බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුවීස් ඉනාසියෝ ලූලා ද සිල්වා ජනාධිපතිවරණයේදී වත්මන් දක්ෂිණාංශික ජයීර් බොල්සොනාරෝ පරාජය කිරීමත් සමඟ බ්‍රසීලය වාමාංශික හැරවුමක් ගෙන ඇත.

 


මැතිවරණ ජයග්‍රහණය සඳහා ලූලා බ්‍රසීලියානුවන්ට ස්තුති කරමින්



දේශපාලනයේ ප්‍රතිවිරුද්ධ පැතිවල ප්‍රතිවාදීන් දෙදෙනෙකු අතර පැවති ජනපතිවරණයෙන්, ලූලා 50.9% ක් ලබා ගත්තේය.

එය ජයීර් බොල්සොනාරෝ පරාජය කිරීමට එය ප්‍රමාණවත් වූ අතර, ලූලා ගේ ආධාරකරුවන් ද ජයග්‍රහණය ගැන විශ්වාසයෙන් සිටියහ.

එහෙත් මෙවර මැතිවරණයෙන් ඉස්මතු වී ඇති බෙදීම නොමැකෙනසුළු එකකි.

Lula

පසුගිය 2018 ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට නොහැකිව බන්ධනාගාරගතව සිට නිලවරණයට පෙනී සිටීම තහනම් කළ දේශපාලඥයෙකුට මෙය විශ්මයජනක පුනරාගමනයකි.

ඔහු බ්‍රසීලයේ රාජ්‍ය තෙල් සමාගමක් වන පෙට්‍රොබ්‍රාස් සමඟ ගිවිසුම් ගතවීම සඳහා බ්‍රසීලයේ ඉදිකිරීම් සමාගමකින් අල්ලසක් ලබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වී ඇත.

දින 580 ක් සිරගතව සිටි අතර ඔහු නැවත දේශපාලන සටනට පැමිණියේය.

"ඔවුන් මාව පණපිටින් වළලන්න හැදුවා, ඒත් මම ආවා," ඔහු සිය කතාවේදී පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු ලොව පුරා නායකයින්ගෙන් සුබ පැතුම් ඔහු වෙත ගලා එමින් තිබේ. ඔහු ප්‍රතිඵලය "නිදහස්, සාධාරණ සහ විශ්වසනීය මැතිවරණයකින්" ලද එකක් බව බයිඩන් සඳහන් කළේය. බ්‍රසීලය සමඟ අඛණ්ඩව සහයෝගීතාවය පවත්වා ගැනීමට අපේක්ෂා කරන බව ද ඔහු පැවසීය.

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද සිය "අවංක සුබපැතුම්" පිරිනැමූ අතර, ප්‍රතිඵලවලින් ලූලාගේ "විශිෂ්ට දේශපාලන අධිකාරිය" තහවුරු වී ඇති බව පැවසීය.

ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි පැවසුවේ දෙරට සබඳතා වර්ධනය කර ගැනීමට තමන් බලාපොරොත්තු වන බවයි. එසේම, එක්සත් රාජධානියේ අගමැති රිෂි සුනක් ට්විටර් පණිවිඩයකින් මෙසේ පැවසීය: "ප්‍රජාතන්ත්‍රවාදය, ගෝලීය ආර්ථිකය වර්ධනය කිරීමේ සිට ලොව ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම දක්වා එක්සත් රාජධානියට සහ බ්‍රසීලයට වැදගත් වන ගැටලු සම්බන්ධයෙන් එකට වැඩ කිරීමට මම බලාපොරොත්තු වෙමි."



ලූලා ගැන මූලික කරුණු 5ක්

lula wife                                              ලූලා ඔහුගේ ජයග්‍රහණයෙන් පසු ඔහුගේ බිරිඳ රොසංගෙලා වැළඳ ගත්තේය. (ඡායා, REUTERS)



# වයස අවුරුදු 77 යි

# වාමාංශිකයෙකි

# හිටපු ලෝහ කම්කරුවෙකි

# 2003-2010 ජනාධිපති

# 2018 දී සිරගත කරන ලද නමුත් පසුව නිදහස් කරන ලදී

ආරම්භයේ සිටම මත විමසුම් දත්ත අනුව ඔහු මැතිවරණය ජයග්‍රහණය කරනු ඇතැයි පෙනෙන්නට විය. පළමු වටයේ ඔහුගේ ඉදිරිය පුරෝකථනය කළ ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු වූ අතර, බොහෝ බ්‍රසීල ජාතිකයන් එම මත විමසුම්වල නිරවද්‍යතාවය සැක කිරීමට පටන් ගත්හ.

බොල්සොනාරෝ "සංස්ථාපිතය" සහ මාධ්‍ය තමාට විරුද්ධ බවත්, එබැවින් ඔහුගේ සහයෝගය යටපත් කරමින් සිටින බවටත් චෝදනා කළ බැවින් ඉන් දිරිමත් වූ බොල්සොනාරෝගේ ආධාරකරුවන් ඔහුගේ ජයග්‍රහණය කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීය.

වාමාංශික නායකයාගේ ජයග්‍රහණය මෙම බොල්සොනාරෝ රසිකයින්ට දරා ගත නොහැකි යමක් වනු ඇති අතර, ලූලා "හොරෙකු" ලෙස හඳුන්වන ඔහුගේ වරද අවලංගු කිරීමෙන් ඔහු නිර්දෝෂී බව අදහස් නොවන බවත්, නිසි නීතිමය ක්‍රියා පටිපාටිය අනුගමනය කර නොමැති බවටත් තර්ක කරයි.

බොල්සොනාරෝ පරාජය වූ නමුත්, ඔහුට සමීප නීති සම්පාදකයින් කොන්ග්‍රසයේ බහුතරයක් දිනා ගත්හ.

මෙයින් අදහස් කරන්නේ ලූලා ජනවාරි 1 වන දින බලයට පත් වන විට ව්‍යවස්ථාදායක මණ්ඩලය තුළ ඔහුගේ ප්‍රතිපත්ති දැඩි විරෝධයකට මුහුණ දෙනු ඇති බවයි.

එහෙත් 2003 ජනවාරි සිට 2010 දෙසැම්බර් දක්වා වාර දෙකක් ධුර කාලය දැරූ ලූලාට දේශපාලන සන්ධාන ඇති කර ගැනීම අපහසු කාරණයක් නොවේ.

එය ඔහුගේ උප ජනාධිපති අපේක්ෂක සහකරු ලෙස ඔහු ජෙරල්ඩෝ ඇල්ක්මින් තෝරා ගැනීමෙන්ම පෙනී යයි. ඇල්ක්මින් යනු කලින් මැතිවරණවලදී ලූලාට එරෙහිව තරග කළ හිටපු ප්‍රතිවාදියෙකි.

"එක්සත්කම" නිර්මාණය කිරීමේ ඔහුගේ උපායමාර්ගය සාර්ථක වී ඇති අතර, කම්කරු පක්ෂයට ඡන්දය ප්‍රකාශ කිරීම ගැන නොසලකන ඡන්දදායකයින් පවා නම්මවා ගෙන ඇති ආකාරයක් දකින්නට ලැබේ.

Brazil election

ඔහුගේ ජයග්‍රාහී කතාවේදී, ලූලා මෘදු ස්වරයකින් පැවසුවේ, තමාට ඡන්දය දුන් අයට පමණක් නොව සියලුම බ්‍රසීලියානුවන්ට තමා ජනපති බව යි.

"මේ රටට සාමය සහ සමගිය අවශ්‍යයි. අපේ ජනතාව තවදුරටත් සටන් කරන්න අවශ්‍ය නැහැ," ඔහු පැවසීය.

බොල්සොනොරෝ තවමත් ප්‍රතිඵලය පිළිගෙන නැත. ඔහු ජනපතිවරණයට පෙර කිසිදු සාක්ෂියක් ඉදිරිපත් නොකර, බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමයේ විශ්වසනීයත්වය පිළිබඳව සැක පහළ කර තිබුණි.

මේ නිසා ඔහු පැරදුණ‍හොත් ප්‍රතිඵලය පිළිනොගනු ඇතැයි යන්න අනුමාන කළ හැක්කක් විය.

කෙසේ වෙතත් දෙවන වටයට දිනකට පෙර ඔහු මෙසේ ප්‍රකාශ කළේය: "කිසිම සැකයක් නැහැ. වැඩි ඡන්ද ඇත්තේ කාටද, එයා දිනනවා. ප්‍රජාතන්ත්‍රවාදය යනු එයයි."



බොල්සොනාරෝ පිළිබඳ කරුණු 5ක්

bol                                                       බොල්සොනාරෝ (ඡායා, REUTERS)



# වයස අවුරුදු 67 යි.

# දක්ෂිණාංශිකයෙකි.

# හිටපු හමුදා කපිතාන්වරයෙකි.

# අඛණ්ඩව දෙවන වාරය සඳහා තරග කර තිබේ.

# බ්‍රසීලයේ විද්‍යුත් ඡන්ද ක්‍රමයේ විශ්වාසවන්තභාවය පිළිබඳ සනාථ කළ නොහැකි සැකයක් මතු කර ඇත.


මැතිවරණ දිනයේදී ඡන්දදායකයින් ඡන්ද පොළට රැගෙන යන බස් රථ පොලිසිය විසින් නතර කරන ලදී. ලූලාගේ ප්‍රචාරක ව්‍යාපාරය පැවසුවේ එය ඡන්දය ප්‍රකාශ කිරීම වැළැක්වීමට ගත් උත්සාහයක් ලෙස ය.

මැතිවරණ උසාවි ප්‍රධානී ඇලෙක්සැන්ඩ්‍රේ ද මොරායස්, සියලුම මාර්ග බාධක සහ මුරපොළවල් ඉවත් කරන ලෙස මහාමාර්ග පොලිසියට නියෝග කළේය.

ඇතැම් ඡන්දදායකයින්ව ප්‍රමාද කරවා ඇතත් කිසිවකුට ඡන්දය ප්‍රකාශ කිරීම වළක්වා නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය. එහෙත් මෙම සිදුවීම් නිසා සැලකිය යුතු ලෙස ගැටුම් ඇති විය.

ලූලාට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් තමාට ලැබුණු බව නිල වශයෙන් දැන් බොල්සොනාරෝ පවසන්නේ කවදාද සහ ඉන් පසු කුමක් වේද යන්න පිළිබඳව දැන් බොහෝ අපේක්ෂාවන් පවතී.

මැතිවරණය බ්‍රසීලය පමණක් නොව විදේශයන් ද සමීපව නිරීක්ෂණය කර ඇත. විශේෂයෙන් පරිසර ක්‍රියාකාරීන් කනස්සල්ලට පත්ව ඇත්තේ තවත් වසර හතරක් බොල්සොනාරෝ රජයක් පැවතුණහොත් එය ඇමසන් වැසි වනාන්තරයේ විනාශයට තුඩු දෙනු ඇතැයි කියාය.

ලූලා සිය ජයග්‍රාහී කතාවේදී සඳහන් කළේ "ඇමසන් ආරක්ෂා කිරීම සඳහා ජාත්‍යන්තර සහයෝගීතාවයට (තමා) විවෘත" බවයි.

"අද අපි ලෝකයට කියන්නේ බ්‍රසීලය නැවතත් හිස ඔසවා ඇති බවයි. ගෝලීය ජනතාවගේ කනස්සල්ල අමතක කිරීමට නොහැකි තරම් විශාලයි," ඔහු තම ප්‍රතිවාදියා සිහි කරමින් පැවසීය.

නමුත් ඔහුගේ කතාවේ මූලික අංගයක් වූයේ බ්‍රසීලයේ වැඩිවෙමින් පවතින සහ මිලියන 33 කට වැඩි පිරිසකට බලපාන කුසගින්න නිවාරණය කිරීමේ පොරොන්දුවයි.

ලූලාගේ පළමු ධුර කාලය තුළ ඔහුගේ ජනප්‍රියත්වයට හේතු වූයේ මිලියන සංඛ්‍යාත බ්‍රසීල ජාතිකයන් සංඛ්‍යාවක් දරිද්‍රතාවයෙන් මුදා ගැනීමයි.

නමුත් පශ්චාත්-වසංගත ආර්ථිකයක් තුළ, ඔහුගේ ප්‍රතිවිරෝධී කොංග්‍රස් සාමාජිකයන්ගෙන් බාධාවන් ද ඇති වුවහොත්, එය ප්‍රතිනිර්මාණය කිරීම සඳහා මුදල් සොයා ගැනීම පහසු කාර්යයක් නොවනු ඇත.

(BBC සිංහල සේවය)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්