මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

 

NNLසම්පූර්ණ නම - නලනි නිලූෂිකා පතිරණ

අධ්‍යාපන සුදුසුකම් - අ.පො.ස උසස් පෙළ වාණිජ අංශයෙන්

රැකියාව - ඩිවයින් නමින් ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන ව්‍යාපාරයක් පවත්වාගෙන යාම

විවාහක/අවිවාහක භාවය - විවාහකයි

දේශපාලනයට සම්බන්ධ පවුල් පසුබිම - මගේ පිියා දේශපාලන කටයුතු වල නිරතවුණා හිටපු ධීවර සහ පශු සම්පත් ඇමති මහින්ද විජේරත්න සමග. මම හිටපු පළාත් සභා මන්ත්‍රී මහේන්ද්‍ර විජේරත්න ගේ පුද්ගලික ලේකම් විදිහට කටයුතු කළා.

නියෝජනය කරන ප‍්‍රදේශය - මීරිගම අංක 5 කොට්ටාශයේ හකුරුකුඹුර වසම එ.ජා.ප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීවරියක් ලෙස

 
 

දේශපාලනය කියන එක ඔබට අනුව වෘත්තියක් ද නැත්නම් ඉන් ඔබ්බට ගියපු කාර්යයක් ද ?
 

දේශපාලනය වෘත්තියක් වෙන්නේ හම්බකරගන්න අයට. මගේ මතය නම් ජනතාවට සේවයක් අපෙන් අවශ්‍යනම් ඔවුන් අපි ලඟට ඇවිත් ඒවා ඉල්ලන්න ඕන. කාන්තා නියෝජනයෙන් බලාපොරොත්තු වෙන්නේ ඒ දේ තමයි මම හිතන්නේ.
 

ඔබ මන්ත්‍රීවරියක් විදිහට තේරී පත්වෙන්නේ මොන අවුරුද්දෙ ද? ඒ මැතිවරණයෙන් ද නැත්නම් කෝටාවෙන් ද?
 

මම මන්ත්‍රීවරියක් බවට පත්වෙන්නේ 2018 අවුරුද්දේ කාන්තා කෝටාවෙන්. මැතිවරණයට ඉදිපත්වුණේ නෑ. ලයිස්තුවෙන් තමයි ආවේ. මගේ කොට්ඨාශයෙන් ඉදිරිපත් වුණේ පිරිමි කෙනෙක්. මීරිගම කොට්ටාශ 29න් 27ක් ම අපේ පක්ෂය පරාදයි. කෝටාවෙන් කාන්තාවන් පස් දෙනෙක්ට තේරීපත්වෙන්න හැකිවුණා. සේරම සභිකයන් දහතුන් දෙනෙක් අපේ පක්ෂයෙන් තේරී පත්වුණා.
 

ඔබේ පක්ෂයේ ප්‍රාදේශිය නායකයෙක්ගේ හෝ පළාත් නායකයෙක්ගේ උදව් අරගෙන ද මේ කෝටාවට නම දාගත්තේ?
 

කලින් පාර නම් කෝටාවට තෝරගත්තේ එහෙම පදනමක් ඇතිව නෙවෙයි. ලයිස්තුවෙන් ඉන්න කෙනාට දිනන්න නම් කොට්ඨාශේ ඡන්දේ ඉල්ලන කෙනා පරාද වෙන්න ඕන. ඒ නිසා ලයිස්තුවේ ඉන්න අය වැඩකලේ ඡන්දේ ඉල්ලන කෙනා පරාද කරන්න. මේ පාර හැබැයි එහෙම බෑ. කොහොමත් පක්ෂය තීරණය කරන්නේ ආසන සංවිධායක කියන එක තමයි. ඒ නිසා ආසන සංවිධායක කවුරු වුනත් ඒක ගැටළුවක් නෑ කියන තැන තමයි මම ඉන්නේ.
 

ආසන සංවිධායක විසින් ද කෝටාවට නම දාන්නේ?
 

ගොඩක් දුරට ආසන සංවිධායක තමයි. අපේ පක්ෂයේ නායකයා ජනාධිපතිතුමා. අපිව එතුමා හඳුනන්නේ නැති නිසා අපි ආසන සංවිධායක හරහා තමයි තෝරන්නේ. අපේ දිස්ත්‍රික්කය බලන්නේ රුවන් විජේවර්ධන මැතිතුමා. එතුමා අපිව හඳුනනනවා. ඒත් ආසන සංවිධායක හරහා තමයි අපිව යෝජනා කළේ.


කාන්තා කෝටාව තිබුණේ නැත්නම් ඔබ දේශපාලනයට එන්න ඉඩ තිබ්බ ද?
 

මම හිතන්නේ නෑ. මොකද මම වැඩකලේ පළාත් සභා මන්ත්‍රීතුමාගේ ලේකම් විදිහට. ඒ ලේකම් තනතුරට අදාල දේවල් කලා එතුමා එක්ක දිස්ත්‍රික්කය පුරාම ගියා. එතනදි කෝටාවට තෝරගන්න නම් යෝජනා කරලා අන්තිමට සුදුසු අය තෝරාගනිද්දි ඉතිරිවුණේ කිහිප දෙනෙක් විතරයි. එතනදි අධ්‍යාපන සුදුසුකම් සලකලා බැලුවේ නෑ. කාටවත් කාන්තා කෝටාව ගැන හරි අවබෝධයක් තිබුණේ නැහැ .
 

ඔබ හිතන්නේ මේ කාන්තා කෝටා ක්‍රමය හොඳයි කියලද?
 
 
නෑ මම හිතන්නේ නෑ  ඒක කෙරුණු විදිහ හොඳයි කියලා. මොකද එතනින් සාධාරණ කාන්තා නියෝජනයක් සිදුවුණේ නැති නිසා. දැන් අපි පුහුණුවීම් එහෙම හොයාගෙන ආයතනවලට යනවා මෙතනදි කාන්තාවන් තෝරගනිද්දි හරි අධ්‍යාපන සුදුසුකමක් බැලුවේ නෑ.සමිතියක කතාකරපු පලියට කැන්වසින් ගියපු පලියට තමයි කාන්තාවන් තෝරගත්තේ. සමහර කාන්තා මන්ත්‍රීවරියෝ ඉන්නවා සභාවේ රැස්වීමට ඇවිත් බත් එක කාලා ගෙදර යන අය. එතනට තෝරගනිද්දි දැනුම අවබෝධය තියන අය තෝරාගත්තොත් තමයි වැඩක් වෙන්නේ. උදාහරණයක් විදිහට මේකට ගොඩක් වයසක කාන්තාවෝ තෝරගෙන තේරුමක් නැහැ.
 
 
ඔබ කියන්නේ දේශපාලනය කරන්න වයසක් තියනවා කියලද?
 

මම කියන්නේ පරිණතභාවය තියෙන්න ඕන.අලුතින් දෙයක් ඉගනගන්න හැකියාව තියෙන්න ඕන. අපි ඩිප්ලෝමාව කළා. තිබුණු හැම සමුළුවකටම ගියා. සභාවමට මුලින්ම යද්දි පනත වත් දැනගෙන හිටියේ නෑ. අන්න ඒ වගේ දේවල් එකතුකරගන්න හැකියාව තියෙන්න ඕන.
 

කාන්තා නියෝජිතවරියන්ගේ සේවය අවුරුදු හතර ඇතුලේ සිදුවුණේ නැද්ද?
 

සිදුවුනේ නෑ. එකක් ගෝලීය වසංගතය එක්ක කාන්තාවන්ට එළියට බහින්නවත් බැරිවුණා. මුල්ම කොරෝනා රැල්ල වෙලාවේ බඩුමළු බෙදාගෙන අපිත් වැඩකලා. ඒත් දෙවැනි රැල්ලෙදි අපි එහෙම කරන්න බැරිවුණේ නෑ. අපේ ගෙවල්වලට පවා අමාරුවුණා. අපි ගෙදරින් සල්ලි අරන් තමයි වැඩකරන්නේ. මේ කාන්තා නියෝජනය තියන ප්‍රශ්නය තමයි කාන්තාවන්ට කිසිම ප්‍රතිලාභයක් නෑ.
 

පිරිමින්ට තියෙන ප්‍රතිලාභය මොකක්ද?
 

පිරිමි අයට එකතුවෙලා කතා කරන්න පුළුවන්. ඒත් කාන්තාවන්ට රෑට එකතුවෙලා කතා කරන්න බෑ. ඒවගේ බාධා තිබෙනවා.
 

කාන්තාවකට සමාජයේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටළුවක් තියනවාද?
 

ආරක්ෂාව සම්බන්ධයෙන් නෙවෙයි. 
 
 
සමාජය හිතන විදිහට කාන්තාවන්ට වැට පැනගෙන යන්න බෑ.
 

වැට කියලා අදහස් කරන්නේ මොකක්ද?
 

ස්ත්‍රී පුරුෂ සමාජභාවය ගැන කතා කලාට අම්මා අම්මමයි. මට ඒකෙන් මිදෙන්න බෑ. තීන්දු තීරණ ගනිද්දි ගැහැණියක් කියන එක අමතක කරන්න බෑ. ගැහැණියකට පිරිමිකමක් අවශ්‍ය නෑ. ගැහැණුකම තියාගෙන දේශපාලනය කරන්න ඕන.


වැට කියලා අදහස් කලේ සංස්කෘතිය ද?
 

සංස්කෘතිය නෙවෙයි. මම දේශපාලනයට එද්දි කොණ්ඩේ බැඳලා ඔසරිය ඇන්දේ.ඒත් දැන් කොණ්ඩේ කපලා සාරිය අඳින්නේ. තියන කාර්යබහුල බව නිසා කොණ්ඩයවත් නඩත්තු කරන්න විදිහක් නෑ. මගේ පෞර්ශත්වය සම්බන්ධයෙන් ඇඳුමෙන් අදහසක් යනවා වුනත් මගේ පහසුව ගැනත් මම බලන්න ඕන. අනිත් එක දිගටම පුහුණුවීම්. මම ඒ.ආර් ඇකඩමියේ ඉන්නවා. ෆැපරල් පුහුණුවේ ඉන්නවා. පළාත් පාලන ඩිප්ලෝමාව කළා. දරුවෝ තුන්දෙනාගේ වැඩත් එක්ක වෙලාව සහ නිදහස සෑහෙන්න අඩුයි.
 

කාන්තාවක් දේශපාලනයට ආවම කාන්තාවක් විදිහට මුහුණදෙන්න සිදුවුණු දේවල් මොනවද?
 

කාන්තාවක් වීමම තමයි. ඉගනගත්ත කෙනෙක්ට යන්න අමාරුයි ඉදිරියට.ජ්‍යෙෂ්ඨයන් ගමන කොහොමහරි වළක්වනවා. ඉගනගන්න අයට සෑහෙන්න බයයි. එක්සත් ජාතික පක්ෂයෙන් අපි තේරුණත් එ.ජා.ප යේ ඉතුරුවුණු ස.ජ.බ යට නොගියපු එකම කාන්තාව මම. පස්සේ අපි පක්ෂ දෙකක වගේ තමයි හිටියේ. කාන්තාවක් තව ගැහැණියෙක්ට උදව් කරන්නෙත් නෑ. මම කතාකරන්නේ සමස්තය ගැන. එහෙම නොවන සුළුතරයක් ඉන්නවා. සභාවේ කාන්තාවන් පහළොවක් ඉන්නවා. සභාපතිතුමා ගොඩක් වයසක කෙනෙක් පොහොට්ටුව නියෝජනය කරන. අයවැය අවස්ථාවේ අපි අයවැයට පක්ෂව ඡන්දය දුන්නා එ.ජා.ප යේ අපි එකතුවෙලා. පස්සේ ස.ජ.බෙ න් මට එරෙහිව කැලෑපත්තරයක් ගියා. මම සභාපතිවරයා එක්ක කතාවක් හදලා. මම ඒ ගැන සභාවෙදි කතාකරද්දි එක මන්ත්‍රීවරියක් මගේ සහයට නැගිට්ටේ නෑ. කාටවත් බැරිවුණා කියන්න පුද්ගලික ජීවිතය වැඩක් නෑ  කාන්තාවකට මඩගහනවට කැමති නෑ කියලා. මෑත කාලිනව කාන්තා කමිටුවක් හැදුවා. මම එතනදි කතාකරලා කිව්වා මට මම වෙනුවෙන් කතාකරන්න බැරිවුණාට එහෙම ගැටළුවලට මුහුණදුන්න කාන්තාවන් වෙනුවෙන් මම කතා කරනවා කියලා.සාමූහිකත්වය නැති එක කාන්තාවන් අතරේ ලොකු ගැටළුවක්. දේශපාලනයේදී අපිදන්නේ ඒක මහජනතාව වෙනුවෙන් කරන සේවාවක් විදිහට.
 

සාමූහිකත්වය නැති එක ජනතාවට සේවය කරන්න බාධාවක් නෙවෙයිද?
 

අපි පක්ෂය කරේ තියන් යන එක තේරුමක් නෑ. දැන් මේ දවස්වල රුපියල් පන්දහසේ ශිෂ්‍යත්ව වැඩසටහනක් තියනවා. එතනදි මම පක්ෂය අමතක කරලා ලැබිය යුතු පිරිසට ඒක ලබා දෙනවා. ඡන්දෙදි ඒ මිනිස්සු මට සාධාරණයක් කරාවි. ඇකඩමි වලදි වුණත් හැම පක්ෂවලම මන්ත්‍රීවරු මුණගැහෙනවා. ඒ නිසා පක්ෂ භේදයක් නෑදැන්.
 

ඔබගේ ප්‍රාදේශිය සභාව තුළ මන්ත්‍රීවරියක් විදිහට අවුරුදු හතරක් කටයුතු කරද්දි සභාව තුළ සහ නියෝජනය කරන ජනතාවගේ ප්‍රශ්න හදුනාගෙන තියනවද ?
 

ඔව් ගමගේ කොට්ඨාශයේ නාගරිකව ගොඩක් ඉන්නේ ව්‍යවසායකයන්. ඔවුන්ගේ තියන ප්‍රශ්න වෙනස්. ලයිට් එකක් දාන්න  කුණු ට්‍රැක්ටරේ එන්නේ නැති එක. එතනින් එහාට ගම්වලට යද්දි ප්‍රශ්න වෙනස්. වැසිකිලි පහසුකම් ජල පහසුකම් නැති එක. කලින් ලේකම්වරියක් විදිහට වැඩකරපු නිසා ගොඩක් ප්‍රශ්න මට අඳුනගන්න පුළුවන්.
 

මේ කාලසීමාවේ ඔබ මොනවගේ සේවාවක් ද කළේ?
 

පාරවල් සුද්ද කරන්න, ශ්‍රමදානවලට මුදල් වෙන්කරන්න, ලයිට් නඩත්තු කරන්නග සභාවේ ආදායම් මාර්ග නැතිව තිබුණු නිසා කාලයක් ප්‍රතිපාදන ගොඩක් අරගෙන නෑ මම. සභාවෙන් ගෙවලා අපිව පුහුනුවීම්වලට යැව්වා.


ඔබ විවිධ අධ්‍යාපන වැඩසටහන් ගැන කතාකළා. ඒවායින් ඔබට පුද්ගලිකවත් දේශපාලන ජීවිතයටත් මොනවද ලැබුණේ?
 

ඒවායින් හැමදේම ඉගනගත්තාග කැමරාවක් ඉස්සරහ ඉන්න විදිහ  සමාජ මාධ්‍ය භාවිතයේ ඉඳන් පුද්ගලික ජීවිතය සහ දේශපාලනය සමබර කරගන්න විදිහ පවා ඉගනගත්තා. හැසිරීම් පවා ප්‍රායෝගිකව ඉගනගත්තා.
 
 
කාන්තාවක් හැටියට ඔබගේ ප්‍රාදේශිය සීමාව තුළ ළමයින්ට සහ කාන්තාවන්ට ඔබගෙන් මොනවද ලැබිලා තිබෙන්නේ? ඔවුන්ගේ ප්‍රශ්නවලට ඔබ කොහොමද මැදිහත්වෙලා තියෙන්නේ?
 

අපි ඔක්තොම්බර් මාසේ පටන්ගත්තා මීරිගම හෙළ බොජුන්හල. එතනදි අඩු ආදායම්ලාභී කාන්තාවන් තමයි අවස්ථාව ලබාදීලා තියෙන්න් ඔවුන්ගේ නිෂ්පාදන අලෙවිකරන්න. මගේ ඒ ව්‍යාපෘතියේ අරමුණු මීරිගම ආසනයේ ළමයින්ට ශිෂ්‍යත්ව ලබාදෙන්න. ලබන අවුරුද්දේ අයවැයෙන් ඒ සඳහා මුදල් වෙන් කරන්න ජනාධිපතිතුමා කටයුතු කරාවි. ශිෂ්‍යත්ව දාහක් දෙදාහක් දෙනවා කියන්නේ ඒක ආසනයට ලොකු දෙයක්. මම ඒක තනියම කරන්නේ නෑ. සාමූහිකව අනිකුත් මන්ත්‍රීවරියන් එක්ක සහයෝගයෙන් කරනවා.
 

ඔබට අරමුණක්, අපේක්ෂාවක් තියනවද ඊළඟට මොකද කරන්නේ කියලා?
 

කොට්ඨාශ ක්‍රමය යටතේ නම් තරඟ වදින්න අදහසක් නෑ ආයෙත්.මේක අසාර්ථක ක්‍රමයක්. කොට්ඨාශයකට හිරවෙන එකේ තේරුමක් නෑ.කොට්ඨාශයට නියෝජිතයෝ ගණනාවක් ඉන්නවා. ගමේ ඡන්ද ටික තමයි බෙදිලා යන්නේ  ඒකෙන් දිනලා යන්න අමාරුයි. එක්කෝ කලින් විදිහට නැත්නම් සීමා නිර්ණය වෙනස් වුනොත් ඉල්ලනවා නැත්නම් පළාත් සභා වෙනකල් බලාගෙන ඉන්නවා.
 

ඔබ නියෝජනය කරන්නේ එ.ජා.ප ය. ඔබ පක්ෂයට සම්බන්ධවුනේ නායකත්වය කේන්ද්‍ර කරගෙන ද ප්‍රතිපත්ති කේන්ද්‍ර කරගෙන ද?
 

මට ඒ දෙකම වැදගත්. ජනාධිපතිතුමා වගේම රුවන් විජේවර්ධන මැතිතුමන්ගේ නායකත්වය මම පිළිගන්නවා. ඔවුන් යටතේ දේශපාලනය හොඳයි කියන තැන මම ඉන්නවා.
 

ලංකාව ආර්ථික, සමාජ, දේශපාලන අතින් ඛේදජනක තැනකට ඇද වැටිලා.මන්ද පෝෂණය  විරැකියාව , බුද්ධි ගලනය වැඩිෙමින් පවතිනවා. කාන්තාවක් විදිහට දේශපාලනය කරන කෙනෙක් විදිහට වර්තමාන ප්‍රශ්න කොහොම ද දකින්නේ?
 

අවුරුදු 74ක දේශපාලන ඉතිහාසයේ මේ තාක් හිටපු හැම දේශපාලනඥයෙක්ම මේකට වගකියන්න ඕන. පක්ෂ ගැනමම කතාකරන්න කැමති නෑ. ඒත් මේ රටට මෙච්චර විනාශයක් වෙච්ච එකට රාජපක්ෂවරු වගකියන්න ඕන ඕන. දැන්කියන්න පුළුවන් එ.ජා.ප ය තමයි දැනටත් ආණ්ඩුව කරන්නේ මේ ජනාධිපතිවරයා හයපාරක් බලයේ හිටියා කියලා.ඒත් ඔහුට බලයක් තිබුණේ නෑ හරියට. දැන් ජනාධිපතිතුමා කොරෝනා කාලේ බලයේ හිටියනම් ඒක එච්චර දරුණු වෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මැතිතුමාලා කරපු දෙයින් තමයි ඒ වගේ දෙයක් වුනේ. ඒ නිසා ඔහු උත්සහ කලා මහින්ද රාජපක්ෂ අගමැති කරලා මේගොල්ලෝ විපක්ෂයේ ඉන්නේ. අදටත් මේ රටේ ප්‍රබල විපක්ෂයක් තියනම් මේ රටට මෙහෙම වෙන්නේ නෑ.
 
 
මම හිතන්නේ සමස්තයක් විදිහට කාන්තා නියෝජනය ඉන්නේ බිම් මට්ටමේ. අපිටකරන්න පුළුවන් දෙයක් නෑ.
 
 
තාමත් ජනාධිපතිතුමා අපිට සිරිකොතට එන්න කියලා සාකච්ඡාවක් අරගෙන නෑ. ඒත් අපි පක්ෂයවත් නායකතුමාවත් අපි අතාරින්නේ නෑ. මොකද ජනාධිපතිතුමා බලන්නේ රට ගැන මිසක් පාක්ෂිකයා ගැන නෙවෙයි. 2019 කියන්නේ ලොකු කාලයක් නෙවෙයි. බඩුමිල වෙනස බලන්න. අවුරුදු 74ක් කලින් ගැන කතාකලාට මේ ප්‍රශ්න ගොඩක් ඇතිවුණේ පහුගිය අවුරුදු කීපයේදි තමයි. කාබනික පොහොර පාවිච්චිය වගේ ප්‍රශ්න මතුවුණා.ඒක හොඳයි ඒත් එකපාර කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. රටේ ඩොලර් ප්‍රශ්නයක් තිබුණට අපි හැමෝටම ඩොලර් ගේන්න බෑ....හැබැයි අපිට ඩොලර් ඉතිරි කරන්න පුළුවන්. කාන්තාවන් විදිහට අපි අරපිරිමැස්මෙන් කටයුතු කරන්න  මැදිහත්ව බලන්න පුරුදු වෙන්න ඕන.
 
 
 
සමස්තයක් විදිහට හැමෝගෙම ආකල්ප වෙනස් වෙන්න ඕන. පාලම්  බෝක්කු හැදුනට මිනිස්සුන්ගේ ඔලු හැදෙන්නේ නෑ.
 

අරගලය නිසා ඔබ අභිප්‍රේරණයට ලක්වුණා ද? ඒ නිසා ඔබේ දේශපාලන භාවිතාවට මොනවහරි බලපෑමක් වුණා ද?
 

මැයි 9 දා සිද්ධියෙන් වුනත් අපේ හිතේ බය තිබ්බට අපිට ඒකට මැදිහත්වෙන්න පුළුවන් කම තිබුනා. අපි දන්නවා ගෝඨාභය මහත්තයා එලෙව්වා වගේම රනිල් මහත්තයා වුනත් එලවන්න පුළුවන් කියන එක.
 

බලය කියන එක ඔබට දැනෙන්නේ කොහොමද? මේ සමාජ බලය කාන්තාවකට හසුරවගන්න පුළුවන්ද?
 

ඒක ගන්න කෙනා අනුව තීරණය වෙනවා. සමහරු ඉගිල්ලෙන්න යනවා  සමහරු මධ්‍යස්ථව කරගෙන යනවා  සමහරු ගාණක්වත් නැතිව ඉන්නවා.මිනිස්සුන්ගේ ප්‍රශ්න එක්ක මම කලින් ඉඳලම හිටපු නිසා මට මේ බලය අමුතු දෙයක් නෙවෙයි. ඔවුන්ගේ ප්‍රශ්න මට කිව්වම මම ඒවට අනුගත වෙනවා. පස්සට දාන්න උත්සහ කරන්නේ නෑ. මම බලය තිබ්බා කියලා නෑ කියලා මම ජනතාව අතෑරියේ නෑ.
 

ඔබට කියන්න මොනවාහරි දෙයක් තියනවද?
 
 
කාන්තා දේශපාලනය සහ කාන්තා කෝටාව ඇත්තටම තියෙන්න ඕන. මේක තියන මට්ටම වුනත් ඇති. සාධාරණ කාන්තා නියෝජනයක් තියෙන්න ඕන. නැත්නම් මේක පවත්වාගෙන යන්න බෑ. ලංකාවේ කාන්තාවන් සියයට පනස් දෙකක් හිටිද්දි කාන්තා නියෝජනය හොඳයි. ඒක හරියට සමාජගත කරගෙන කාන්තාවන්ට නිසි තැන ලැබුණම ඇති.
 

 

Mawbima 

 

සැබැඳි ලිපි
 
 
 
 
 

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න

new logo

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්