මැතිවරණ උන්මාදය කෙතෙක් ද යත් ව්‍යවස්ථාදායක සභාවෙන් ස්වාධීන කොමිෂන්වලට කරන නව පත්වීම ද ඩීල් ලෙස හැඳින්වේ.

ජනාධිපති වරයා ආර්ථිකය ගොඩ නැගීමට එක්වන ලෙස කළ විවෘත ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අනුර කුමාර දිසානායක, ජන මතයක් නැති හෙයින් ජාත්‍යන්තර සහාය ලබා ගැනීමට අපොහොසත්ව සිටින ආණ්ඩුව සමග එක්ව වැඩ නො කරන බව ඍජුව කීය. කේ.ඩී. ලාල්කාන්තද, ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදි දේශපාලන සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්න කරයි. පැපරල් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චිට අනුව, ආර්ථීකය ගොඩ නැගීමට මුල්තැන දිය යුතු වුවද, දේශපාලනයෙන් තොරව මේ අර්බුදය විසඳිය නො හැකි  ය. මේ ප්‍රකාශයන්  බෙහෙවින් විවාදිත වේ. 

 

ආසන්න වසර 60ක් පත් වූ ආණ්ඩු නව රැකියා ලබා දීම, පඩි වැඩි කිරිම, හාල් මිල අඩු කිරීම, ආදි මැතිවරණ පොරොන්දු ඉටු කිරීම නිසා රට බංකොලොත් විය. එසේම භාෂා ආගම් ආදි ආර්ථික අරමුණු මඟ හැර මැතිවරණ ජය ගැනීමට මිනිසුන්ගේ හැඟීම් ඇවිස්සීම ලංකාවේ දේශපාලන සංස්කෘතිය බවට පත්ව තිබිණ. මෙසේ යථාර්ථවාදි නොව දේශපාලන සංස්කෘතියක් පැවතීම හේතුවෙන් වර්තමානයේ ලංකාව එදා වේල ටුවර්ස් බස් රථයකට වැඩි යමක් නොවීය. අද ඒ බස්රිය ඉන්ධන බැටරි සහ ටයර් නැතිව මගීන් සමග අතරමග නතරව ඇත.

 

ලාල්කාන්ත දේශපාලන සංස්කෘතිය ලෙස හඳුන්වන ලංකාවේ මැතිවරණ ව්‍යාපාර යනු රටේ පැවැත්ම කතිරයකට ලඝු කොට කාගේවත් ජයග්‍රහණය වෙනුවෙන්  දෙකට තුනට නවා ඡන්ද පෙට්ටි වලට එබීමක් පමණකි. කවදාවත් බලයට නො එන ජවිපෙය, රටටම හූනියමක්ව පවත්නා ඉන්ධන විදුලිය මෙන්ම වරාය ආදි ආයතනවල සේවකයන් සංවිධානාත්මක සිදු කරන මූල්‍ය ගසාකෑම් ගැන කතා නො කරන්නේ වෘත්තිය සමිති තමන්ගේ ගැලවුම්කාරයන් නිසාය. එය ඡන්ද පොරොන්දුවලට වඩා බරපතල තක්කඩිකමකි.

 

නිදහස් අධ්‍යාපනයෙන් පෝෂණය වී, රට හැර යන වෘත්තිකයන්ගේ ණයබර ගැන කතා කරන ජවිපෙය, ලංකාව ලෝකයට ණය වී  සිටීම ගැන ගොළුවත රකී. ජවිපෙට බලය දුන්නොත් පමණක් ඩොලර් එවනවා යයි ලාංකේය ජනතාවට පණිවිඩ නිකුත් කරන විදේශගත ලාංකිකයන් දේශපාලනය ගැන මිස ලංකාවේ මන්ද පෝෂණයෙන් පෙළෙන දරුවන්, ඖෂධ නැතිව තැවෙන රෝගීන් ගැන කල්පනා නො කරති. 2019දී ගුවනින් පැමිණ ගෝඨාට කතිර ගැසූ විදේශගත ලාංකිකයන් දුකට පත් රටේ ජනතාව ගැන සංවේදී නොවෙති. මේ සියලු කතා ප්‍රායෝගික සාක්ෂරතාවයෙන් වියුක්ත ලාල් කාන්තලා කියන දේශපාලන සංස්කෘතිය නම් කතිර පෙට්ටිය පිළිබඳ යථාර්ථය වේ. විදේශ සංචිත හිඳී ගොස් දේශීය රාජ්‍ය ආදායම බිංදුවට වැටී සිටින මේ මොහොතේ රටේ දරිද්‍ර භාවයට එරෙහිව රටේ ජනතාව ඒකමතික විය යුතු මිස, ඊනියා දේශපාලන සංස්කෘතිය ගැන වද විය යුතු නැත.

 

දැන් විපක්ෂය කළ යුත්තේ සීමිත කැබිනට් මණ්ඩලයක් සහිත ජාතික ආණ්ඩුවක් වෙනුවෙන් සම්මුතියෙන් බැඳී රටේ ආර්ථිකය ගොඩ නැගීමට ශක්තිමත් යාන්ත්‍රණයක් සකසා ගැනීම වුවද මේ සාධනීය යෝජනාව ලංකාවේ දේශපාලන සංස්කෘතිය නම් උගුලෙන් සිර කර ඇත. නිදහස ලබා 75 වසරක් සපිරෙන ලංකාවේ දේශපාලනඥයන් කිසි දවසක රට වෙනුවෙන් එකමුතු වී නැත. රටේ බහුතර ජනතාව මේ ව්‍යසනය හමුවේ මැතිවරණයක් අපේක්ෂා කරන්නේද යන්න කිසිවෙකු විමසා බලා නැත. පවත්නා අර්බුදය සීආර් කේතය මෙන්ම විසඳුම් හරහා නිරාකරණය කරගත හැකි වුවද එකී විසඳුම් කෙරෙහි ජනතා විශ්වාසය තහවුරු කිරීමට විපක්ෂ සහාය අවශ්‍ය වේ.

රටේ හැම මිනිසාම තමන් අතැති අන්තිම සතයත් ප්‍රවේශමෙන් විය පැහැදම් කරමින් යහපත් හෙට දවසක් අපේක්ෂා බලා සිටිති. මැතිවරණයක්  ඉල්ලන විපක්ෂයේ මෙන්ම ආණ්ඩුවේද පාර්ලිමේන්තු සාමාජිකයන් සියලු වරප්‍රසාද විඳිමින් ඡන්දයට වැයවන කෝටි දහය මඤ්ඤංද කියා සිනාසෙති. වැටුප් ගෙවීමත් දුෂ්කරය කී විට එහෙම කියන්න ආණ්ඩුවක් අවශ්‍යද කියා විමසති. ලාල්කාන්තලා කියන දේශපාලන සංස්කෘතිය යනු ප්‍රායෝගික සාක්ෂරතාව අහිමි අබ්බගාත ආකල්පයකි.

1947 සිට 74 වසරක ඉතිහාසයෙහි සතුටු විය හැකි කිසිවක් ලංකාවේ මැතිවරණ හරහා රටට හෝ රටේ ජනතාවට හිමි වී නැත. එහෙත් මැතිවරණ වලින් තේරී පත් අතළොස්සකට කුමාර සැප සම්පත් මෙන්ම රටේ නීතිය අභිබවා ගිය වරප්‍රසාද හිමි විය. ගෝල්පේස් අරගලය අතරින් පස් අවුරුද්දටම එකම මැතිවරණයකින් රටේ සියලු නියෝජිත ආයතන පිහිටුවීමේ උවමනාවක් මිස, අවුරුද්දට මැතිවරණ දෙක තුන පැවැත්වෙන හානිකර සිස්ටම් අපෙක්ෂා කළේ නැත.

 



එසේම නියෝජිත ආයතන සංයුතිය තුනෙන් දෙකට අඩු කිරීමටද යෝජනා කෙරිණ. ඡන්ද නො තිබ්බොත් බලාගන්නම් කියන මහාචාර්ය ජී.එල්.පීරිස්, සිය පණ්ඩිත්‍ය ගැන පාර්ලිමේන්තුවේදි කළ මැත දෙඩවීමට උඩගෙඩි දුන් ජවිපේ නායකයාට මහාචාර්ය පීරිස් යනු 17,18,19,20 සහ 21 යන සියලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනවලට කවට අන්දරේ මෙන් අත් උස්සා වරප්‍රසාද රැක ගත් දේශපාලන අපතයෙකු බව අමතක විය. ලාල්කාන්තලා කියන දේශපාලන සංස්කෘතියට ආ වඩන  පීරිස් නම් ශාස්ත්‍රවන්තයාගේ මානසික සෞඛ්‍ය තත්වය පිළිබඳ වෛද්‍ය වාර්තාවක් අනුර කුමාරලා ලබාගත යුතු නොවේ ද?

 

1431326363s

මහින්ද අමරවීර, නිමල් සිරිපාල ආදින් 1994 සිට 2023 තෙක් අඛණ්ඩව කැබිනට් ඇමතිකම් දැරීම ගැන කතා කරන අනුර කුමාර, ජනතා විමුක්ති පෙරමුණ නම් ආණ්ඩුවේ ලියා පදිංචි කළ දේශපාලන පක්ෂයේ ප්‍රධාන ලේකම් තනතුර තිස් වසරකට ආසන්න කාලයක් ටිල්වින් සිල්වා නැමැත්තෙකුට සින්න කර දීම ගැනත් කල්පනා කළ යුතු නොවේ ද?. ගිරිය පේන්න කට ඇරිය විට ඇස් පමණක් නොව සමහරුන්ගේ මොළයද හැකිළී යන හැටියකි.

 

දේශපාලන සංස්කෘතියේ ප්‍රමුඛ අනන්‍යතාව මැතිවරණ වේ නම්, හඳෙන් හාල් මෙන්ම ධාන්‍ය රාත්තල් අට වැනි රටේ ජනතාව ගොනාට ඇන්ද වූ ඡන්ද පොරොන්දු සහිත අතීත ලංකාවේ හඳෙන් හාල් ලබා දීමට බලය ගත් පාලකයෝ ජනතාව කෑ බත් වේල් ගණනටත් නීති පැනවූහ. හාල් පාන් රස්සා පොරොන්දු පසෙක තිබීයේවා. 1956 සිට අද දක්වා  67 වසර පුරා ජාතියක් ලෙස තිස් අවුරුදු යුද්ධයකින් රට ඇද වැටුණේත් මිනිස් ජීවිත ලක්ෂ ගණන් විනාස වුණේත් දේශපාලන සංස්කෘතිය ලෙස හඳුන්වන මැතිවරණ සූදුව නිසා නොවේද?

palamalla 

 

සියලු ආයතන සඳහා එක් මැතිවරණයකින් නියෝජිතයන් තෝරා ගැනීමෙන් ඉතිරිවන රටේ මුදල් සහ කාලය ගැන කවුරුත් කතා නැත. නිදහස් ලංකා ඉතිහාසය පුරා අපේ නායකයන් කියා ගත් බල ලෝභීන් පෝළිමේ ගොස් කතිර ගහන පුරුද්දක් මිස, රටට සරිලන සකසුරුවම් ජීවන රටාවක් ගැන කිසි විටෙකත් ජනතාව දැනුවත් කළා නම් වසංගතයකටත් වඩා බරපතල මේ අර්බුදයට ජනතාව මැදි වන්නේ නැත.

රාජ්‍ය ආදායම බිංදුවට බැස්සා තම හෙංචයියන්ට බදු සහන දුන්නේ ඡන්දයෙන් බලයට පත් බල ලෝභී නායකයන් ය. දේශිය ආදායම් වැඩි කිරීමට පාලකයන් දරන උත්සාහය ඡන්ද පොරොන්දු හරහා අඩපන කළොත් විසි ලක්ෂයක් පමණ රාජ්‍ය සේවකයන්ට හෙට දවසේ වැටුප් ගෙවන හැටි කිසිවෙක් කතා නො කරති. රටක් විඳින මේ පීඩාව, බුද්ධාගමේ පව පිනට භාර කර නො කර, අඳුරට සාප නො කර එක් පහනක් හෝ දැල්වීමට ජනතාව ශක්තිමත් කළ යුතුවේ.

 

අපට ණය ලබා දුන් කෝටි 135ක් ජීවත්වන චීනයේ ඇමති මණ්ඩලය 27කි. කෝටි 120ක්  ජීවත්වන ඉන්දියාවේ ඇමති මණ්ඩලය 23කි. කෝටි දෙකක් ජීවත්වන ලංකාවේ ඇමතීන් 151කි. ලංකාවේ අයිසීයූ ඇඳන් 500කි. ප්‍රභූ නිල වාහන 5000කි. මේ බඩ ගෝස්තර දේශපාලනඥයන් විඳින සුරසැප නොවේද? ගත වූ ජූනි. අගෝස්තු කාලයේ ඉන්දියාවේ ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය (ලීටර් 194.5)කි. ලංකාවේ ඒක පුද්ගල ඉන්ධන පරිභෝජනය (ලීටර් 350.5)කි. එකී පරිභෝජනය 50%න් අවම කළ කිව්ආර් කේතය ජන මතයක් නැතියි අවලාද නගන පාලකයාගේ තීන්දුවකි. අධි පරිභෝජනයෙන් සුණු විසුණු වී ගිය රට යළි ගොඩ නැගීම ඡන්ද පොරොන්දු වලින් කළ නොහැකි බව සිංගප්පූරු ජනතාව තහවුරු කර ඇත.

north sgh

 

වර්තමානයේ දහස් ගණනින් සිදුවන බුද්ධිමතුන් උගතුන් රට හැර යාමටත් රටේ දේශපාලන සංස්කෘතියම හේතු විය. සියවස් ගණනක් අප සමග ජීවත්වූ බර්ගර් ජාතිකයන් පවුල් පිටින් රට හැර ගියේත්, ඓතිහාසිකව මහා ජාතිය සමහ ජීවත්වූ උතුරේ ලාංකේය ද්‍රවිඪ ජනතාව රටෙන් කොටසක් ඉල්ලා සටන් වැදුණේත් 13 වනි සංශෝධනයෙහි පැටලුන අපේ ජනතා ස්වාධිපත්‍යය ඉන්දියාව සිය හිස වට කරකවන්නේත් 1956 සංස්කෘතික විප්ලවය සිදු කළ විනාසය නිසාය.


සිංගප්පූරුව ආදර්ශයට ගත් සිලෝන් නම් දේශය ඉල්ලංකාව ජාත්‍යන්තර කුමන්ත්‍රණ නිසා නොවේ.

මැතිවරණ දෙකකින් ජයගත් පාලකයන්ගේ පාලනය බිඳ වැටී ගෝල්පෙස් අරගලය ආරම්භ වීමට වසර දෙකක් ගත නො වීය. ජනාධිපතිට ගෙදර පළ කීවාට පාර්ලිමේන්තු ජන වරමට අරගලය අභියෝග කළේ නැත. ගෝඨාභය වෙනුවට පාර්ලිමේන්තු බහුතරය තෝරා පත් කළ විධායක ජනාධිපතිට ජන වරමක් නැති නම් ඡන්දයට මුදල් අනුමත කිරීමට පාර්ලිමේන්තුවට බලයක් තිබේද? අදත් පාර්ලිමේන්තු නියෝජනය කරන ජවිපෙට, සජබයට එදා ගෝඨාට එරෙහිව ඇඟිල්ලක් එසවීමට හයියක් නො තිබිණ. රනිල් පත් කළොත් ගෙදර යනු බොරු යයි පාර්ලිමේන්තු මන්ත්‍රින්ට පොල්දූව මංසන්ධියේදී ලාල්කාන්කලා අභියෝග කළේ 88-89 ක්‍රමය කෙරෙහි විශ්වාසයෙන් විය හැකිය.

 

1652111592


මැතිවරණ (දේශපාලන) සංස්කෘතිය සාර්ථක වී නම් ඉන්ධන ආහාර හිඟ වී අරගලය ඉස්මතුව, සහෝදර මන්ත්‍රී අතුකෝරාළ පාරේ මැරුම් කන්නේවත් දේශපාලකයන්ගේ දේපල විනාස වන්නේ හෝ නැත. අසාර්ථක ජනාධිපති පළවා හැර පාලන බලය පාර්ලිමේන්තුවට ලබාදී 20 සංශෝධනය අවලංගු කොට යළි බදු ප්‍රතිපත්ති කළමණාකරණය කළ නිර්දේශපාලනික අරගලය සමත් වුණේ පක්ෂ දේශපාලනය ජනතාව ප්‍රතික්ෂේප කළ නිසාය.

විධායක ජනාධිපති එළවා පෝලිම් අවසන් කොට නව පාලකයෙක් පත් කොට, අවසන්වූ  අරගලයේ සුංබුං අහුලා ගත් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මේ මැතිවරණ වලිප්පුව බඩ ගෝත්‍රවාදයේ දිගුවක් මිස රට දන ගැස් වූ ඩොලර් හිඟය, උද්ධමනය ජය ගන්නා ව්‍යාපාරයක් නොවේ. ආදරයේ අරගලය, සිස්ටම් චේන්ජ් එකක් මිස මැතිවරණ සාදයක් අපේක්ෂා කළේ නැත. හැට අට ලක්ෂයක් ජනතාව තේරූ ජනාධිපති වෙනුවට පාර්ලිමේන්තු බහුතරයෙන් කෙනෙකු නම් කරවීම යනු කිසිවෙකු අපේක්ෂා නො කළ සිස්ටම් චේන්ජ් එක 20වෙනි සංශෝධනය අහෝසි කොට, ජාත්‍යන්තර සහායෙන් ආර්ථිකය ගොඩ දැමීමට සැලසුම් කිරීම යනු ආකල්ප උඩුයටිකුරු කිරීමකි. ආයේත් මැතිවරණ දේශපාලනයෙන් රට වසී කොට, නිවෙමින් පවත්නා ආර්ථික ගිනි කන්ද මැතිවරණ උණුසුමෙන් පුපුරවා හැරීමේ උත්සාහය පරාජය කළ යුතුවේ.

මැතිවරණයට වැය වන රුපියල් බිලියන 10 සොච්චමක් සේ දකින දේශපාලන සංස්කෘතිය හා අපේක්ෂිත සාක්ෂරතාව අතර වෙනස භාණ්ඩාගාර ලේකම් උපරිමාධිකරණයට තහවුරු  කළ ආකාරයට, රාජ්‍ය සේවක වැටුප සඳහා රුපියල් බිලියන 90ක්ද, විශ්‍රාම වැටුප් සහ සමෘධි දීමනා සඳහා බිලියන 28ක්ද, ඖෂධ, පොහොර ඇතුළු අත්‍යාවශ්‍ය දේ ආනයනය සඳහා තවත්  බිලියන 28ක්ද, භාණ්ඩාගරය මාසිකව වැය කළ යුතු අතර, ණය සහ පොලි ගෙවීමට තවත් රුපියල් බිලියන 283ක්ද සපයා ගත යුතුවේ.

ඉන්ධන ලබා ගැනීමට සති ගණන් පාරේ නිදි වැරූ මිනිසුන් ඉන්ධන පෝලිම්වලදී මිය පරලොව ගියාහ. ඒ  කටුක මෙන්ම දුක්ඛදායක අතීතය ගෙවී ගතව ඇත්තේ යන්තම් මාස 6කි. අපේ ඊනියා දේශපාලනඥයන් වලි කන මේ මැතිවරණ සෙල්ලම හරහා යන්තමින් ඉතිරි කරගත් ඩොලර් සංචිතය පතුළටම සිඳී ගොස් යළි ඉන්ධන ආහාර පෝලිම් හැර වෙන යමක් අපේක්ෂා කළ නොහැකිය.

 image 1547095594 d66eb21e8e

කම්ෂාජිනී ගුණරත්නම්

 

තවමත් 35 හැවිරිදි කම්ෂාජිනී ගුණරත්නම් 1988 යාපනේ ඉපිද කුඩා අවදියේම ලෙස වැඩිහිටියන් සමග සරණාගතව නෝර්වේ රටේ හැදී වැඩී එහි දෙමළ සංවිධානයකට සම්බන්ධව සිටියාය. ඒ අතර 2021 සැප්තැම්බර් 12 වෙනි දින නෝර්වේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයකට පත් විය. ලංකාවේ වර්ගවාදි දේශපාලන නිසා කම්ෂාජිනීට උපන් දේශයත් ලංකාවේ නිදහස් අධ්‍යාපන වරමද අහිමිවූ ඇය, ලංකාව මැදි වූ ජිනීවා මානව හිමිකම් ගැටළුවේදි ශ්‍රී ලංකාවට සහාය දෙන ලෙස නෝර්වේ රජයෙන් ඉල්ලා සිටියේ උපන් රට වෙනුවෙනි.

ඊට සාපේක්ෂව ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් හැදී වැඩි විදේශගතවූ ශ්‍රී ලාංකිකයන්, රටට ඩොලර් එවීමට නම් ජවිපේ ආණ්ඩුවක් අවශ්‍ය බවට කළ ප්‍රකාශය ලාල්කාන්ත කී දේශපාලන සංස්කෘතියේ අහිතකර බලපෑම නිසා නොවේද? ලංකාවේ දේශපාලන සංස්කෘතිය හා සාක්ෂරතාව අතර පරතරයත් දේශ ප්‍රේමයත් නිවැරදිව තේරුම් ගැනීමට කම්ෂාජිනී ගුණරත්නම් පමණක් ප්‍රමාණවත් ය.  



පශ්චාත් නූතන අරගලයේ නොවැම්බර් විලාපය - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න(නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
නිදහස් ලේඛක
This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

(උපුටා ගැනීම අනිද්දා පුවත්පතින්.. )

320723070 553561629955212 5233208659897488127 n


JW

 
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්