The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●
Top Ad
විශේෂාංග

නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)

T

The Leader Desk

August 12, 2024 • 6:29 AM

නොරට සිට ආ මුතුන් මිත්තෝ (13) : රුපියල් අසූවක දුම්රිය ප්‍රවේශ පත්‍රයකින් ඉන්දියාවට (ඉන්දු පෙරේරා)

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • වතු කම්කරුවන් ලෙස සේවය කළ දකුණු ඉන්දියානු දෙමළ ජනතාවගෙන් මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට නොහැකි වූ කම්කරුවන් ඉන්දියාවට ආපසු යැවීම දිගින් දිගටම සිදු කරමින් තිබිණි.
  • ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 70 -80 අතර ගණනකි.
  • ටිකට් පතක මිල සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 60 -80 ත් අතර වේ.
  • බඩු පාර්සල්වල ඔවුන්ගේ නම සඳහන් කොට දුම්රිය ස්ථානයට භාරදිය යුතුය.
අකුරු ප්‍රමාණය (Font Size):

 

වතු කම්කරුවන් ලෙස සේවය කළ දකුණු ඉන්දියානු දෙමළ ජනතාවගෙන් මෙරට පුරවැසිභාවය ලබා ගැනීමට නොහැකි වූ කම්කරුවන් ඉන්දියාවට ආපසු යැවීම දිගින් දිගටම සිදු කරමින් තිබිණි. මෙහිදී ඔවුන් යා යුතු දිනයට සතියකට පමණ කලින් ආසන්නතම දුම්රිය ස්ථානයෙන් ඉන්දියාවට දුම්රිය ප්‍රවේශපත්‍රය සහ ඔවුන් සතු බඩු ගෙන යාම සඳහා ලගේජ් ටිකට් පත වෙන් කරවා ගත යුතු විය.
 
ඉදල්ගස්ඉන්නේ සිට ඉන්දියාවේ මන්ඩපන් කෑම්ප් දක්වා නිකුත් කළ දුම්රිය ප්‍රවේශපත්‍ර
ඒ කාලයේ ඉන්දියාවට යාමට වීසා ලබා ගැනීම සඳහා තානාපති කාර්යාලයකට යාමට අවශ්‍ය වූයේ නැත. ඉන්දියාවට යන ඕනෑම කෙනෙකුට ඒ සඳහා දුම්රිය  ප්‍රවේශපත්‍රය තිබීම සෑහෙයි. කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ද එකල දනුස්කොඩි නමින් කවුළුවක් තිබිණි. කොළඹ සිට ඉන්දියාවට යන ඕනෑම මගියෙකුට මෙතැනින් ප්‍රවේශපත්‍රයක් මිලදී ගත හැකිය. ප්‍රවේශපත්‍රයක මිල රුපියල් 70 -80 අතර ගණනකි. ඉන්පසු තලෙයි මන්නාරම දුම්රියෙන් තලෙයි මන්නාරම කරා ගොස් තලෙයි මන්නාරම් ජැටියෙන් පිටත් වන බෝට්ටුවේ නැගී ඉන්දියාවේ දනුස්කොඩි දක්වා ගමන් කළ හැකිය. තලෙයි මන්නාරමේ සිට දනුස්කොඩි දක්වා දුර සැතපුම්වලින් විසි තුන හමාරකි.
ඉදල්ගස්ඉන්න දුම්රිය පොළ ආසන්නයේ තේ වතුයායක් මැදින් දුම්රියක් ගමන් කරන අයුරු
 
වතුකරයේ ජනතාවට ඉන්දියාව බලා යාම සඳහා මෙම ප්‍රවේශපත්‍ර මහනුවර, තලවාකැලේ, හැටන්, නානුඔය, ඉදල්ගස්ඉන්න වැනි දුම්රිය ස්ථාන රාශියකින් මිලදී ගත හැකි විය. එය ඉන්දියාවේ මණ්ඩපන් කෑම්ප්, ට්‍රිචි, රාමේශ්වරම්, ත්‍රිවේන්ද්‍රම්, මදුරාසිය වැනි අවශ්‍ය ඕනෑම තැනකට නිකුත් කරනු ලැබීය. ටිකට් පතක මිල සාමාන්‍යයෙන් ලංකාවේ රුපියල් 60 -80 ත් අතර වේ. මෙම ටිකට්පතෙහි පහළ Southern Railway යනුවෙන්  මුද්‍රණය කර තිබිණි. Southern Railway හෙවත් "දකුණු දුම්රිය" යනුවෙන් හැඳින්වූයේ  ලංකාවේ තලෙයි මන්නාරමේ සිට  දකුණු ඉන්දියාව බලා යන මේ ගමනයි.
       
මේ හැරුණු විට කඳුකර දෙමළ ජනතාවට තමන් එතෙක් හරි හම්බ කරගෙන තිබූ දේවල් අතරින් එරටට ගෙන යා හැකි දෑ  පටවා ගෙන යාම සඳහා  ඔවුන් යනු ලබන දුම්රියට බඩු පෙට්ටි දෙකක්ද වෙනම සවි කර තිබිණි. ලගේජ් ටිකට් පත අවශ්‍ය වන්නේ ලණුවලින් බැඳ සකස් කරගත් එම පාර්සල් ගෙන යාම සඳහා ය. බඩු පාර්සල්වල ඔවුන්ගේ නම සඳහන් කොට දුම්රිය ස්ථානයට භාරදිය යුතුය. බඩුවල බර ප්‍රමාණයට අනුව පළමු රාත්තල් විස්සට එක් නියමිත මුදලක්  තිබිණි. වැඩි වන හැම රාත්තලකටම අමතර මුදලක් ගෙවිය යුතු විය. රාත්තල් යනු එකල බර මැනීමේ ඒකකය යි.
 
img 20190410 065739පැරණි ඉදල්ගස්ඉන්න දුම්රියපොළ (NOTICE  යනුවෙන් පැරණි බෝඩ් එකක් ගසා තිබෙන දුම්රියපොළ)
සාමාන්‍යයෙන් ඉන්දියාවට පිටත්ව යාමට සතියකට හමාරකට කලින් මෙම ප්‍රවේශපත්‍ර මිලදී ගෙන රැගෙන යාමට පැමිණියේ අදාළ වතුයායට සම්බන්ධ තලවර් කෙනෙකි. තලවර් යනු සභාපති ය. මොවුන් බොහෝ විට කළේ ටිකට් පතේ ගණන නොතේරෙන සේ වෙනස්කර වැඩි ගණනක් සටහන් කොට එම අහිංසක දෙමළ ජනතාවගෙන් වැඩි මුදලක් අය කර ගැනීමයි. අකුරු කියවීමටවත් බොහෝ විට දැනුමක් නැති මේ මිනිසුන් තලවර් විසින් වෙනස්කර පෙන්වන ලද ගණන ගෙවන්නේ ප්‍රශ්න කිරීමකින් තොරව ය. ප්‍රශ්න කරන්නට තරම් සුළු දැනුමක් හෝ ඇති අයකු වුවත් ප්‍රශ්න කිරීමට නොපෙළඹෙන්නේ එයින් තවත් අමතර ප්‍රශ්න ගොඩක් ඉස්මතු වන බව අත්දැකීමෙන්ම දැන සිටි නිසා ය. ඒ කාලයේ රුපියල් විස්සක් වැනි ගණනකින් ටිකට් පතේ ගණන වෙනස් කළත් රුපියල් විස්සක් යනු අති විශාල මුදලකි. 
thaleiතලෙයි මන්නාරම් දුම්රියපොළ
 
455ඉන්දියානු ගමන් බලපත්‍රය දුම්රිය දෙපාර්තමේන්තුව මාසිකව සහ කාර්තු වශයෙන් මෙන්ම වාර්ෂිකව ද කරනු ලබන විගණන කටයුතු සඳහා ඉන්දියාවේ  ඒ ඒ නගරවලට යාමට නිකුත් කරන ලද දුම්රිය ප්‍රවේශ පත්‍ර සහ ලගේජ් ටිකට්පත්වලින් ද යම් නිදර්ශක ප්‍රමාණයක්  ඉන්දියාවට ගොස් එකතු කර ගැනීම සිදු කරයි.  ඒ සඳහා මෙරටින් දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරියකු යවනු ලබන අතර මෙම රාජකාරිය වෙනුවෙන් එම නිලධාරියාට එක් දවසක් ( පැය විසි හතරක් ) සඳහා වන දීමනාව හෙවත් "බටා එක" ඒ කාලයේ  රුපියල් 7.50 කි. මෙලෙස කරන ලද පරීක්ෂා කිරීම්වලදී ටිකට් පතෙහි නියමිත මුදල වෙනස් කර ඇති ආකාරය දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට හඳුනා ගත හැකි විය. කරන ලද විමසුම්වල දී අනාවරණය වූයේ මෙය තලවර්ලා විසින් සිදු කරනු ලබන  වංචනික ක්‍රියාවක් බව ය. ඉන්පසු තලවර්ලා අතට කම්කරුවන්ගේ දුම්රිය ටිකට් පත් ලබාදීම දුම්රිය දෙපාර්තමේන්තුව මඟින් නතර කරනු ලැබිණි. ටිකට් පත් ලබා ගැනීමට ඉන්දියාවට යනු ලබන අදාළ කම්කරුවාම පැමිණිය යුතු බවට නීතියක් ගෙනාවේ ඉන්පසුව ය. කිසියම් කම්කරුවකු ඉන්දියාවට යැවීමට නියමිත නම් ඔහුට සහ  ඔහු සමග යවනු ලබන ඔහුගේ පවුලේ අයටද ටිකට් පත් ලබා ගැනීමට එම කම්කරුවාට  අවසර ඇත. ඔහු සේවය කරනු ලබන  වතුයායේ අධිකාරීවරයාගේ ලිපිය, ඔහුගේ සහ පවුලේ අයගේ ඉන්දීය ගමන් බලපත්‍ර යන ලියකියවිලි ඉදිරිපත් කළ විට ටිකට් පත් ලබා ගත හැකි වුණි.  
 
nanu oyaනානුඔය දුම්රියපොළ
         
එවකට නානුඔය දුම්රිය ස්ථානයේ, දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) එම්. එල්. චන්ද්‍රසෝම මහතා පැවසූ අන්දමට  ඉන්දීය වතු කම්කරුවන්  නැවත ඉන්දියාවට යැවීමේ කාර්යය, සතියකට දින දෙකක් කරනු ලැබීය. ඒ අඟහරුවාදා සහ සිකුරාදා දිනවල ය. නානුඔය සිට ඔවුන් යවනු ලබන දුම්රිය දෙකක් තිබිණි. එක් දුම්රියක් ගමන් අරඹන්නේ නානුඔයෙන්  උදේ හයට ය. අනෙක් දුම්රිය දහවල් දෙකට නානුඔයෙන් පිටත් වෙයි. මෙම දුම්රියවලට වෙනම මැදිරි එකක් හෝ දෙකක් මෙම දෙමළ ජනතාව රැගෙන යාම සඳහා සවිකර ඇත. ඊටම බඩු ගෙන යන මැදිරි දෙකක්ද සම්බන්ධ කර තිබේ. ඒ ඔවුන් ඒ රටට ගෙන යන බඩු බාහිරාදිය දැමීම සඳහා ය. නානුඔය සිට මහනුවර දුම්රිය ස්ථානය වෙත යන මෙම දුම්රියෙන් වතු දෙමළ ජනතාව සිටින දුම්රිය මැදිරිය හෝ මැදිරි දෙකත්, ඔවුන්ගේ බඩු පටවාගෙන යන මැදිරි දෙකත් ගලවා මහනුවර සිට කොළඹ බලා යන දුම්රියට සවි කෙරේ. ඉන්පසු පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී යළිත් මේ මැදිරි ගලවනු ලබයි. 
 
portrait A තලෙයි මන්නාරම් ජැටිය
 
මේ මැදිරි යළි සවි කරන්නේ කොළඹ සිට පැමිණෙන තලෙයි මන්නාරම බලා පිටත් ව යන දුම්රියට ය. නානුඔයෙන් පිටත් වුවත්, හැටන්, ඉදල්ගස්ඉන්න ආදී වෙනත් ඕනෑම දුම්රිය ස්ථානයකින් පිටත් වුවත් අන්තිමට ඔවුන් යන දුම්රිය මැදිරි තලෙයි මන්නාරම දුම්රියට සවි කරන්නේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයෙනි. 
 
WhatsApp Image 2020 08 17 at 00.17.41වතුකරයේ දෙමළ ජනතාව
එකල උදේ 9. 30 ට පමණ  කොළඹ කොටුවේ සිට තලෙයි මන්නාරම බලා එක්  දුම්රියකුත්, සවස 6.40 ට කොළඹ කොටුවේ සිට තලෙයි මන්නාරම බලා රාත්‍රී තැපැල් දුම්රියත් පිටත් වූ අතර වතුකර දෙමළ ජනතාව ගෙන යනු ලබන දුම්රිය මැදිරි දෙක සහ ඔවුන්ගේ බඩු රැගත් මැදිරි  දෙක සම්බන්ධ කරන්නේ මෙම දුම්රිය දෙකට ය. ඉන්පසු දුම්රිය  තලෙයි මන්නාරම කරා ගොස්  අනතුරුව ඉන්දියාව බලා යන මගීන් රැගෙන තලෙයි මන්නාරම තොට දක්වා ගමන් කරයි.  තලෙයි මන්නාරම් තොටෙහි මෙම මගීන් ඉන්දියාවට රැගෙන යන ෆෙරි එක හෙවත් එකල මිනිසුන් දුම්බෝට්ටුව නමින් හඳුන්වන ලද මගීන් 300 - 400 ක් පමණ එක වර රැගෙන යා හැකි සුවිසල් බෝට්ටුව නතර කර ඇත. එතැනදී මෙම කඳුකර දෙමළ ජනතාව  කෑ ගසා හඬා වැළපෙමින් තමන් උපන් භූමියෙන් සදහටම සමුගනිති. 
 
තවත් කොටසකින් යළි හමුවෙමු.
 
තොරතුරු සපයා ගැනීමේ සහාය :
නානුඔය හිටපු දුම්රිය ස්ථානාධිපති (මෙහෙයුම්) එම්. එල්. චන්ද්‍රසෝම, හිටපු දුම්රිය රියැදුරු උපාලි කුමාරසිංහ, ප්‍රවීණ  මාධ්‍යවේදී තිලක් සේනාසිංහ, ප්‍රවීණ මාධ්‍යවේදී අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු
 
සටහන - ඉන්දු පෙරේරා
 

සබැඳි ලිපි :

නොරට සිට ආ මුතුන් මිත්තෝ (12) : උපන් බිමට හිමිකම් නොලද උපන් බිමේ අසරණයෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (11) : රටක් නැති ජනතාව ඉන්දියාවට පිටමං කරන සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (10) : වතුකර දෙමළ ජනතාව ඉන්දියාවට භාර ගැනීමට කැමැත්ත - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (9) : දෙමළ බෙදුම්වාදයට පාර කැපෙයි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (8) : වතු දෙමළ ජනතාවගෙන් ලක්ෂ 8කට පුරවැසිභාවය අහිමියි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (7) : දකුණු ඉන්දීය ශ්‍රමිකයන්ට ඩී. එස්. ගෙන් කෙනෙහිලි - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (6) : අපෙන් බදු මුදල් ! සුද්දන්ගෙන් පාරවල් !! - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (5) : මාතලේ කුලදෙවියන් පිදූ තැන දේවතාවියක් - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (4) : සිලෝන් ටී වෙනුවෙන් ඔවුහු දිවි පිදූහ - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (3) : වනයේ තප්පු ගසමින් දකුණු ඉන්දියානුවෝ මන්නාරම සිට මාතලේට ආ ගමන - (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන් මිත්තෝ (2): සිංහලයන්ට කටඋත්තර නැති කළ සුද්දෝ (ඉන්දු පෙරේරා)

නොරට සිට ආ මුතුන්මිත්තෝ : ලංකාවට කම්කරුවන් සොයා ඉන්දියාවේ පෝස්ටර් (ඉන්දු පෙරේරා)

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...