මව්බිම, බංකොළොත් බිම්කඩක් වුව, එහි සිටිය යුත්තේ ‘රණවිරුවන්’ පමණකි.

සැමරෙන්නේ දෙමළ ‘විරුවන්’ නම්, සැමරුම් භූමිය ‘විරු සොහොන් බිමක්’ නම්  ‘එව්වා වානා’ ය. නිල හා නො නිල සියලු ‘වානාවන්’ මැද, උතුර මේ නිශ්චිත නිමේෂයේදීත්, සාමුහිකව, සිය වේදනාබර ‘මතකය’ සමරමින් සිටියි.

දහහත් වසරකට පෙර, දකුණෙන් ආ මාධ්‍යකරුවන්ට ද දොරටු ඇරුණු අවසන් මහා විරු සමරුව දා, එනම් 2005 වසරේ නොවැම්බර් 27 වැනිදා කිළිනොච්චියේ හා ආසන්න උතුරුකරයේ ගත කළ හෝරාවන් මතකයෙන් මැකී නො යයි.  එකී අද්දැකීම වචනයට නඟමින් මා ලියූ ලියැවිල්ල 2005 වසරේ නොවැම්බර් 05 වැනිදා රාවය පුවත්පතේ තුන්වැනි පිටුවේ ප්‍රමුඛ විශේෂාංගය ලෙස පළ විණ. මා ඊට එළැඹුණේ මෙලෙසිනි.

mahaviru naal

‘'අප සිටින්නේ කනකපුරම් මහා විරු සොහොන් කොත් අතර ය. A9 මාර්ගයේ කිළිනොච්චියෙන් වම්පසට හැරී යන සෙල්වනගර් පාරේ කිලෝමීටර හතරක් පමණ ඔබ්බේ මේ සීතල භූමිය පිහිටියේ වෙයි.

අද නොවැම්බරයේ විසිහත් වැනිදාවයි.  මේ එහි සන්ධ්‍යාවයි. ඊසාන දිගින් හමා එන සීතල ඉල් මහේ සුළං රැලිවල පවා මහා සුසුමක උණුසුම රැඳී ඇතුවාක් මෙනි."

"දෑ හෝරාවකට පමණ පෙරාතුව අප මෙහි පැමිණි මොහොතේ පවා දක්නට වූයේ අඛණ්ඩව ගලා එන මහා ජන ගංඟාවකි. සෑම දෑතකම මල් දම්ය; පිච්ච මලින් බර වූ සිලි සිලි උර හා මලින් පිරවූ කෙසෙල් පතුරුය; සුවඳ කපුරුය; පළතුරු වට්ටිය; කැවිලි පෙවිලිය. ඒ ඔවුන්ගෙන් වෙන් ව ගිය සමීපතම ඥාතියා වෙනුවෙනි."

"දිගු ඉරි සහිත කොටි කැමෆ්ලාජ් ඇඳුමකින් සැරසී යතුරු පැදියකින් එමින් සිටි සටන්කාමිනියගේ උකුලට බර වී සිටින පස්-හය හැවිරිදි දරුවා හැඳ සිටින්නේද එම සටන් ඇඳුමමය. හිසෙහි කොටි තොප්පියකි. ඒ ඇගේ දරුවාය."

"කොටි නිල සටන් ඇඳුමෙන් සැරසී සෙනඟ අතරේ තෙරපෙමින් එන සටන්කරුවා දකුණතින් වඩා ගත් පිරිමි දරුවෙකි. ඔහුගේ වම් අතේ එල්ලී පැමිණෙන්නී දියණියයි. දියණියගේ වම් අත පැටලී ඇත්තේ රතු-කහ මිශ්‍ර සාරියකින් සැරසී සිටින මවගේ අත සමඟිනි. කොටි සටන්කරුවන්ටද පවුලක් තිබේ. ජීවිතයක් ඇත."

රණවිරුවන් අධිනිෂ්චය වූ සමාජයක මහා විරුවන් ගැන සිංහලෙන් ලිවීම පවා අපරාධයක් බව එකල අපට තර්ජන ස්වරයෙන් මෙනෙහි කළේ, මහා විරුවන් පිළිබඳ බරපතළම තිගැස්ම තිබූ, රණවිරුවන් විසින් මරා දැමුණු, ඉල් මහා විරුවන් අතැර දැමූ විප්ලවීය සටන්කරුවන්ය. දකුණේ මහා සංහාරයකින් පසු දිවි ගලවා ගත් මෙකී සටන්කරුවන් උන්නේ  උතුරේ ‘මහා සංහාරයකට’ පිටිය සකස් කරමිනි.

Mahaviru naal 2005.1

Mahaviru naal 2005

හෙළයාට භීතිය දනවන ‘මහ විරුවන්’ යනු දෙමළාට සිය ‘දූවා දරුවන්’ ය; සොහොයුර සොහොයුරියන්ය; මිත්‍රවර මිත්‍රවරියන්ය; ඇතැම් විට අම්මාය; අප්පාය. පොදුවේ ගත් කල ඒ සාමුහික ඥාතිත්වයේ බන්ධනයයි.


අපරාධකාරී රාජ්‍ය විසින් ‘නිල වශයෙන්’ අතුරුදහන් කෙරුණු දෙමළ අරගලයේ ‘නිල කවියා’ වූ පුදුවෛ රත්තිනතුරෛ ඒ ගැන ලියූ කවියක කොටසක් මම එකී 2005 ලියවිල්ලේ මෙසේ ලියා තැබුවෙමි.

Puduvai Ratthinathurai"විරුවාණෙනි, ඔබේ මාපියන් - නෑසියන්,
සටන් බිම යහළුවන් සියල්ලෝ මෙහි පැමිණ
ගිගුම් දෙන හදවතින් බලා සිටිති.
එක් වරක් හිසොසවා - ඔබේ වත සිනහ මුව පෙන්වා
යළිත් නෙත් පියා ගනු මැන!"



දෙමළ සංහාර තීව්‍ර වූ සමයේ ‘ඩෝසර් කර දැමුණු' 'මහා විරු සොහොන් බිම්'වලින් එකක් වූ මෙම කනකපුරම්, 1968ක් වූ සොහොන් කොත් මතක, පින්තූර ලෙස අන්තර්ජාලයේ තිබේ. මා එදා  එය වචනයෙන් ලීවේ මෙලෙසිනි.

"සොහොන් බිමේ දහස් සංඛ්‍යාත සොහොන් කොත් දිගින් හා පළලින් සමානය. අතුරුදහන්වූවන් හෙවත් දේහ රහිතවූවන් සිහි කරනු පිණිස වන සමරු ඵලක එක් පසෙකය. කළු කොටි විරුවන්ගේ දේහ රහිත මරණයන් සිහි කරනු වස් වන උස් සොහොන් කොත්ය. මේ සෑම කොතකම, ඵලකයකම, උරුමක්කරුවාගේ පැටි වියේ සිට එන මතකයන් කඳුළු වේශය ගෙන ඒ අභිසය පිටාර ගලයි. නිශ්චිත සමරු මොහොත වන තුරුත් කවුරුත් සොහොන් කොත් තනිවන්නට ඉඩ නොදේ. අතීතය හා පොර බදන කවරකු හෝ ඒ අසල සිටිනු-හඬනු-වැළපෙනු සුසුම් අතරින් පෙනේ."  

xfdge

මතකය අත් නොහැරිමේ අභිලාෂය පීඩාවට එරෙහි අරගලයේ නොනැසෙන  පිළිබිඹුවකි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ගැටලුවේ න්‍යෂ්ටියේ වන්නේ රාජ්‍ය අපරාධකාරීත්වය  පිළිබඳ ස්මෘතිය අහිමි වීමේ ඛේදවාචකයයි. එබැවින් මෙකී අපරාධ සඳහා අපරාධ යුක්තිය ඉෂ්ට සිද්ධ කර ගැනීමේ දේශපාලන අධිෂ්ඨානය පහළ වන්නේ නැත. එකී අධිෂ්ඨානය අහිමි වූ හදවතක බරක් තිබ්බ නොහැකිය. එවන් බරක් නැති හදවතකින් නැඟ එන ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ හිස් නර්මාලාප පමණකි.

33 වැනි ඉල් මහා විරු සැමරුමේදී "අපේ හදවත්වල බරක් තියෙනවා. ඒ හදවත්වල තියෙන බර මොකද්ද? අසූ අට අසූ නමය වීරවරුන් වීරවරියන් පිළිබඳ ආදරයේ බර අපේ හදවත්වල තියෙනවා; ගෞරවයේ බර අපේ හදවත්වල තියෙනවා." යැයි ජ.වි.පෙ. නායකයා පවසන විට ඉන් කිසිඳු බරපතළ හැඟුමක්, ගැඹුරු සංවේදනාවක්  ජනනය නොවන්නේ එබැවිනි.


මතකය අතැර දැමූවන්ට තමන්ගේ හෘදය සාක්ෂිය තමන්ටම අභිමුඛ වීම ‘මහා බරක්’ ලෙස දැනෙන්නට පිළිවන. අපරාධකාරී රාජ්‍ය සමඟ ගැටගැසෙමින් තනා ගත් නා නා විධ අශුද්ධ සන්ධාන විසින් ජනතා විමුක්ති පෙරමුණ සතු විය යුතු 'මළවුන්' සහ ‘විරුවන්’ පිළිබඳ  ‘සාමුහික මතකය අහිමිව යාම’ මහා බරක් ලෙස ඔවුන් තුළ ක්ෂේශය තිබෙනවා වන්නට පිළිවන. ඔවුන්ට, තව දුරටත් බලය පිණිස සිහිනයක් මිස,  මතකය සමඟ අරගලයක් නැත. දකුණේ ඉල් මහා විරුවන් සැමරීම බලය අත්පත් කර ගැනීම යන ගමනේ උපාය උපක්‍රමයක නිමේෂයක් විනා, මතකය පිළිබඳ ඓන්ද්‍රීය සංසිද්ධියක් නොවේ. මතකය අත්හැරලන පළමු මොහොතේ දී ම, එය, පීඩාවට එරෙහි අරගලයෙන් විනිර්මුක්ත වන්නේ වෙයි.


ස්වකීය නායකයා, දේශපාලන මණ්ඩලය, මධ්‍යම කමිටුව සහ  සියලු මට්ටම්වල නායකකාරකාදීන් ඇතුළු හැට දහසකගේ ‘ඝාතකයන්’, වසර කිහිපයක ඇවෑමෙන් 'වීරෝධාර රණවිරුවන්' කර ගත් විට එකී ප්‍රාණ පරිත්‍යාගීන් සැමරීමට සාමුහික හෘදය සාක්ෂියක් ඉතිරිවන්නේ නැත. දකුණේ, සාමුහික ඝාතනයන් සිදු වුණු තැන් කොපමණක් තිබේ ද ? චිරප්‍රකට ‘සූරියකන්ද’, මෑතක මතු වුණු ‘මාතලේ’ ඇතුළු සමූහ මිනීවලවල් කොපමණක් තිබේද ? නමුත් සදාකාලිකව ‘ඉල් මහා විරුවන්’ සැමරෙන්නේ දුටුගැමුණු මාතාවගේ නමින් නම් කෙරුණු එළිමහන් ‘රංග පීඨයක ය’. එතැන ඇත්තේ, තමන්ගේ ම බිම් මට්ටමේ පාක්ෂිකයන් ‘ගැලරිය’ බවට පිරිහෙලා සිද්ධ කරනු ලබන, ‘බලය’ ලබා ගැනීමේ අභිලාෂය පිළිබඳ මමංකාරී, ස්වයං වසඟකාරී, ආත්මරාගී දේශනයක් දෙකක් සහ වාර්ෂිකව දූලි පිසදා එළියට ඇද ගන්නා ගීත කිහිපයක් ගැයෙන සංස්කෘතික සන්ධ්‍යාවක් මිස, මළවුන් පිළිබඳ අවකංවම වධ වෙන, දුක් වෙන, කම්පා වෙන, ස්මරණීය හැඟුම් දනවන වපසරියක් නොවේ.

චන්ද්‍රිකාවන්ගේ ‘පරිවාස’ භාරයේ සිටින්නට තීන්දු කළ, සංහාරයෙන් දිවි ගලවා ගත් නායකයන් විසින්, අපරාධ යුක්තියේ නාමයෙන්,  මළවුන්ට සහ විරුවන්ට අදාළ ජනපති කොමිෂන් සභා වර්තා එළියට ඇද පෙන්වීම හිතා මතාම අත්හැර දැමුණි. රාජ්‍ය බලයේ පංගුකාරයන්ව දහසක් වැව් හෑරූ සමයේ පවා තමන්ගේ අවිච්ඡින්න ඉතිහාසයේ ‘මළවුන්ට’ අයත් එක් සමූහ මිනීවළක් හෝ හාරා අපරාධ යුක්තිය ඉෂ්ට කර ගන්නට තරම්  ආදරයකින් හෝ ගෞරවයකින් මේ කියන හදවත බර වෙනවා දුටු කිසිවකු හෝ සිටිත් ද? ඉදින් ඔවුහු වනාහි, මහා අපරාධයන් පිළිබඳ ‘ජනපති කොමිෂන් සභා වාර්තා, තිස් වසරකට බහා තබන්නට’ අණ දුන්, ආසියාවේ ඉපැණිම සර්ව ජන ඡන්ද බලය හිමි රටේ ‘ප්‍රජාතාන්ත්‍රවාදයේ මහිමයෙන්’, ජන ඝාතයකයන්ට ජනපති පුටුවේ ලගින්නට හැකි  දේශපාලන පසුබිම තනන හැටි පරමාදර්ශයෙන් පෙන්වූ උත්තම විප්ලවවාදී ප්‍රජාවක නියෝජිතයෝ වන්නාහ.

kiljzdf


තවමත් උතුරේ මළවුන් සැමරීම හෝ විරුවන් සැමරිම දකුණ භීතියෙන් ඇළලී යන ප්‍රවෘත්තියකි. ඊට පොලිසිය හෝ සන්නද්ධ හමුදා බාල්දි පෙරළන විට දැනෙන කාලකණ්ණි සංතුෂ්ටියට ලොබ කරන බහුතරයේ ‘දෙමළ ෆෝබියාව’ දේශපාලනිකව විග්‍රහ කෙරෙන වේදිකාවන් නැත.


මුල්ලිවෛක්කාල් මහා සංහාරයෙන් පසු ව වුව දෙමළ ජනයා තමන්ගේ මළවුන් සහ විරුවන් සැමරීම අඛණ්ඩව සිද්ධ කෙරුණි. රණවිරුවන් විසින් ඩෝසර්කරණය කළ,  ප්‍රස්තුත කනකපුරම් විරු සොහොන් වපසරියේ තැන් තැන්වල ඉතිරව තිබූ සකල ස්මරණ ශේෂයන් එක් කොට, සොහොන් අවකාශය මැද ‘මහා ස්මාරකයක් තනන්නට’ දෙමළ ජනයාගේ සාමුහික ධෛර්යයට හැකි විය. 2017 සන්ධ්‍යාවේ, යළි දහස් සංඛ්‍යාත ඥාතීන්ගෙන් පිරී ගිය කනකපුරම් සොහොන් බිම, රාත්‍රිය ලබද්දී ඔවුන් දැල්වූ දහසක් ඉටිපන්දමින්, පහනින් ඒකාලෝක විය.

කොහේ කොතැනක සිටියත් ‘දෙමළ ඉල් මහා සැමරුම’ පිණිස උතුරුකර සොහොන් පිටි  වල් උදුරා සකස් කරන්නට වල් නොවැදුණු මතකයන් සහිත පිරිස් පැමිණෙති.  කවර ‘නිල’ බාධා කිරීම් මධ්‍යයේ වුව තමන්ගේ ඥාතියා, සමීපතමයා  සමරා මිස අඩිය පස්සට ගන්නේ නැත. සාමුහික මතකය සජීවීව පවත්වා ගන්නා දෙමළාගේ සාමුහික අධිෂ්ඨානය එබඳු ය.

sde

‘අහිංසකයන්ගේ ආරාමය’ පමණක් නොව, දකු‍ණේ විරුවන් පිළිබඳ සමස්ත සාමුහික මතකය ඩෝසර් කරන්නට රණවිරු සමාජයට හැකි වුව ද දෙමළ ජනතාවගේ සාමුහික මතකය ද, සාමුහික අධිෂ්ඨානය ද ඩෝසර් කිරිම කිසිදාක කළ නො හැක්කක් බව, මේ ගෙවී යන නිශ්චිත නිමේෂයේ පවා ඔවුන් විසින් ඔප්පු කෙරෙමින් තිබේ.


manjula wedi(මංජුල වෙඩිවර්ධන)
ප්‍රවීණ සාහිත්‍යවේදී

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(බල්සාක් කැෆේ - අනිද්දා පුවත්පත 2022 නොවැම්බර් 27)

 

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්