම වන තරමට සහ ඒවා හදිසි නොවන තරමට සහ දීර්ඝකාලීන වන තරමට, සර්ව-පාක්ෂිකත්වයක් ඇති නොවේ. ඒ නිසා ඕනෑම සර්ව-පාක්ෂිකත්වයක් ගැන අප සාකච්ඡාව පටන්ගත යුත්තේම, අවම, අත්‍යාවශ්‍ය සහ හදිසි කොන්දේසි සම්බන්ධයෙන් පමණි.

 

උදාහරණයක් විදිහට, මේ සිදුවීම් පෙළ සැලකිල්ලට ගන්න: අවුරුදු දෙක හමාරක කාලයක් තුළ මුළු රටම හැම අතකින්ම කඩාවැටුණි. එහි ප්‍රධාන විත්තිකරුවා ගෝඨාභය රාජපක්ෂ බවට තීරණය කළ ජනතාව ඔහුට එරෙහිව දැවැන්ත ආකාරයකින් නැඟී සිටියහ.

ඒ නැඟිටීම කෙතෙක් අත්‍යාසන්න වශයෙන් ඔහුගේ හුදු ජීවිතයම පවා පරදුවට වැට්ටුවේද යත්, ඔහු රටත් අතහැර පලාගියේය.

ඔහු එසේ පලාගියේ, 69 ලක්ෂයේ ජනතාව මෙහි තනි කොට ය. ඒ ජනතාව නියෝජනය කරන පොහොට්ටු කඳවුර පාර්ලිමේන්තුවේ තනි කොට ය.

ඊට අමතරව, තව විශේෂිත තත්වයක් උද්ගත විය. ඒ වනාහී, ඉහත කී 69 ලක්ෂය විසින්මත්, ඊට අමතරව සෙසු සියලු පක්ෂ විසින්මත් මීට වසර දෙකකට කලින් ප්‍රතික්ෂේප කරන ලද රනිල් වික්‍රමසිංහ, ඉහත කී පලාගිය ජනාධිපතිවරයා සහ ඔහුගේ 69 ලක්ෂය නියෝජන කරන නව නායකත්වයට (ජනාධිපති තනතුරට) පත්වීමයි.

IMG 20220721 102824

දැන් මෙතැන පටලැවිල්ලක් තිබේ. ඒ 69 ලක්ෂය, මේ වන විට බරපතල රූපාන්තරණයකට ලක්ව සිටින බව අපි කවුරුත් දනිමු. අද රටේ සිටින එකී 69 ලක්ෂය, 2019 දී සහ 2020 දී පිළිවෙලින් ගෝඨාභය රාජපක්ෂ සහ පොහොට්ටු පක්ෂය බලයට පත්කළ 69 ලක්ෂයේ ස්වරූපයෙන් සපුරා වෙනස් ය. එහෙත්, ඔවුන් නියෝජනය කිරීම සඳහා අද පාර්ලිමේන්තුවේ බහුතරය තුළ සිටින්නේ, එදා සිටි මන්ත්‍රීවරුන් පිරිසමයි.

 

අවුරුදු දෙකහමාරක කාලයක් තුළ ජනතාවක් වශයෙන් විශාල වශයෙන් වෙනස් වී ඇතත්, ඔවුන්ගේ පාර්ලිමේන්තු නියෝජනය වෙනස් වී නැති බව එයින් පෙනේ. එය, විකෘතියකි.

එපමණක් නොව, ඉහත කී පරිදි, අද සිටින ජනාධිපතිවරයාගේ නම රනිල් වික්‍රමසිංහ වුවද, ඔහු ව්‍යවස්ථානුකූලව නියෝජනය කරන්නේද, පලාගිය ගෝඨාභය රාජපක්ෂ ඇතුළු පොහොට්ටු කඳවුරම වීම, ඉහත කී විකෘතිය, විගඩමක් බවට පත්කරයි.


රනිල් රිංගපු හිල:


රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ තත්වය ගත්තොත්, එය ලෝකයේ කිසි ප්‍රජාතන්ත්‍රවාදී රටක මීට පෙර කිසි දවසක සිදුව ඇතැයි වාර්තාගතව නැති තත්වයකි.

ප්‍රජාතන්ත්‍රවාදයේ මෙවැනි හිල් රාශියක් තිබේ. ඉන් සමහර ඒවා, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ මගින් සහ දියුණු දේශපාලන සංස්කෘතියක් මගින් නිවැරදි කරගත හැකි දේවල් ය.

තවත් ඒවා, මනුෂ්‍ය ස්වභාවය මීටත් වඩාත් දියුණු තත්වයකට පත්වන තෙක්, නිවැරදි කරගත නොහැකි දේවල් ය.

 

ඒ කෙසේ වෙතත්, මේ දක්වා ලෝකයේ අත්හදාබලා ඇති සෑම ක්‍රමයකටම වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය තවමත් වඩාත් ප්‍රශස්ත පාලන ක්‍රමය වශයෙන් අප පිළිගත යුතුය. අසාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදය පවා, ‘හොඳම’ ආඥාදායකත්වයට වඩා හොඳ ය. ඒ නිරීක්ෂණය, ‘කම්කරු පංති ආඥාදායකත්වය’ වෙතත්, ‘ධනපති පංති ආඥාදායකත්වය’ වෙතත්, වෙනස් නොවේ.   

 

ගැටළුව විසඳාගත හැකි ක්‍රම දෙකක් !


මේ තත්වය යටතේ, අප අද මුහුණදෙමින් තිබෙන ගැටළුව විසඳාගත හැකි ක්‍රම දෙකක් තිබේ.

එකක්, ප්‍රචණ්ඩ විප්ලවයකින්, වර්තමාන ජනාධිපතිවරයා ඇතුළු පාර්ලිමේන්තුව පෙරළා දැමීමයි. දෙවැන්න වන්නේ, ඊළඟ මැතිවරණයක් මාර්ගයෙන් ඔවුන් ගෙදර යවා වෙනත් පිරිසක් පත්කරගැනීමයි.

පළමු ක්‍රමය මේ රටේ ජනතාව කිසිසේත් අනුමත කරන දෙයක් නොවේ. මේ ලියුම්කරු එය අනුමත කරන්නේද නැත. ඒ නිසා, අපට යොමුවීමට සිදුවන්නේ දෙවැනි ක්‍රමය වෙතටයි.

එහිදී, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියා දෙයක් තිබේ. ඊට අනුව, ඊළඟ ආසන්නතම පාර්ලිමේන්තු මැතිවරණයක් කැඳවීමේ නෛතික සහ ව්‍යවස්ථාමය කොන්දේසි සම්පූර්ණ වන්නේ ඊළඟ මාර්තුවේ ය.

ඒ අනුව, අපට මොන තරම් ‘හදිසියක්’ තිබුණත්, අඩු වශයෙන් තව මාස අටක්වත් එය දරාගැනීමට, ව්‍යවස්ථානුකූලත්වය සහ නෛතිකත්වය විසින් අපට බල කරනු ලැබේ. (ජනාධිපතිවරයාට පවා මේ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ, එය පිහිටුවා ගත වී අවුරුදු දෙකහමාරකින් පසුව පමණි).

 

එසේ වූ පමණින්, එය අපතේ යන කාලයක් හෝ ‘නොනගත කාලයක්’ වශයෙන් සැලකිය යුතු නැත. ඇත්තෙන්ම සිදුවිය යුත්තේ එහි අනිත් පැත්තයි. එනම්, ඒ කාලය වඩාත් ඵලදායීව සහ සක්‍රීයව පාවිච්චි කිරීමට හැම අතකින්ම අප කටයුතු කළ යුතු බවයි. රට තවත් ප්‍රපාතයට යන්නේද, අද පවතින ප්‍රපාතයෙන් ගොඩඒමේ ඉඩහසරක් ඒ තුළින් නිර්මාණය කරගන්නේද යන්න, එකී කාලය තුළ, අපේ (විපක්ෂයේ) මැදිහත් වීම මත, නිශ්චය වනු ඇත.

 

''ප්‍රධාන දෙපාර්ශ්වය අතරමැද සම්මුතියකට පැමිණිය යුතුව තිබේ''


ඒ කාලය සඳහා, ප්‍රධාන දෙපාර්ශ්වය අතරමැද සම්මුතියකට පැමිණිය යුතුව තිබේ. ප්‍රධාන දෙපාර්ශ්වය යනු, ජනාධිපතිවරයා ඇතුළු පොහොට්ටු ආණ්ඩුවත්, මේ මොහොතේ ඔවුන්ට ප්‍රති-පක්ෂව සිටින පොදු මහජනතාවත් ය.

ඒ පොදු මහජනතාවගේ බහුතරයේ නියෝජනය මේ මොහොතේ මහපාරේ හිමිව තිබෙන්නේ, ප්‍රධාන විපක්ෂය ඇතුළු සෙසු විපක්ෂ කණ්ඩායම්වලටයි. එහෙත්, පාර්ලිමේන්තු බහුතරය තිබෙන්නේ, එකී ජනතාව අඩුවෙන්ම නියෝජනය කරන පොහොට්ටු පාර්ශ්වයටයි.

සර්ව-පාක්ෂික ආණ්ඩුවක් සහ සර්ව-පාක්ෂික වැඩපිළිවෙලක් ගැන කතා කිරීමේදී මේ සියලු කරුණු සිහියේ තබාගැනීම වැදගත් ය.


ප්‍රති-තර්කයක්


අද අප සර්ව-පාක්ෂික වැඩපිළිවෙලක් සහ සර්ව-පාක්ෂික ආණ්ඩුවක් පිළිබඳ මේ යෝජනාව ඉදිරිපත් කරන විට, ඇතැම් අය එය ප්‍රති-ප්‍රශ්න කරන තත්වයක් අප නිරීක්ෂණය කොට තිබේ.

ඊයේ, විජයදාස රාජපක්ෂ කියා ඇති පරිදි, මීට බොහෝ කලකට කලින් මේ යෝජනාව ඔහු ඉදිරිපත් කෙළේලු. එපමණක් නොව, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවා එක් අවස්ථාවකදී මෙවැනි සර්ව-පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කළ බව අපට මතකයි.

තවද, යම් කොන්දේසි යටතේ එවැනි යෝජනාවක් තමන් ඉදිරිපත් කළ බව අනුර කුමාර දිසානායක පවා ඊයේ කීවේය.

 

ඉතිං, විවිධ පාර්ශ්වවලින්, විවිධ කොන්දේසි සහ විවිධ වර්ණයන් යටතේ ඉදිරිපත් වූ ඒ සර්ව-පාක්ෂිකත්වය එදා ප්‍රතික්ෂේප වීමටත්, අද සර්ව-පාක්ෂිකත්වයක් වෙනුවෙන් පෙනී සිටීමටත් හේතු කවරේද යන සාධාරණ සැකයක් කෙනෙකු තුළ ඇති විය හැකිය.

 

2022 7largeimg 504353375

ජුලි 9 වැනිදා, මහා නැඟිටීම විසින් රාජපක්ෂවාදය ඔළුවෙන් සිටෙව්වේය.

 

ඔය කියන සෑම සර්ව-පාක්ෂිකත්වයක්ම එදා ඉදිරිපත් වුණේ රාජපක්ෂවාදී නායකත්වයක් බලය හොබවද්දී ය. ජුලි 9 වැනිදා, මහා නැඟිටීම විසින් ඒ රාජපක්ෂවාදය ඔළුවෙන් සිටෙව්වේය. එනම් රටේ දේශපාලනික මනෝභාවය උඩුයටිකුරු කළ බවයි.

 

අද රාජපක්ෂ කඳවුර යනු, අංශභාග රෝගයට පත්ව සිටින පුද්ගලයෙකු වැනි ය. එක අංශයක් අකර්මණ්‍ය වුවද, අනිත් අංශය වැඩ කරයි. (අප බුද්ධිමත්ව කටයුතු නොකළොත්, තව අවුරුදු කිහිපයකින් ඒ රෝගියා මුළුමණින් සුව වීමට හොඳටම ඉඩ තිබේ). ඒ නිසා, මෙය තීරණාත්මක දේශපාලනික පරිවර්තනයක් සඳහා පාවිච්චියට ගත හැකි දුර්ලභ අවස්ථාවක් වශයෙන් සැලකිල්ලට ගත යුතුය. 

 

(තවත් ප්‍රශ්නයක් මතු කෙරේ. ගෝඨාභය ගියාට රනිල් පැමිණ සිටී. රනිල්ට, බටලන්ද ගැන සහ මහබැංකුව ගැන අපකීර්තියක් තිබේ. මෙය, ඒ චෝදනා නිෂ්ප්‍රභ කිරීමට ඔහුට ලැබී ඇති මහඟු අවස්ථාවකි. ඊයේ (3) වෘත්තීය සමිති නායක ජෝසප් ස්ටාලින් (සහ ඊට පෙර තවත් අරගලකරුවන්) අනවශ්‍ය අන්දමින් අත්අඩංගුවට ගැනීම වැනි සිද්ධි නිසා, ගෝඨාභය වගේම, අතට ලැබුණු බත් ටික කටට දාගන්නට බැරි තත්වයක් ඔහුටත් උදාවේද යන සාධාරණ ප්‍රශ්නාර්ථයක් ඉතිරිව ඇති බවත් කිව යුතුය.)


රනිල්ගේ සිරගෙය


පුද්ගල චරිත ස්වභාවයන් දේශපාලනයේදී වැදගත් වෙතත්, අපේ සාකච්ඡාව වර්තමාන දේශපාලන අවකාශය පිළිබඳ කාරණයට පමණක් මෙහිදී සීමා කරමු.


මේ මොහොත වන විට රනිල් වික්‍රමසිංහ යනු, ජුලි 9 වැනිදා අවසාන වශයෙන් ගෙදර යැවූ රාජපක්ෂවාදී පොහොට්ටුවේ සිරකරුවෙකි. ඔහු කැමති වෙතත් නැතත්, ඉදිරි අවුරුදු දෙකක පමණ කාලය ඔහුට වැඩ කිරීමට සිදුවන්නේ ඔවුන් සමග ය.

එය, ඔහුට අයහපතක් වෙනවා විතරක් නොව, රාජපක්ෂලාව පන්නා දැමූ ජනතාවගේ අභිලාෂයන් ව්‍යර්ථ කිරීමකටද තුඩුදෙනු ඇත.

 

ඒ නිසා, මේ කියන කෙටිකාලීන, සර්ව-පාක්ෂික කාලයේදී, එක පැත්තකින්, ජනාධිපතිවරයාගේ අයිතිය ජනතා සන්තකයට පත්කරගත යුතුය. එනම්, ඔහු රාජපක්ෂවාදී පොහොට්ටුවට සේම, රාජපක්ෂවාදී-නොවන සමස්ත විපක්ෂයටත් අයත් ජනාධිපතිවරයකු බවට පත්කරගත යුතුය.

 

පොහොට්ටුවේ පාර්ලිමේන්තු බහුතරය සමග ඒ කර්තව්‍යය සම්පූර්ණ කරගැනීමට නොහැකි වීමේ ඉඩක් තිබේ. එහෙත්, යම් දුරක් දක්වාවත්, ජුලි 9 වැනිදා මහපාරේ ප්‍රකාශයට පත් ජනතා අභිමතයේ යම් කොටසක්වත් මුදුන්පත් කරගැනීමේ මෙවලමක් බවට වර්තමාන ජනාධිපතිවරයා පත්කරගැනීමේ සැබෑ විභවයක් ඇති බව අවධාරණයෙන් කිව යුතුය.

(තවදුරටත් මතක් කරමි: අප මේ කතා කරන්නේ කෙටිකාලීන, කොන්දේසි සහිත, සර්ව-පාක්ෂික කාරණයක් ගැන පමණි).


දැන් අපේ මූලික කාරණාවට එමු:

 

එනම්, වර්තමාන ප්‍රධාන විපක්ෂය විසින් මේ වන විට ප්‍රකාශයට පත්කොට ඇති මේ පිළිබඳ ඔවුන්ගේ ස්ථාවරය ගැනයි. සර්ව-පාක්ෂික වැඩපිළිවෙලකට තමන්ට සහාය විය හැකි වෙතත්, සර්ව-පාක්ෂික ආණ්ඩුවකට තමන් සහභාගී නොවන බව ඔවුන් කියා තිබේ. මෙය, අපභ්‍රංසයකි. වැඩපිළිවෙල පමණක් සර්ව-පාක්ෂික වී, එය ක්‍රියාත්මක කිරීම ඒක-පාක්ෂික (පොහොට්ටුව) වූ විට, ඒ වැඩපිළිවෙල සාර්ථක විය හැකි යැයි, සාධාරණ තර්ක ඥානයෙන් අපට නිගමනය කළ හැකිද?

 

ඕනෑම සර්ව-පාක්ෂිකත්වයක් සාර්ථක වීමට නම්, ඒ සර්ව-පාක්ෂිකත්වයේ වැඩපිළිවෙල පිළිගැනීමට අමතරව, ඒ වැඩපිළිවෙල අවසානයක් දක්වා ක්‍රියාවට නැංවීමේ වගකීම සහ වගවීමද සියලු පාර්ශ්ව විසින් දැරිය යුතුය.

තවත් විදිහකින් කිවහොත්, සර්ව-පාක්ෂිකත්වයේ හිමිකාරීත්වයේ සම-පංගුකරුවන් බවට සියල්ලන් පත්විය යුතුය. සර්ව-පාක්ෂිකත්වයක සුජාත භාවය උපදින්නේ එතැනිනි.

එය සාර්ථක වෙතොත්, එහි කීර්තිය සියල්ලන්ටමයි. අසාර්ථක වෙතොත් එහි වගකීමත් සියල්ලන්ටමයි.

 

“උදව් කරන්නම්, හැබැයි අපි ඕවාට නැහැ” ප්‍රතිපත්තිය, මේ මොහොතේ තත්වයන් යටතේ නොමේරූ දේශපාලනික ස්ථාවරයක් වෙනවා පමණක් නොව, මීටත් වඩා අවාසනාවන්ත අන්තයන් කරා අපව ගෙන යා හැකි තත්වයන්ද නිර්මාණය කළ හැකිය.

 

සරත් ෆොන්සේකාගේ ‘ළදරු වලිප්පුව’


sff


මෙවැනි වාතාවරණයක් යටතේ සරත් ෆොන්සේකා විසින් මේ මාසේ 9 වැනිදාට ‘අවසාන සටන’ දියත් කිරීමට ජනතාව කැඳවා තිබේ. ඒ සඳහා සමගි ජනබලවේගයේ අනුග්‍රහය සහ ආශීර්වාදය තිබේදැයි පැහැදිලි නැත.

 

එසේම, එදාට ඔහු කරන්ට අදහස් කරන්නේ, රනිල් පන්නා දිනේෂ් ජනාධිපති කිරීමද, නැත්නම්, මුළු පාර්ලිමේන්තුවම පන්නා, “බලය පාර්ලිමේන්තුවෙන් එළියට” නමැති පටු සහ භයානක සටන්පාඨය ඔහුගේ දේශපාලනික අභිමතාර්ථයන් සාධනය කරගැනීම සඳහා යොදාගැනීමද යන්න පැහැදිලි නැත. ඒ දෙකෙන් කොයි එකත්, මුග්ධ ය. අන්තවාදී ය.

 

එක් තැනක ඔහු කියා තිබූ පරිදි, පාර්ලිමේන්තුවේ සිටින දූෂිතයන් එළවා දමා පාර්ලිමේන්තුව පිරිසුදු කිරීම ඔහුගේ අරමුණලු. එය කරන්නේ කෙසේදැයි අපේ දැනගැනීම සඳහා ඔහු පැහැදිලි කර දෙන්නේ නම් මැනවි.  

කැලැන්ඩරයේ එක ශුභ දවසක් (9) වෙන් කරගෙන, මහජනතාව එදාට මහපාරට කැඳවීම දේශපාලනික මෝස්තරයක් කරගැනීමට බලන කාටත් එක දෙයක් මතක් කර දිය යුතුය.

ජුලි 9 වැනිදා, බොහෝ අපරාධ සිදුවිය. ඝාතනයන් සහ ගෙවල් ගිනි තැබීම් ආදිය සිදුවිය යුතුව තිබුණු දේවල් නොවේ. එහෙත් ඒවා සිදුවිය. ඒ දෙස (සහ ලෝකයේ වෙනත් එවැනි සිදුවීම් දෙස) ආපසු හැරී බලන විට, වැදගත් කාරණයක් නිරීක්ෂණය වෙයි.

සමූහ ජනරාශිය, එක්තරා මොහොතකින් පසු පාලනයෙන් ගිලිහෙයි.

 

රාජපක්ෂ පවුලේ සහ කඳවුරේ සමීපතමයෙකු වන කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා, ගෝඨාභය රාජපක්ෂ බලයට පත්කළ යුතු නැති බව, එම කඳවුරෙන් ප්‍රසිද්ධියේ කියා සිටි පළමුවැන්නා ය. එදා පටන්, ඔහු ගෝඨාභය රාජපක්ෂගේ පාලනය ගැන නොබියව විවේචන ඉදිරිපත් කෙළේය. එහෙත්, ඒ ගෝඨාභය පැන්නීමට පාරට ආ ජනතාවම මේ කුමාර වෙල්ගමටත් අමානුෂික අන්දමින් පහර දුන්හ.

 

එදා, පාර්ලිමේන්තුවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හූ කියූ අවස්ථාවේ පාර්ලිමේන්තුව පැය භාගයකට කල් තැබුණි. ඉන්පසු, පක්ෂ නායකයන්ගේ සාකච්ඡාවකින් එකඟතාවකට පැමිණි පසු, ගෝඨාභය රාජපක්ෂ නැවත පැමිණ පාර්ලිමේන්තුවේ අසුන් ගත් අතර, ඉදිරි වැඩකටයුතු දිගට කරගෙන යාමට හැකි වුණි.

ඒ ‘පහසුකම’ සමූහ ජනරාශියක එක්තරා සීමාවකින් පසු බලාපොරොත්තු විය නොහැකි බව, අමතක කළ යුතු නැත. ඒ නිසා අපි කල්පනාකාරී වෙමු.



අපි හම්බ කළොත් අපි කාලා ඉන්නවා' - (ගාමිණී වියන්ගොඩ)(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)




කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

subscribeYT

subscribeYT

WhatsApp Image 2021 09 13 at 13.49.58