(සොරුන්/අපරාධකරුවන් ආරක්ෂා කිරීමේ නවතම මාදිලිය)



“ගිය දේ ගියාවේ, හෙටක් ගැන බලාගමු” යැයි කතාවට හෝ කිව හැක්කේ, ඊයේ කරපු වැරදි හෙට නොකරන බවට අද සිටවත් සහතික විය හැකි අවස්ථාවකදී පමණි. ඒ සහතිකය කෙතරම් විශ්වසනීයදැයි තීරණය කළ හැක්කේ, අද සිදුවන දේවල් දෙස විපරම්කාරීව බැලීමෙන් සහ ඒ සහතිකය අපට සපයන කෙනාගේ වර්තමාන චර්යාව දෙස බැලීමෙන් පමණි.


මහින්ද රාජපක්ෂගේ පාලන කාලයේ සිදු වූ බරපතල මානව හිමිකම් උල්ලංඝණයන් සහ සුදු වෑන් සංස්කෘතිය පිළිබඳ සමාජයේ තියුණු කතාබහක් ඇති වුණු වකවානුවක් තිබුණි. එවක විරුද්ධ පක්ෂය හෙවත් පසුව (2015) බලයට පත් ‘යහපාලන’ කඳවුර, බලයට පැමිණීමේ ස්වකීය ව්‍යාපෘතිය වෙනුවෙන් මේ සමාජ විවේචනය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත්තේය. එහි වරදක් නැත. වරද සිදුවුණේ, එකී විවේචනයන් තුළින් චූදිත භාවයට පත්කළ කිසිවෙකු, ‘යහපාලන’ කඳවුර බලයට පත්වූ පසු නීතිය ඉදිරියට පමුණුවා දඬුවම් දීමට එම කඳවුරේ නායකයන් කටයුතු නොකිරීම තුළයි.


මේ කාලයේ ලංකාවේ ඉතිහාසය අළලා ධර්මසිරි බණ්ඩාරනායක නිර්මාණය කළ වාර්තා චිත්‍රපටයක පළමු දර්ශනය සීමිත ආරාධිතයන් පිරිසක් ඉදිරියේ ඇමරිකානු තානාපතිවරයාගේ නිවසේදී ප්‍රදර්ශනය කෙරුණි. චිත්‍රපට දර්ශනයෙන් පසු, ලංකාවේ කතාබහට ඒ අවස්ථාවේ ලක්වෙමින් තිබූ ඉහත කී මානව හිමිකම් උල්ලංඝණයන් ගැන මේ ලියුම්කරු යම් සඳහනක් කළ අවස්ථාවේ, රාජපක්ෂලාගේ ඉහළ පෙළේ උපදේශකයෙකු වශයෙන් ඒ කාලයේ කටයුතු කරමින් සිටි පාලිත කොහොන, “ගිය දේවල් ගැන දැන් කතා කරලා වැඩක් නැහැ, ඉස්සරහ ගැන බලාගන්නයි තියෙන්නෙ” යැයි සැරට කීවේය. ඔහු ඒ ප්‍රකාශය කළ ආකාරය සහ ස්වරයම, රාජපක්ෂලා යනු කිසි දවසක පුනරුත්ථාපනය කළ නොහැකි පිරිසක් බව කෙනෙකුට ඒත්තු ගන්වනසුළු විය.


පසුගිය දා ලංකා වාණිජ මණ්ඩලයේ සභාවක් අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශයක් මාධ්‍යවල පළවිය. ලංකාවේ අද පවතින ආර්ථික අගාධයේ ගැඹුර කෙතෙක්ද යත්, එය ප්‍රතිසංස්කරණවලින් ගොඩදැමිය හැකි දෙයක් නොවන බව එහිදී ජනාධිපතිවරයා අවධාරණය කොට තිබුණි. එවැනි ප්‍රතිසංස්කරණ කිසිවක් පිළිබඳ අදහසක් ඇත්තෙන්ම තමන්ට නැති බවත් ඔහු තවදුරටත් කියා තිබුණි. සමහරවිට, ප්‍රතිසංස්කරණ යනුවෙන් ඔහු එහිදී අදහස් කරන්ට ඇත්තේ ‘පැලැස්තර’ යන්න විය හැකිය. අවුරුදු 25 ක් වැනි දීර්ඝ කාලයකට විහිදෙන සැලසුම් කිරීමක අවශ්‍යතාවක් ගැනත් ඔහු කතා කර තිබුණි. ඔහු අවධාරණය කළ දෙවැනි කාරණය බව පෙනෙන්නේ, මේ තරම් රට ප්‍රපාතයට ඇදවැටීමට, රාජ්‍ය අංශය සේම පෞද්ගලික අංශයත් හේතු වී ඇති බව ය. එසේ කියා ඔහු සභාවෙන් ප්‍රශ්නයක් අසා තිබේ. එනම්, ආර්ථිකය ඔහු කියන ආකාරයෙන් අලුතෙන්ම ගොඩගැනීමට පෞද්ගලික අංශය ලැහැස්තිද යන්නයි. එදා රැස්ව සිටි සභාව ඒ ප්‍රශ්නය කෙසේ භාරගත්තේදැයි දැනගැනීමට තරම් තොරතුරු තවම වාර්තා වී නැත.






ජනාධිපතිවරයාගේ ‘ගුරු තරුව’

 

එහෙත්, අපේ මාතෘකාවට අදාළ ‘කේවට්ට උපදේශය’ ඔහු සභාවට දන්වා ඇත්තේ මේ අවස්ථාවේ ය. එනම්, ‘එකිනෙකා වෙත ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න’ යන්නයි. මේ කතාව, විවිධ අවස්ථාවල, විවිධ මුහුණුවරින් පසුගිය කාලයේ ඔහු පවසනු අප අසා තිබේ. ඇඟිලි දිගු කෙරෙන්නේ, රට මේ ප්‍රපාතයට ඇදහෙලූ අය වෙත ය. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂගේ පාලන කාලයේදී සමාව දිය නොහැකි ආර්ථිකමය විනාශයන් කරා රට ගෙන ගොස් තිබේ. රනිල් වික්‍රමසිංහ බලයට පත්වන්නේ, ගෝඨාභය රාජපක්ෂගේ එකී ආර්ථික විනාශයන්හි ප්‍රතිඵලයක් වශයෙනි. ඉතිං, ඔහු මෙහිදී නොකියා කියන්නේ, රාජපක්ෂලා වෙත ඇඟිල්ල දිග් කිරීමෙන් වළකින්න යන්නයි. 2014 දී රාජපක්ෂලා නියෝජනය කරමින් පාලිත කොහොන කී කතාවට මෙය හැම අතින්ම සමානයි.

 

බලයට පත්වීම සඳහා පමණක් (2015) අනෙකාගේ වැරදි දඩමීමා කරගැනීම වාගේම, තිබෙන බලය ආරක්ෂා කරගැනීම සඳහා පමණක් (2022) අනෙකාගේ වැරදි යටගැසීමත් එක සමාන තක්කඩිකම් ය. ජනාධිපතිවරයා වශයෙන් රනිල් වික්‍රමසිංහ සහසුද්දෙන් දන්නා එක දෙයක් තිබේ. එනම්, තමාගේ කෙටි ධුර කාලය තුළ ආර්ථිකය දියුණු කිරීම සඳහා මෙලෝ දානයක් කිරීමට තමන්ට හැකියාවක් හෝ අවස්ථාවක් හෝ නොලැබෙන බව ය. අවුරුදු 25 ක් වැනි දීර්ඝ කාලයක් ගැන කතා කිරීමෙන් ඔහු කරන්නේ, ඉදිරි දෙවසරක කාලය තුළ තමාට අත්විය හැකි එකී අසාර්ථකත්වය සඳහා සමාවට කාරණයක් දැන් තියාම සපයා ගැනීමයි.


වර්තමාන අර්බුදයෙන් ගොඩඒම අවුරුදු දෙක තුනක් වැනි කෙටි කාලයකින් කළ හැකි දෙයක් යැයි මෙයින් අදහස් නොකෙරේ. දශකයක් හෝ දෙකක්වත් ඒ සඳහා අවශ්‍ය කරන්නේය යන යථාර්ථය බැහැර කිරීමක්ද එයින් අදහස් නොකෙරේ. එහෙත්, වර්තමාන ජනාධිපතිවරයා අඩිය ගසාගෙන සිටින ස්ථානය සහ නිශ්චිත මොහොත දෙස බලන විට, තව ශතවර්ෂයකින්වත් ඒ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවක් ඔහුට නොලැබෙන බව නම් සහතික ය. හේතුව ඉතා සරලයි. ලී ක්වාන් යූ හෝ මහතීර් මොහොමඩ් වැනි මේ අංශයෙන් නිතර උද්ධෘතයට ගැනෙන පුද්ගලයන්ට හිමිව තිබූ සුජාත භාවය රනිල් වික්‍රමසිංහට නොතිබීම ඊට හේතුවයි. සුජාත භාවය, හුදෙක් ව්‍යවස්ථානුකූල භාවය මතින් පමණක් ලැබෙන දෙයක් නොව, ජනතාවකගේ අව්‍යාජ අනුමැතියද අවශ්‍ය කෙරෙන දෙයකි. තවත් විදිහකින් කිවහොත්, අලුත් මැතිවරණයකින් මෙපිට රටේ ආර්ථිකය ගොඩගැනීමේ අඩිතාලම දමා ගැනීමේ අවකාශයක් කිසිවෙකුට නොලැබෙන බව ය.


මෙය රනිල් වික්‍රමසිංහ නොදන්නවා නොවේ. ඒ දැනුම මත පදනම්ව, ඊළඟට ඔහු එන නිගමනය වන්නේ, එසේ නම් එම කෙටි කාලය, ස්වාර්ථය සඳහා යෙදවිය යුතු බව ය. ඔහුගේ ස්වාර්ථය යනු, රාජපක්ෂලාගේ මෙන්, හරිහම්බ කරගැනීම හෝ වරිගයාගේ අයිතියට රටේ අයිතිය පත්කිරීම හෝ නොවේ. ඔහුගේ උන්නතිකාමය ඊට බෙහෙවින් වෙනස් ය.

 

ඩී. එස්. සේනානායකගේ පටන් ගොඩනැඟූ මහා වෘක්ෂය තමාගේ නායකත්වය යටතේ වඳ පීදී ගිය මෑත අතීතයක ලැජ්ජාවෙන් ඔහු පෙළෙයි. ඒ නිසා, රට ගොඩගැනීම වෙනුවට (ඒ සඳහා අවශ්‍ය කරන ප්‍රතිසංස්කරණත් ඔහු සතුව නැතිලු), පක්ෂය ගොඩගැනීම ඔහුගේ ඒකායන අභිලාෂය බවට පත්වීම ස්වභාවිකයි. ඒ සඳහා, සමගි ජනබලවේගයත් පොහොට්ටුවත් අභ්‍යන්තරයෙන් බිඳහෙලන අතරේ ජනතා විමුක්ති පෙරමුණ වැනි පක්ෂ සහ ශිෂ්‍ය/වෘත්තීය සමිති ව්‍යාපාර හීලෑ කරගැනීමත් අත්‍යාවශ්‍ය කෙරේ.

 

ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගැන, රාජපක්ෂලාට සාපේක්ෂව මොන තරම් ලිබරල් ආඛ්‍යාන තිබිය හැකි වෙතත්, ඒවායින් කිසිවක් රට ඉදිරියේ ප්‍රත්‍යක්ෂයෙන් ගෙනහැර පෙන්වීමේ කිසිදු ඉඩහසරක් මේ කාලපරිච්ඡේදය තුළ ඔහුට නොලැබෙනු ඇත. එය, ඔහු භාරගෙන ඇති අන්තර්වාර රාජකාරියේ ස්වභාවය විසින්ම තීන්දු කොට තිබෙන විශේෂිත තත්වයකි. ඒ නිසා, දිගින් දිගටම ඔහුගෙන් ප්‍රදර්ශනය වනු ඇත්තේ, ඔහු ඇතුළු අනෙකුත් දේශපාලනඥයන්ද මෙතෙක් කරගෙන ආ සිල්ලර දේශපාලනයේම දිගුවකි.


ඩයනා ගමගේ කතා වස්තුව


thilini janakai diana

මේ ගැන තත්ව පරීක්ෂාව සිදු කළ හැකි අවස්ථා කිහිපයක් අතරින් එකක් පමණක් මේ ලිපිය සඳහා පාදක කරගැනේ.


තිළිනි පියුමාලි, ජානකී සිරිවර්ධන සහ ඩයනා ගමගේ වැනි කාන්තා නම් මේ දිනවල සමාජ අවකාශයේ විශාල ඉඩක් හිමිකරගෙන සිටී. මේ සෑම කෙනෙක්ම විශේෂ ‘දක්ෂතා’ සහිත කාන්තාවන් ය. මුලින් කී තැනැත්තිය (දෙවැනුව කී කාන්තාවත් සමග), ගස්-ගල් සේ සිටි මහා පුරුෂයන් ඇන්දුවාය. රහතන් වහන්සේලාගේ සිවුරු ගැලෙව්වාය. එසේ වෙතත්, ඔවුන් දෙන්නාම දේශපාලනයේ සක්‍රීය කොටස්කරුවන් නොවන නිසා නීතිය ඉදිරියේ යම්තාක් දුරකට මේ වන විට හිර වී සිටිති.


එහෙත් තෙවැන්නිය අර කී දෙන්නාටම වඩා වෙනස් ය. බලකාමී ය. ඇය අන්දවා ඇත්තේ, තෝරාගත් ධනපතියන් සහ කළු සල්ලි ව්‍යාපාරිකයන් පිරිසක් නොව, මුළු රටක්ම සහ සමස්ත ආයතනික ව්‍යුහයක්ම ය. 2004 පටන් මෙරටේ නීති විරෝධීව රැඳී සිටීමට ඈ වගබලාගෙන ඇත. එය සාමාන්‍ය පුරවැසියෙකුට කළ හැකි දෙයක් නොවේ. රටේ දේශපාලන ධූරාවලිය තුළ රාජ්‍ය ඇමතිවරියක් දක්වා නැඟීමටත්, රාජකාරී විදේශ ගමන් බලපත්‍රයක් සහ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් පවා ලබා ගැනීමටත් ඒ කාලය තුළ ඈ සමත්ව ඇත. 

 

දැන්, නීතියේ ආධිපත්‍යය සහ ශිෂ්ටත්වයේ අධිකාරය මත පිහිටා සිටින ලිබරල් දේශපාලනඥයෙකැයි කියන රනිල් වික්‍රමසිංහ ඇය අරභයා දක්වන ප්‍රතිචාරය කුමක්ද? ඇය විසින් තමන්ගේ පක්ෂය සමගි ජන බලවේගයට විකුණා ඇති නිසා, ලංකාවේ පුරවැසි භාවය ඈට නැතත් අපේ පාර්ලිමේන්තුවේ අසුන් ගැනීමට ඈට අයිතිය ඇතැයි ජනාධිපතිවරයා කියා තිබේ.

 

යම් කිසි ප්‍රකාශයක උක්ත-ආඛ්‍යාත සම්බන්ධයක් තිබිය යුතුය. යම් ප්‍රකාශයක් තුළ අඩංගු අදහසකත් එවැනිම ‘උක්ත-ආඛ්‍යාත’ සම්බන්ධයක් තිබිය යුතුය. (එසේ නොවුණොත්, ‘කොහෙද යන්නෙ මල්ලෙ පොල්’ වන්නේය). එහෙත් ජනාධිපතිවරයා ඇය සම්බන්ධයෙන් කර තිබෙන ඉහත කී ප්‍රකාශය තුළ එවැනි සහසම්බන්ධයක් කොහෙන්වත් සොයා ගැනීමට නැත. තමන්ගේ පක්ෂ නාමය තවත් කණ්ඩායමකට (සමගි ජන බලවේගයට) විකිණීම සහ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු වීම යන කාරණා දෙක එකතු වූ විට, එම තැනැත්තියට ලංකාවේ පාර්ලිමේන්තුව තුළ අසුන් ගැනීමට ‘අයිතියක්’ ලැබෙන්නේය යන නිගමනය එන්නේ මොන සක්වළක ක්‍රියාත්මක වන නියාමයකින්ද? මෙවැනි කු-තර්ක නිර්මාණයේදී, මහින්ද රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ යන දෙන්නා අතර ඇතැයි කෙනෙකු විශ්වාස කිරීමට ආශා කරන වෙනස බොඳ වී යයි.



රටින් පිටුවහල් කළ යුතු ගැහැනියක්
රටේ ව්‍යවස්ථාදායකයේ අසුන් ගැනීම  



ඩයනා ගමගේ අපේ ප්‍රජාතන්ත්‍රීය සංස්කෘතිය සහ ව්‍යවස්ථාව අවභාවිත කොට සහ උල්ලංඝණය කොට ඇති බව පැහැදිලියි. 2004 පටන් ඇයට බ්‍රිතාන්‍ය පුරවැසි භාවය හැරුණු විට, අඩු වශයෙන් ව්‍යාජයෙන් හෝ කිව හැකි ලංකාවේ ද්විත්ව පුරවැසි භාවයක්වත් තිබී නැත. එසේ තිබියදී ඇය ඒ කරුණු වසං කොට, 2014 ජනවාරි 24 වැනි දින ශ්‍රී ලාංකීය සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍රයක් ලබාගෙන තිබේ. ඒ වනාහී, රාජපක්ෂ පාලන කාලයයි. එහෙත් ඒ රාජපක්ෂ පාලනය දූෂිත නිසා එය වෙනස් කොට ජනතාව පත්කරගත් යහපාලන ආණ්ඩුව කාලයේත්, එනම් 2018 නොවැම්බර් 05 වැනිදා නැවතත් පෙර පරිදිම කරුණු වසං කොට (මෙවර සාමාන්‍ය ගමන් බලපත්‍රයක් නොව) රාජකාරි ගමන් බලපත්‍රයකුත් ඇය ලබාගෙන තිබේ.


මේ කරුණු අනාවරණය වන්නේ, 2021 අවසාන භාගයේදී, එනම් ගෝඨාභය රාජපක්ෂ පාලන කාලයේදී රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ඇය අයදුම් කළ අවස්ථාවේ සිටි ආගමන විගමන පාලක ජෙනරාල්වරයාගේ වාර්තාවකිනි. ඉහත කී කරුණු වසං කිරීම හේතුකොටගෙන ඇයට රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීම එකී ආගමන විගමන පාලක ජෙනරාල්වරයා ප්‍රතික්ෂේප කොට ඇත. ගෝඨාභය රාජපක්ෂ යටතේ පවා කෙළින් වැඩ කිරීමට කොන්දක් තිබූ රාජ්‍ය නිලධාරීන් ඉඳහිට හෝ සිටි බව එයින් කියැවෙයි.

 

ඩයනා කතා වස්තුවේ ඊළඟ අදියර දිග හැරෙන්නේ, ගෝඨාභයට වඩා ලිබරල්, වඩා ප්‍රජාතන්ත්‍රීය සහ වඩා ශිෂ්ටසම්පන්න යැයි කියන රනිල් වික්‍රමසිංහ ජනාධිපති තනතුරට පත්වීමෙන් පසුව ය. ඉහත කී ආගමන විගමන පාලක ජෙනරාල්වරයාව මාරු කෙරුණි. අලුත් කෙනෙකු ඒ තනතුරට පත්කෙරුණි. ඩයනා ගමගේට 2022 සැප්තැම්බර් 12 වැනි දින (සාමාන්‍ය හෝ රාජකාරි විදේශ ගමන් බලපත්‍රයක් නොව) රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් (රතු පාස්පෝට් එකක්) නිකුත් කෙරුණි. මේ කිසිවක් ජනාධිපතිවරයාගේ සෘජු මැදිහත්වීමෙන් සිදු කරන ලදැයි මෙයින් නොකියැවෙයි. එහෙත්, එසේ වූ පමණින් ඔහු නිfදාස් නොවන්නේ, එවැනි දූෂිත ක්‍රියාවලියක් ගැන ඔහුගෙන් ප්‍රකාශයට පත්වන  ලිහිල් ආකල්පය නිසාවෙනි. එවැනි ආකල්පයක් ව්‍යුත්පන්න විය හැක්කේ සිල්ලර දේශපාලනයක් තුළින්ම පමණි.

 

දැන් මගේ ප්‍රශ්නය මෙයයි. ඇය විසින් තමාගේ පක්ෂ නාමය වෙනත් පක්ෂයකට විකිණීමට හිලව්වක් වශයෙන් මොන ක්‍රමයකින් හෝ රාජ්‍ය තාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීමේ වරදක් නැතැයි ඇඟවෙන ළාමක විහිළුවකට මේ බරපතල සිද්ධිය ලඝු කිරීමට තරම් බාල අඩියකට ඇදවැටෙන ජනාධිපතිවරයෙකුට, තව අවුරුදු 25 කින් තියා තව දශක 25 කින්වත් මේ රට ගොඩගැනීමේ සම්‍යක්දෘෂ්ටියක් කෙසේ නම් පහළ විය හැක්කේද?


එසේ තිබියදී, ඩයනා ගමගේ දෙසට ඇඟිල්ල දිග් කිරීමෙන් වැළකී ඉන්නට අපි වගබලාගමුද?  


අතරමැද අලුත් ආණ්ඩුවක් මොකටද? එහෙම වුණොත් වැඩේ හරිද? - ගාමිණී වියන්ගොඩ(ගාමිණී වියන්ගොඩ)
ප්‍රවීන සාහිත්‍යවේදී හා දේශපාලන විචාරක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(අනිද්දා පුවත්පතින් උපුටා ගැනිණ)

 


The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

 

new logo

 

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්